අධ්‍යාපන ඇමති ‘ස්මාර්ට් පංති කාමරය’ හදද්දී පාසලේ වහල කඩා වැටෙයි…

July 23, 2017 at 4:40 pm | lanka C news
අධ්‍යාපන ඇමති ‘ස්මාර්ට් පංති කාමරය’ හදද්දී පාසලේ වහල කඩා වැටෙයි…

වසර 10ක් තිස්සේ මාස 06ක තාවකාලික පත්වීම් 19ක් ලබා දෙමින් ඌව පළාත් සභාව ගුරු පිරිසකට ගුරු සේවයේ සියලූ වරප‍්‍රසාද අහිමි කර ඇති බව ජාතික ගුරු සභාව පෙන්වා දෙයි.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රධාන ලේකම් සුදන්ත රත්නායක මහතා මේ බව පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුදන්ත රත්නායක මහතා මෙසේ ද සඳහන් කළේය.

‘2008.07.22 දින ඌව පළාත් සභාව ගුරුවරුන් 292ක් සඳහා මාස 06ක තාවකාලික පත්වීමක් ලබා දී තිබෙනවා. එම පත්වීමට අද දක්වා ‘මාස 06ක තාවකාලික පදනමින්’ ඔබ්බට යන්න හැකි වෙලා නැහැ. ඔවුන්ගේ පත්වීම් ස්ථිර කිරීමට ඌව පළාත් සභා බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැහැ. මේ වන විට ඔවුන්ට මාස 06 තාවකාලික පත්වීම් 19ක් ලබා දී තිබෙනවා.

2007 වසරේදී සාමාන්‍ය විධිමත් පටිපාටිය තුළ ඌව පළාත් සභාව මෙම පත්වීම් 292 ලබාදීමේ කටයුතු ආරම්භ කළා. නමුත් ඊට එරෙහිව සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු නඩු පැවරීමක් සිදු කරනවා. ඒ අනුව ඌව පළාත් සභාව අධිකරණයට කරුණු වාර්තා කිරීමකින් තොරව මේ පත්වීම් මාස 06ක තාවකාලික පදනමින් ලබා දෙනවා. අධිකරණයෙන් කට්ටි පැනීමටයි එහෙම කරන්නේ. හැබැයි මේ පත්වීම් ලිපිය එහෙම තාවකාලික පදනමකින් ලබා දීමට සකස් කළ එකක් නොවෙයි. ස්ථාවර ක‍්‍රමවේදය තුළ ස්ථිර පත්වීමක් ලබා දීමට සකස් කළ පත්වීම් ලිපියම තමයි ඌව පළාත් සභා බලධාරීන් ‘මාස 06ක තාවකාලික පදනම’ කියන වගන්තිය සහිතව, ඌව පළාත් සභා මැතිවරණයක් ආසන්නයේ මේ අයට ලබා දුන්නේ.

මේ පත්වීම් ලිපිය මගේ ළග තිබෙනවා. වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාව, වත්කම් – බැරකම් ප‍්‍රකාශය ලබා දීම ඇතුළු ස්ථිර පත්වීමකට අදාළ සියලූ කරුණු මෙම පත්වීම් ලිපියේ තිබෙනවා. ඌව පළාත් සභා බලධාරීන්ට අවම සදාචාරයක් තිබුණා අධිකරණයට කරුණු දක්වා මේ අයට සාධාරණයක් ඉටුකර දෙන්න. නමුත් ඔවුුන් ඒ දේ කළේ නැහැ. අන්තිමේදී මේ පත්වීම්ලාභින්ට තමන්ගේ වියදමින් මේ නඩුවට තුන්වන පාර්ශ්වයක් ලෙස ඉදිරිපත් වීමට සිදු වුණා. මේ නඩුව, ඌව පළාත් සභා බලධාරීන්ගේ නිසි මැදිහත්වීමක් නොමැති වීම නිසා වසර 10ක් තිස්සේ ඉදිරියට ඇදෙමින් තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ ගුරු පිරිසට ගුරු සේවයේ සියලූ වරප‍්‍රසාද වසර 10ක් තිස්සේ අහිමිව තිබෙනවා.

