අබාන්ස්-භාරත් ප්‍රතිපත්තිය එයි.. බැදුම්කර ජනාධිපති කොමිසම අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්අඩංගුවේ..

May 9, 2017 at 11:20 am | lanka C news | ලංකා සී නිවුස්
අබාන්ස්-භාරත් ප්‍රතිපත්තිය එයි.. බැදුම්කර ජනාධිපති කොමිසම අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්අඩංගුවේ..

“අධිරාජ්‍යවාදයට ඉඩදී සමාජවාදය ගොඩනැඟීම පිළිබඳ සිහිනයක් දකිමින් රැය පහන් කිරිම වත්මන් වමේ, භූමිකාව බවට පත්ව තිබෙනවා”

අධිරාජ්‍යවාදයට ඉඩදී සමාජවාදය ගොඩනැඟීම පිළිබඳ සිහිනයක් දකිමින් රැය පහන් කිරීම වත්මන් වමේ, භූමිකාව බවට පත්ව තිබෙන බව ජානිපෙ නායක, විමල් විරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී තමන් සිරගතව ලියූ ‘රටට උවමනා වම’ කෘතිය ජනගත කිරීමේ උත්සවයේදී සිය දේශනය සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට මා ස්තූතිවන්ත වෙනවා පොත් දෙකක් ලිවීමට කාලය සහ අවකාශය ලබාදීම පිළිබඳව. එතුමන්ලාගේ ‘දේශපාලන දඬයමට’ අනුකූලව මා සිරගත කිරීමේ තීරණය ගනු ලැබූවද එහිදී මා ලැබූ ප්‍රයෝජනයේ ප්‍රතිඵලය තමයි අද මෙලෙස ඔබ සැම වෙත පිළිගන්වනු ලබන්නේ.

‘ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය’

මා සිරගතව සිටින කාලයේ තමයි සෝවියට් දේශයේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් පිරුණේ. ඒ වගේම මා සිරගතව සිටින විට ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සැමරීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වූවා. ඒක හරියට සාර් අධිරාජයා ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සැමරුවා වගේ වැඩක්. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් පිරෙන මේ මොහොතේ සෝවියට් සංගමය වගේම එය සතුව තිබූ සමාජවාදී ක්‍රමයත් නැහැ. ඒ වගේම ඊට මුල් වූ පරමාදර්ශී චරිත පිළිබඳ කියවීම් අද වෙනස් වී තිබෙනවා. බටහිර දාර්ශනිකයන් උදම් අනමින් සිටිනවා, ‘අපගේ චින්තනය හා දැක්ම ලෝකයේ එකම හා අවසානාත්මක චින්තනය හා දැක්ම බවට පත් වී තිබෙනවා’ කියා. මම මේ කාලයේ සිරකුටිය තුළට වී, ‘ගෙවී ගිය කාලය පුරා මේ රටේ සමාජවාදය පැළ කිරීමට බැරි වුණේ ඇයි?’ කියන ප්‍රශ්නයට මගේ මනසත් සමඟ තනිවම පිළිතුරු සොයන්න උත්සාහ කළා. බන්ධනාගාරය තුළ සිටියදී මට බොහෝ හිතවත් වූ, උදව් කළ සිරකරුවන් අතර බොහෝ විට හිටියේ මත්ද්‍රව්‍ය, අවි ආයුධ නීති විරෝධිව ළඟ තබා ගත් බවට චෝදනා ලැබූ පිරිස්. පසුකාලීනව මාධ්‍යවේදීයකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ද ආවා. ඊටත් පසුව ත්‍රිකුණාමලයේ සිට කොළඹට මාළු ලොරියක, අයිස් පෙට්ටියක බෝම්බ එවා මහා විනාශයක් සිදු කිරීම, වැළැක්වීමට මුල් වූ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇතුළු පිරිස අභූත චෝදනා මත අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ මා සිටි ‘ඊ වාට්ටුව’ වෙත එවා තිබුණා. කෙසේ වුවත් ඉහත කී සාකච්ඡාව සිදු කිරීමට සුදුසු පිරිසක් මට සිරගෙය තුළ හමු වුණේ නැහැ.

