අක්ෂි සැත්කම් රෝගී සංඛ්‍යාව අවම කිරීමට නව වැඩපිළිවෙලක්….

December 10, 2017 at 2:12 am | lanka C news
අක්ෂි සැත්කම් රෝගී සංඛ්‍යාව අවම කිරීමට නව වැඩපිළිවෙලක්….

අක්ෂි ආබාධ සහිත වයෝවෘධ පුද්ගලයින් 160 කට අක්ෂි සැත්කම් සිදු කිරීමේ වැඩපිළීවෙලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (09) අක්ෂි රෝහලේ දී ආරම්භ කෙරුනි.

මෙහිදී බුලත්සිංහල ආසනයේ වයෝවෘද පුද්ගලයින් සැත්කම්වලට භාජනය විය. කඩුවෙල මහමෙවුනා අසපුවේ මහා සංඝරත්නය විසින් මෙම වැඩපිළිවෙල සංවිධානය කර තිබුනි.

මෙහිදී මාධ්‍යට අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

‘අද වනවිට අක්ෂි සැත්කම් නොමිලේ සිදු කරනවා. ඒ සදහා හොදම අක්ෂි කාච රෝහල්වලට ලබාදී තිබෙනවා. මෙම වසරේ දී අක්ෂි කාච ලක්ෂයක් ආනයනය කර රෝහල්වලට ලබාදුන්නා. 2018 වසර සදහා අක්ෂි කාච ඉල්ලුම 150000 ක් පමණ වෙනවා. රජයේ රෝහල්වලින් නොමිලේ අක්ෂි සැත්කම් සිදුකර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් රජයේ රෝහල්වල පස්වරු 4.00 න් පසුව ද අක්ෂි සැත්කම් සිදු කිරීමට සැළසුම් සකස් කර තිබෙනවා. විශ්‍රාමික අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් ද සහභාගි කරවා ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී ද අක්ෂි සැත්කම් සිදු කරනවා. පෞද්ගලික රෝහල්වල ද අක්ෂි සැත්කම් සිදු කරනවා. එවිට රෝගීන්ගේ සංඛ්‍යාව අවම කර ගන්න පුලුවන්. ජංගම අක්ෂි සැත්කම් සිදු කිරීමේ වැඩපිළීවෙළක් ද ක්‍රියාත්මකයි’

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා අක්ෂි සැත්කම් සිදු කර ගැනීමට පැමිණ සිටි රෝගීන් සමග සුහද කථා බහක ද නිරත විය. එහිදී රෝගීන් ප්‍රකාශ කළේ අක්ෂි කාච නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීරණය නිසා දුප්පත් අහිසංක රෝගී ජනතාවට සහනයක් ලැබී ඇති බවයි.
ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම් ඇතුලු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

914 Viewers
Main News