කෙසේ නමුත් ඌව පළාත් සභාවේ අධ්‍යෘපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් මාස 06ක තාවකාලික පදනමින් පත්වීම් ලබා දී ඇති මෙම පිරිසට රේඛිය අමාත්‍යාංශය විසින් මාස 36ක ගුරු පුහුණුවක් ලබා දී තිබෙනවා. ඒ වගේම මේ පත්වීම් ලිපියෙහි තිබෙනවා, ‘ඔබ මෙම පත්වීම භාර ගන්නේ නම් දිවයිනේ කවර ප‍්‍රදේශයක වුවද සේවය කිරීමට සූදානම් විය යුතුය’ යන වගන්තිය. මේ අනුව පෙනී යන්නෙත් අධ්‍යාපන බලධාරීන් මේ ගුරු පිරිස අසරණ කරමින්. අධිකරණයට කට්ටි පනිමින් ක‍්‍රියා කළ අන්දමයි.

මෙම පත්වීම් ලබා දුන්නේ විජිතමුණි සොයිසා මහතා ඌව පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරය දරන කාලයේයි. මේ ගුරු පිරිස ගුරු පුහුණුව ලැබුවේ එතුමා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරන කාලයේදීයි. දැන් එතුමා කියන්නේ ‘මම දැන් ප‍්‍රබල ඇමතිවරයෙක්. ඒ දවස්වල මම ඇමතිකම් කෙරුවාට ප්ලග් එක ඕෆ් කරලා තිබේබේ. දැන් තමයි ප්ලග් එක ඔන් එකේ තියෙන්නෙ’ කියලා. අපි සොයිසා ඇමතිවරයාට කියනවා ‘ඔය ඔන් කරලා තියෙන ප්ලග් එක පාවිච්චි කරලා ඔබතුමා විසින්ම ආරම්භ කළ මේ ප‍්‍රශ්නය කඩිනමින් විසඳන්න’ කියලා. ඒ වගේම මේ ගුරු පිරිසට වසර 03ක ගුරු පුහුණුවක් ලබා දී රේඛිය අමාත්‍යාංශයත් මේ ප‍්‍රශ්නයේ කොටස්කරුවකු වී තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යවරයා ද මේ ප‍්‍රශ්නය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

‘අධ්‍යාපන ඇමතිගේ සුපිරි කළමනාකරණය’

අපේ රටට ආවුරුදු 2500ක් තිස්සේ පන්සලේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව ගැටළුවක් තිබුණේ නැහැ. නමුත් දැන් පාලකයන්ට පන්සලේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ගැටළුවක් ඇති වෙලා තිබෙනවා. පන්සලේ මුල්‍ය කළමනාකරණයට අත ගහපු මේ අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය කළමනාකරණය කළේ කොහොමද?

මේ වන විට රටේ අතිරික්ත ගුරුවරුන් 40,000ක් ඉන්නවා. මේ අනුව පෙනෙන්නේ ගුරුවරුන් 40,000ක් නිසි පරිදි ස්ථානගතව නැති බවයි. මේ 40,000 වෙනුවෙන් අවුරුද්දකට වැටුප් හා දීමනා වශයෙන් රුපියල් මිලියන 20,000ක පමණ මුදලක් ආණ්ඩුව වැය කරනවා. මේ මුදල් නාස්ති කිරීම සිදු වන්නේ වත්මන් අධ්‍යාපන ඇමතිවරයාගේ මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාව නිසා නොවේද?

මේ වන විට ගුරු සේවයේ 200ක් පමණ අධ්‍යාපන පරිපාලන සේවයේ වැඩ බැලීම් කරනවා. ඒ විතරක් නොවෙයි ලංකාවේ පාසල්වලින් අඩක පමණ එනම් 5000ක පමණ ප‍්‍රමාණයක ඉන්නේ ගුරු සේවයට අයත් විදුහල්පතිවරු. මේ ගැටළුව කළමනාකරණය ට නොකර අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන ගණනක් අපතේ යවනවා.