එසේ මා තනිවම කල්පනා කරන විට, පංති විෂමතාවය බහුල, සුද්දාගෙන් සහ වර්ණභේදවාදයෙන් බැටකාපු අප්‍රිකානු කලාපයේ සමාජවාදී ක්‍රමයක් බිහි නොවුණේ ඇයි?’ කියන ප්‍රශ්නය මතු වුණා. එක් අවස්ථාවක කියුබානු මැදිහත්වීම මත කෙටිකාලීනව ඇංගෝලාවේ සමාජවාදී පාලන ක්‍රමයක් බිහිකර තිබුණත් පොදු තත්වය එයයි. රුසියාව සහ කියුබාව වැනි ලතින් ඇමෙරිකානු රටවල් හැරුණු විට සමාජවාදී පාලන ක්‍රමයන් බිහි වූ වැඩි රාජ්‍යයන් ප්‍රමාණයක් අයත් වන්නේ ආසියානු කලාපයටයි. ‘සූරාකෑම බහුල වුවත්, පීඩිතභාවයේ කරවටක් ගිලී තිබුණත් අප්‍රිකානු කලාපයේ සමාජවාදී රටවල් බිහි නොවුණේ ඇයි?’ කියන ප්‍රශ්නය වගේම ‘අවුරුදු 100කටත් කලින් සෝවියට් සමාජවාදී ක්‍රමය බිඳ වැටුණේ ඇයි?’ කියන ප්‍රශ්නය සමඟ මා මනස බොහෝ ‍වෙහෙසවමින් කල්පනා කළා. මාක්ස්වාදය සර්වතෝභද්‍ර දර්ශනයක් නම් එසේ විය නොහැකියි. ඇතැම් අය කියන්න පුළුවන් ‘ඒ භාවිතාවේ ගැටළු’ කියා. එසේ විය නොහැකියි. ඒ නිසයි මා පොතපත් ගෙන්වාගෙන ඉහත කී ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන ආකාරයේ කෘතියක් කිරීමට පෙළඹුණේ.

‘බහුවිධ අර්බුද සුළියක්’

දිනෙන් දිනම රටේ ආර්ථිකය බිඳ වැටෙමින් තිබෙනවා. ඒ අතරේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා බලවත් රටවල් ඒ අයගේ ආර්ථික උපායමාර්ගයන්ට මේ රට ගොදුරුකර ගනිමින් සිටිනවා. ඉන්දියාව තමන්ගේ උපායමාර්ගික උවමනාවන්ට මේ රට තිප්පොළක් බවට පත්කර ගනිමින් තිබෙනවා. පරාජයට පත් කරන ලද බෙදුම්වාදී බලවේගයන්ට උවමනා ආකාරයේ ව්‍යවස්ථාවක් අද නිර්මාණය වෙමින් තිබෙනවා. ජිනීවාවලදී එකඟ වූ යෝජනාවලියට අනුව දවසින් දවස රටේ ජාතික ආරක්‍ෂාව බිලි දෙමින් සිටිනවා. ඒ අනුව පෙනී යන්නේ මේ රට නැවත වතාවක් බහුවිධ අර්බුද සුළියකට හසුවෙමින් තිබෙන බවයි. ඒ නිසා මා ඉහත කී ලෝකයේ සමාජවාදය පිළිබඳ ගැටළුවලටත් මේ අර්බුද සුළියටත් අපේම ‘විසඳුම් මාවතක්, චින්තනයක්’ නිර්මාණය කර ගත යුතුව තිබෙනවා. ඊට එක්තරා ආකාරයකට පුර්විකාවක් ලෙස තමයි ‘රටට උවමනා වම’ කෘතිය සම්පාදනය වුණේ.

‘ආර්ථික පරාධීනත්වය දවසින් දවස වැඩි වෙනවා’

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘හෙරිටේඡ් පදනම’ විසින් මා සිරගතව සිටින කාලයේ නිකුත් කළා ‘ආර්ථික ස්වාධීනත්වය පිළිබඳ දර්ශකයක්.’ ඒ ආර්ථික ස්වාධීනත්ව දර්ශකය අනුව ලකුණු 50ට වඩා අඩුවෙන් ලබා ගන්නා රටක්, ‘ආර්ථික ස්වාධීන්ත්වය යටපත්කර ගනු ලැබූ රටක්’ ලෙසයි හැඳින්වෙන්නේ. ලකුණු 50-70 අතර තිබෙන රටක් නම් ‘වැඩි වශයෙන් ආර්ථික පරාධීනත්වයට ලක් වූ රටක්’ ලෙසයි හැඳින්වෙන්නේ. 2017දී මේ දර්ශකය අනුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ලකුණු 57.4ක්. ඒ අනුව 2016දී 93 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2017දී 112 වැනි ස්ථානයට වැටිලා. මේ දර්ශකය නිකුත් කර ඇත්තේ රටවල් 180ක් පදනම් කර ගෙනයි. ලකුණු 57.4න් කියැවෙන්නේ ‘ශ්‍රී ලංකාව දරුණු ලෙස ආර්ථික පරාධීනත්වයට ලක් වූ රටක්’ බවයි. මේ ආර්ථික පරාධීනත්වය දවසින් දවස වැඩි වන බව මිස අඩු වන බවක් පෙනෙන්නේ නැහැ.

2010-2014 කාලයේ මේ රටේ 6.8%ක පමණ ආර්ථික වර්ධන වේගයක් තිබුණා. 2005දී ඇමෙරිකන් ඩොලර් බිලියන 24ක මට්ටමේ තිබූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම 2014 වන විට 233%කින් වැඩි වී තිබුණා. එනම් 2014දී එය ඇමෙරිකන් ඩොලර් බිලියන 80 දක්වා වැඩි වී තිබුණා. 2006 වන විට ඇමෙරිකන් ඩොලර් මිලියන 2735ක්ව තිබූ ශ්‍රිී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2014 අග වන විට 300%ක වර්ධනයක් හිමි කර ගනිමින් ඇමෙරිකන් ඩොලර් මිලියන 8208ක් බවට පත් වී තිබුණා. 2005දී අපට තිබූ විදේශ ඍජු ආයෝජන ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 287ක්. එය 2014 අග වන විට ඇමෙරිකන් ඩොලර් මිලියන 1635 දක්වා වැඩි වුණා. නමුත් එය 2016 වන විට ඇමෙරිකන් ඩොලර් මිලියන 450ට අඩු වුණා. 2002 වසරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 106%යි. ඒක 2005දී 91%යි. 2014දි ඒ ප්‍රතිශතය 71%යි. ඒ වගේම “ෆිච්” ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දි තිබූ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය වූයේ ධනාත්මක දැක්මක් සහිත BB ශ්‍රේණියයි. එහෙත් 2016 වසර වන විට එම ශ්‍රේණිය B+ දක්වා පහත හෙළා තිබෙන අතර ආර්ථික දැක්ම ද ඍණාත්මක ලෙස වර්ගීකරණය කර තිබෙනවා. මේ ආණ්ඩුව සිය පළමු මාස 21 තුළ පමණක් සමස්ත ණය බර රුපියල් බිලියන 7391 සිට රුපියල් බිලියන 9402 දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා. ඒ අනුව රටේ ණය බර රුපියල් බිලියන 2011කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ වගේම සුප්‍රකට බ්ලුම්බර්ග් ආයතනය මගින් පසුගියදා නිකුත් කළ “ගෝ” වාර්තාවෙන් ලෝකයේ අධි ආයෝජන අවදානමක් සහිත රටවල් දක්වා තිබෙනවා. එම වාර්තාවට පදනම් වූ රටවල් 80 අතුරින් ශ්‍රී ලංකාව හිමිකර ගෙන ඇත්තේ 67 වැනි මට්ටමයි. ඒ අනුව මෑතකදී දරුණු ආර්ථික කඩා වැටීමකට ලක් වූ ග්‍රීසිය එම අර්බුදයයට ලක් වන විට සිටි මට්ටමටත් වඩා මට්ටම් 20කින් පහළ තැනක ශ්‍රී ලංකාව අද සිටිනවා.

“ජනාධිපති කොමිසමත් අත්අඩංගුවට අරන්’

ඒ වගේම ආර්ථිකයේ කඩා වැටීම ගැන කතා කරන විට බැඳුම්කර වංචාව ගැන කතා නොකර බැහැ. ඒ පිළිබඳව දැන් ජනාධිපති කොමිසමකුත් පිහිටුවා තිබෙනවා. කෝප් කමිටු සාමාජිකයකු ලෙස අප පක්‍ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මන්ත්‍රීතුමා ඒ කොමිසමට කැඳවා තිබුණා සාක්ෂි දීමට. එහිදී මොන දේ ඉදිරිපත් කළත් කොමිසමේ සාමාජිකයන් ‘හරි අපි ඒක දන්නවා’ කියා කියනවාලු. අන්තිමට වීරකුමාර මන්ත්‍රිතුමා අහලා තිබෙනවා කොමිසමේ සාමාජිකයන්ගෙන් ‘ඇයි එහෙමනම් මට එන්න කීවේ?” කියලා. අද ඒ ජනාධිපති කොමිසමේ පිටුපස, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අසුන්ගෙන සිටිනවා. එයාගේ බෑණාගේ සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන්, සාක්ෂි දෙන පිරිසට බාධා කරන්න නීතිඥ පිරිසක් යොදවා තිබෙනවා. දැන් ඒ ජනාධිපති කොමිසම, සම්පුර්ණයෙන්ම අර්ජුන මහේන්ද්‍රන්ගේ සහ ඔහුගේ බෑණාගේ නීතිඥ කණ්ඩායමේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