ඒ වගේම භෞතික සම්පත් ඉදිකිරීම සහ නඩත්තුව කියන කාරණයේදීත් අධා්‍යපාන අමාත්‍යාංශය ඉතාමත් අවිධිමත් ලෙසයි කටයුතු කරන්නේ. පාසල්වලට විධිමත් ලෙස භෞතික සම්පත් ලබා දීමක් සිදු වන්නේ නැහැ. ඒ් නිසා තමයි ජනාධිපතිතුමා පාසල්වල වැට ළ`ගට ඇවිත් දරුවන්ගෙන් අහන්නේ ‘පුතාලට මොනවද ඕනෙ?’ කියලා. ළමයි පිට්ටනියක් ඔනේ කීවොත් ‘ඒකට අවශ්‍ය මුදල් මම දෙන්නම්’ කියනවා. විධිමත් සැලස්මක් තිබෙනවා නම් මෙහෙම වෙයිද? ඒ නිසා අද එක පැත්තකින් ‘ස්මාර්ට් පංති කාමරය’ හැදෙන කොට අනෙක් පැත්තෙන් පාසලේ වහල කඩා වැටෙනවා.

පෙළ පොත අද සකස් වී තිබෙන්නේ තනිවම කියවා තේරුම ගත හැකි ලෙසින්. එය සම්පිණ්ඩනය කර පිටු අඩුකර සකස් කළොත් පෙළ පොත් සඳහා යොදවන මුදල හරි අඩකින් පමණ අඩුකර ගත හැකියි. මේ සියලූ කරුණු අනුව බැලූවොත් අධ්‍යාපන අමාත්‍යාංශය වැය කරන මුදලින් අඩකට වැඩි ප‍්‍රමාණයක් අපතේ යන බව පෙනෙනවා.

මේ අධ්‍යාපන අමාත්‍යවරයා මහා විප්ලවයක් විදියට තමයි පාසල් මූල්‍ය කළමනාකරණයට අදාළ 05/2015 චක‍්‍රලේඛය නිකුත් කළේ. එදා කිව්වේ ‘මේ මගින් පාසලේ මුදල් අය කිරීම තහනම් කරනවා’ කියලයි. අද එහෙම වෙලා තියෙනවාද? ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්.

‘රයන් ජයලත් පැහැර ගැනීමට තැත් කිරීම හෙළා දකිනවා’

පසුගිය දිනවල වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමට තැත් කර තිබුණා. එදා ත‍්‍රිමාවිතාන වෛද්‍ය ශිෂයාට එජාප ආණ්ඩුව අත්කර දුන් ඉරණම තමයි අද රයෙන් ජයලත්ට මේ ආණ්ඩුව හිමිකර දීමට උත්සාහ කරන්නේත උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන සටනට නායකත්වය දුන් ත‍්‍රිමාවිතානලාට රනිල් වික‍්‍රමසිංහගේ පාලනය උත්තර දුන්නේ ඔළුවට පරාල ඇණ ගහලා. අදත් ඒ භීෂණය තමයි මේ අය ගෙන එන්නේ. සුදු වෑන් ගැන මතුරපු මේ අය අද පොලිස් ආරක්‍ෂාව සහිතව සුදු වෑන් එවනවා ශිෂ්‍යයන් පැහැර ගැනීමට. මේ සිදුවීම ජාතික ගුරු සභාව විදියට දැඩි ලෙස හෙළා දකිනවා. ඒ වගේම සයිටම් ජනසතු කිරීමේ සටනට ජාතික ගුරු සභාවේ සහාය පළ කරන බවත් අපි මෙහිදී පවසනවා.’’

මෙම මාධ්‍ය හමුවට ජාතික ගුරු සභාවේ ජාතික සංවිධායක කේ. ඒ. ජානක ප‍්‍රියන්ත, භාණ්ඩාගාරික ධම්මක ලියනගේ යන මහත්වරු ද සහභාගී විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

8,237 Viewers
Main News