“බැඳුම්කර නිකුත් කරන ක්‍රමය වෙනස් කරලා කරපු දේ”

මා දුටුවා එම කොමිසම හමුවේ සාක්ෂි දුන් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු කියනවා, ‘බැඳුම්කර නිකුත් කරන ආකාරය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් විසින් වෙනස් කළ නිසා ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය අච්චු ගැසීමට සිදුවුණා”කියලා. මීට පෙර පාර්ලිමේන්තු කෝප් කමිටුව වෙත කැඳවපු අවස්ථාවේ අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසුවා ‘බැදුම්කර නිකුත් කරන ආකාරය වෙනස් කරන්න මට උපදෙස් දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා” කියලා. ඒ වගේම අගමැතිවරයාම පාර්ලිමේන්තුවේදී පිළිගත්තා ‘ඔව්! මම තමයි බැඳුම්කර නිකුත් කරන ක්‍රමය වෙනස් කරන්න උපදෙස් දුන්නේ’ කියා. මේ නිසා ශ්‍රී ලංකාවේ බැංකු පොලී අනුපාත ඉහළ ගියා. මුළු රටම දරුණු ආර්ථික සුනාමියකට හසු වුණා. 2017 වසර සඳහා පමණක් අච්චු ගසා ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 295කට වැඩියි. ඒ විතරක් නොවෙයි දැන් රුපියලේ අගය දිනෙන් දිනම කඩා වැටෙනවා. 2014 වන විට රුපියල ඩොලරයට සාපේක්ෂව තිබුණේ රුපියල් 131ක. අද එය රුපියල් 154 දක්වා පල්ලම් බැහැලා තිබෙනවා. ඒ අනුව කෙටි කාලයක් තුළ රුපියල 7%කින් අවප්‍රමාණය වී තිබෙනවා. 2006-2014 කියන මුළු කාලය තුළ රුපියල අවප්‍රමාණය වුණේ 2.8%කින් පමණ. රටේ තිබෙන මේ දරුණු ආර්ථික කඩා වැටීම ආශිර්වාදයක් වෙනවා මේ රට ගිල ගැනීමට සිටින බලවේගවලට. ඔවුන් අපට උදව් කරන්නේ නැහැ. ඔවුන් මේ ආර්ථික කඩා වැටීම යොදා ගන්නවා, ඔවුන්ගේ මේ රටේ ආර්ථිකය ගිල ගැනීමේ උපායමාර්ගික සැලසුම දිගේලි කිරීමට.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනවා, ඇවිත් ණය වට්ටෝරුවක් දෙනවා, විදේශ වත්කම් සංචිතයේ අඩුපාඩුව සපුරා ගන්න. කොන්දේසිය තමයි බදු පරිමාව වැඩි කිරිම. ඒ අනුව සෞඛ්‍ය සේවාව ඇතුළු බොහෝ ක්‍ෂේත්‍රවලට වැට් බද්ද එනවා. ඉන් නොනැවතී උපයන විට ගෙවීමේ බද්දත් තව කිහිප ගුණයකින් වැඩි වෙනවා. ඒ නිසා මේ අර්බුදය බටහිරට උවමනා අර්බුදයක්. ඒ අයට මේ කඩාවැටීම ඕනේ. 2005-2015 ජනවාරි 08 වැනිදා දක්වා කාලය තුළ ආර්ථිකය ස්ථාවර කළා. ඒ සමඟ රට තුළ දේශපාලන ස්ථාවරභාවය ඇති කළා. අපේ රටේ ස්ථාවරභාවය තමයි බටහිරට පෙන්වන්නට බැරි දේ. ඔවුන්ට ඕනෑ වුණා අස්ථාවරභාවය කැඳවා ගෙන එන පාලනයක්. ඒ යටතේ ඇති වූ ආර්ථික අස්ථාවරභාවයයි මේ විදියට දවසින් දවස වැඩෙන්නේ.

‘ආණ්ඩුවේ පිළියමේ මාවත’

මේ අර්බුදයට පිළියම් ලබාදීමට ආණ්ඩුව තෝරාගෙන ඇති මාවත කුමක්ද? ගෝලීය අධිරාජ්‍යවාදී බලවතුන් ඉදිරිපත් කරන නිර්දේශ වට්ටෝරුව තමයි මේකට ‘පිළියමේ මාවත’ ලෙස ආණ්ඩුව තෝරාගෙන තිබෙන්නේ. සිරිසේන ජනාධිපතිතුමා නම් මෙහෙම ඇර්ථික අර්බුදයක් තිබෙනවා, කියලා දන්නේ නැතිව ඇති. මේ ආර්ථික අර්බුදය ගැන පත්තරවල වැඩිය යන්නේ නැහැනේ. (සභාවේ සිනා) නමුත් අද මේ රටේ ආර්ථිකය හසුරුවන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ එයාගේ ‘රෝයල් කොලීජියේ’ යාළුවෝ ටිකයි. එයාගේ චින්තනය සහ සංස්කෘතිය, බටහිරට උවමනා චින්තනය සහ සංස්කෘතියයි. මේ අය ගෙන එන්නේ බටහිරට උවමනා විසඳුම් මිස අන් යමක් නොවෙයි. දැනටම මේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය තිරණයක් අරගෙන තිබෙනවා, ලංකාවේ ඉඩම් විදේශිකයන්ට සින්නක්කරව මිලදී ගැනීමට ඉඩ දීමට. ඒ වගේම දැන් ගොවීන් අත තිබෙන බලපත්‍රලාභී ඉඩම්වලට ඔප්පු ලබා දෙනවා ඔවුන් ගමේ ඉඩම් විකුණලා නගරයට එන එක වැඩි කරන්න, කෘෂිකාර්මික ප්‍රදේශවල වී ගොවිතැන වෙනුවට වාණිජ බෝග වගාවට බහුජාතික සමාගම්වලට ඒ ඉඩම් ටික දෙන වාතාවරණය හදන්න.

‘රිගේනින් ශ්‍රී ලංකා නම නැතිවම ක්‍රියාත්මකයි’

පසුගිය දිනවල අවුරුදු 03ක කාලයකට පූර්ණ බලතල සහිත ඇමති ධුරයක් හදන්න පනත් කෙටුම්පතක් ගෙන ආවා. ඒ පනත් කෙටුම්පත සම්මත වුණානම් ඇමතිවරයාට බලය ලැබෙනවා රාජ්‍ය ආයතනයක් සතු ඕනෑම ඉඩමක්, දේපළක් පවරා ගන්න. ඊට එරෙහිව එම ඇමතිවරයාට හෝ අදාළ නිලධාරින්ට නඩු පවරන්නත් බැහැ. පළාත් සභා සියල්ලම ඒකට විරුද්ධ වුණු නිසා එම පනත් කෙටුම්පත යට ගියා. ඒ ඇමති ධුරය ගෙනාවේ කුමකටද? මේ කඩා වැටෙන ආර්ථිකය හමුවේ බටහිරින් දෙන නිර්දේශ ටික බලහත්කාරී ලෙස ක්‍රියාත්මක කර ගන්න. දැන් රේගුවත් වහන්න පනත් කෙටුම්පපතක් ගෙනවිත් තිබෙනවා. ඒක සම්මත වුණොත් ‘නරියන්ට කුකුල්ලු ටික භාර දුන්නා වගේ’ වේවි. ඒ වගේම මිනින්දෝරු දෙපාර්තමේන්තුව තිබියදී මේ රටේ මැනුම් කටයුතු විදේශ සමාගමකට පැවරීමට කටයුතු කරනවා. මැනුම් කටයුතු විදේශ සමාගමකට දෙන්නේ රටේ ඉඩම් ටික කඩිනමින් මැනලා ඉවර කරන්න. ත්‍රිකුණාමල වරාය, කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න, හම්බන්තොට වරාය, හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනාට දෙන්න මේ ආණ්ඩුව සූදානම් වෙනවා. කබීර් හෂිම් ඇමතිවරයා යටතේ තිබෙන රාජ්‍ය ව්‍යවසායන් ගැසට්කර ඇත්තේ නිකමට නොවෙයි, ලැබුණු පළමු අවස්ථාවේදීම විකුණා දමන්න. නම නැතිවාට මේ ක්‍රියාත්මක වෙන්නේ ‘රිගේනින් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළයි. නමුත් මේ ආණ්ඩුවට තම සැලසුමේ සෑම දෙයක්ම ක්‍රියාත්මක කරන්න බැරි වී තිබෙනවා, ඔවුන්ට එල්ල වී ඇති සමාජ විරෝධය නිසා.

‘ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමක්!’

පසුගියදා ඉන්දියාවට ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවබෝධතා ගිවිසුමකට අත්සන්කර තිබුණා. ‘ත්‍රිකුණාමල සංවර්ධනය’ නමින් එහි ව්‍යාපෘතියක් තිබෙනවා. මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ග කිහිපයක් ඉදි කිරිම සඳහා ඉන්දියාවට කොන්ත්‍රාත් ලබා දීමත් ඒ යටතේ තිබෙනවා. ‘එට්කා ගිවිසුම නිශ්චිත කාලයකට පෙර අත්සන් තැබිය යුතුයි’ කියලත් එහි තිබෙනවා. පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව විමසුවාම අගමැතිවරයා කියනවා, ‘එ්කේ එවැනි නිශ්චිත එකඟතාවක් නැහැ’ කියා. ඒ අවබෝධතා ගිවිසුමේ නිශ්චිත එකඟතා නැත්තේ නැහැ. ඒක බොරුවක්. ඒ විදියට ඉන්දියාවේදි එට්කා අත්සන් කිරීම ඇතුළු සියලු කරුණු ඇතුළත් අවබෝධතා ගිවිසුමකට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අත්සන් කළාට පසුවයි ඉන්දීය අගමැතිවරයා ලංකාවට වෙසක් බැලීමට එන්නේ. මේ අනතුර කල්තියා දුටු නිසයි ‘මෝඩි ලංකාවට එන විට කළු කොඩි ඔසවන්න’ කියලා මම ඉල්ලුවේ. නමුත් ආණ්ඩුවේ බත්බැලයන් මම වෙසක් දිනයේදී කළු කොඩි ඔසවන්න කීවා කියා බොරුවක් සමාජගත කරන්න හදනවා. අනුරාධපුරයේදී ජනාධිපතිවරයාත් මේ ‘කළුකොඩි කතාව’ ගැන පවසා තිබුණා. මට ‘අනේ පව්’ කියා හිතුනා. (සභාවේ සිනා) නමුත් එතුමා නම් හරියට කීවා, ‘එක් කෙනෙක් මෝඩි අගමැතිතුමා එනකොට කළු කොඩි දාන්න කියා තිබෙනවා’ කියලා. එතුමා මම වෙසක් එකට කළු කොඩි දාන්න කියා කිව් බවක් කීවේ නැහැ.

කොහොම නමුත් ඉන්දියාව අපේ රටේ තිබෙන ආර්ථික අර්බුදය පාවිච්චි කරනවා තමන්ගේ උවමනාව ඉටුකර ගැනීමට. ඇමෙරිකා එක්සත් ජනපදයත් ඒකම කරනවා. නමුත් අපේ රට සම්බන්ධයෙන් ඉන්දියාවට තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ආර්ථික න්‍යාය පත්‍රයක්. ඇමෙරිකා එක්සත් ජනපදයට තිබෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක්. අද මේ න්‍යාය පත්‍ර දෙක, තුනට ගොදුරු වූ දඩබිමක් බවට මේ පොළොව පත් වෙමින් යනවා.

‘ගෝලීය සුපිරි සමාජය’

2015 ඔක්තෝබර් මාසයේදී පැවැති ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට එකඟ වූවා. අද අධිරාජ්‍යවාදය කියා කියන්නේ ‘ගෝලීය සුපිරි සමාජයකට. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කියන්නෙත් ඒ ‘ගෝලීය සුපිරි සමාජයට’ අයත් දෙයක්. අධිරාජ්‍යවාදයේ මෙහෙයුම්කරුවන් තමයි මේ ‘ගෝලීය සුපිරි සමාජය’ කියන්නේ. රාජ්‍ය නොවන සංවිධාන, විවිධ මානව හිමිකම් සුරකිනවා යැයි කියන සංවිධාන, යුද මිලිටරි සංවිධාන, ඔත්තු සේවා මේ සියල්ල එක්ව ගත් කළ එය ‘ගෝලීය සුපිරි සමාජයක්.’ ගෝලීය සුපිරි සමාජය හිතාගෙන හිටියේ ක්ලින්ටන් නෝනා දිනවන්න. ඒ නිසයි අද ට්‍රම්ප් මහතා මේ ‘ගෝලීය සුපිරි සමාජය’ තුළ ප්‍රතික්ෂේප වෙන්නේ. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අහම්බයක් නම් ඔහුට ඉදිරියේදී සිදු වෙනවා ගෝලීය සුපිරි සමාජයට අවනත වෙන්න. නැතිනම් අබිරහස් ලෙස මියයාමට. මේ ගෝලීය සුපිරි සමාජයේ ‘ඔළුව’ තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හෝ වෙනත් ස්ථානයක වෙන්න පුළුවන්. නමුත් අද ජාතීන්ගේ, ජාතික රාජ්‍යයන්ගේ පරිණාමය තීරණය කරන්නේ මේ ගෝලීය සුපිරි සමාජය විසිනුයි. ඔවුන් තමයි ඉදිරියේදී ශ්‍රි ලංකාව කැබලි එකක් ද, දෙකක් ද, කියා තීරණය කරන්නේ. මේ ගෝලීය සුපිරි සමාජය සතුව තිබෙනවා මුළු ලෝකය පුරාම විහිදුණු න්‍යාය පත්‍රයක්. 2015 ඔක්තෝබරයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා අවනත වුණේ ඒ ‘ගෝලීය සුපිරි සමාජයේ’ න්‍යාය පත්‍රයේ තිබෙන එක් ප්‍රධාන කාරණයකට. එනම් ශ්‍ර්‍රීි ලංකාවේ සිදු වී ඇතැයි කියන යුද අපරාධ ගැන සොයන්න. ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවලියට ඇතුළත් වෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාව. ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා යුද අපරාධ සිදු කළා යැයි සඳහන් ඒ වාර්තාව ද පිළිගනිමින් තමයි මංගල සමරවීර ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය පළ කරන්නේ.

ඒ එකඟ වුණු ක්‍රියාමාර්ග අද එකින් එක ක්‍රියාත්මක කරමින් තිබෙනවා. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත කර ගෙන තිබෙනවා. දැන් අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය පිළිගනිමින් ඊට අදාළ නීතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. ඒ පනත මගින් බලය ලැබෙනවා අතුරුදහන්වීම් පිළිබඳව සොයා බලන්න වෙනම අධිකරණයක් පිහිටුවන්න. ඒ අධිකරණයට පුළුවන් අතුරුදහන්වීමකට වගකිය යුතු තැනැත්තා පමණක් නොවෙයි ඔහුට අණ දුන් නිලධාරියාද අත්අඩංගුවට ගෙන, ඔහුට විරුද්ධව නඩු අසා දඬුවම් කරන්න. ඒ වගේම ඉහත පනත් සම්මත වූවාට පසුව විද‍ෙස්ගත අයෙකුට වුවත් එම රටේ අධිකරණයට තම ඥාතියකු අතුරුදහන් කළ බවට පැමිණිලි කළ හැකියි. එවිට එම අධිකරණයට පුළුවන් අතුරුදහන් කිරිමට වගකිවයුතු යැයි කියන පුද්ගලයා තමන්ට භාර දෙන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන්න. දෙමුහුන් අධිකරණ පිහිටුවීම කල් ගියාට දැන් තවත් අලුත් අධිකරණයක් මෙරට අධිකරණ පද්ධතියට එකතු වෙනවා.

‘සුමන්තිරන් කියන කතා’

පසුගිය මාර්තු 11 වැනිදා එම්.එන්. සුමන්තිරන් මන්ත්‍රීවරයා වන්නි – ඉන් හෝටලයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර තිබුණා. මෙය මා උපුටා ගත්තේ 2017 මාර්තු 13 මව්බිම පුවත්පතෙන්.

“…දැනට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ යෝජනාව සම්බන්ධයෙන් අපේ ස්ථාවරය පැහැදිලි කිරීමට තමයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු – නැඟෙනහිර පළාත්වල පළාත් සභා මන්ත්‍රීවරුන් රැස් වුණේ.
එහිදී අපි ගත්ත තීරණය තමයි, ‘2015 ඔක්තෝබර් 01 වැනිදා දින සම්මත කර ගත්, ලංකාවේ එකඟතාව එක්ක සම්මත කරගත් ඒ යෝජනාවෙන් තිබෙන හැම ඡේදයක්ම ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම ක්‍රියාත්මක කරන වෙලාවේදි ඒකට දැඩි කොන්දේසි ක්‍රියාත්මක කරන්න ඕනෙ. ඒක සහතික කරන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ, කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයට බලපෑම් කළ යුතුයි,’ කියන කාරණය.

තුන්වැනි කරුණ තමයි ශ්‍රී ලංකා රජය මේවා හරියාකාරව ඉටු කරන්නේ නැත්නම්, අන්තර් ජාතික නීතියෙන්, පීඩාවට පත් වූ ජනතාවට ලැබෙන්න ඕන දේවල් සියල්ල ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළ යුතු බවයි…”

‘බෙදුම්වාදී උගුලේ බරපතළකම’

මෙහිදී සුමන්තිරන් මන්ත්‍රිවරයා කියන ‘ශ්‍රී ලංකා රජය මේවා හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්නම්, අන්තර්ජාතික නිතියෙන්, පීඩාවට පත් වූ ජනතාවට ලැබෙන්න ඕන දේවල් සියල්ල ලබාදීමට එක්සත් ජාතින්ගේ සංවිධානය කටයුතු කළ යුතුයි.’ කරුණයි වැදගත්.
අසාධාරණ ලෙස වෙනස් ලෙස සැලකීම වැළැක්වීමේ සහ සුළුතර ජන අයිතීන් ආරක්‍ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ උප කොමිසමේ වාර්තා තබන්නකු වන ආර්. ක්‍රිස්ටෙස්කු පවසා තිබෙන පහත සදහන් කරුණු මගින් ද සනාථ වන්නේ, ශ්‍රී ලංකාව මේ වන විටත් හිරකොට ඇති බෙදුම්වාදී උගුලේ බරපතළකමය.

“සමාන අයිතිවාසිකම් හා ස්වයංතීරණ අයිතිය පිළිබඳ මූලධර්මය නිදහස් හා ස්වෛරී රාජ්‍යයක ජීවත්වන ජනගහනයකට වෙන්වීම සඳහා වන අසීමාන්තික වූ අයිතියක් පිරිනමන්නේ නෑ. කෙසේ වෙතත් විශේෂිත හා වැදගත් අවස්ථාවකදී එනම්, අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් ජනතාවත් භූමි ප්‍රදේශ හෝ වෙනත් ඒකකයන් පහත් කොට සලකනු ලබන අවස්ථාවකදී එම ජනතාවට තම නිදහස වෙනුවෙන් නිදහස් හා ස්වෛරී රාජ්‍යයක් ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවේ.”

දැන් ශ්‍රී ලංකාව ඇද ගෙන යමින් ඇත්තේ ඒ මාර්ග සිතියමට අනුකූලව නොවේද?

ඒ අතරේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරමින් සිදු කරන මෙහෙයුමේ, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙහෙයුම් කමිටුව මේ වන විට අතුරු වාර්තාවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතුරු වාර්තාවෙන් ‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබෙනු ඇත’ කියන වගන්තියට විකල්ප 07ක් ඉදිරිපත්කර තිබෙනවා. ‘ත්‍රිපිටකය අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමෙනු ඇත’, ශ්‍රී ලංකාව අනාගාමික රාජ්‍යයක් ලෙස පිළිගැනෙනු ඇත’ ආදී වශයෙන් විකල්ප 07ක් තිබෙනවා. ජනතා විරෝධය එනවිට මේ විකල්ප හකුළා ගනීවි. ඒ වගේම ඒ වාර්තාවෙන් සමගාමී ලැයිස්තුව ඉවත් කිරිමට නිර්දේශකර තිබෙනවා. සමගාමි ලැයිස්තුව තිබෙන නිසා තමයි පළාත් සභා ලැයිස්තුවේ යම් විෂයකට මධ්‍යම රජයට මැදිහත්විමට ඉඩකඩ ලැබී ඇත්තේ. ඒ වගේම දෙවන මන්ත්‍රණ මණ්ඩලයක් හදන්නත් එමගින් නිර්දේශකර තිබෙනවා. දෙවන මන්ත්‍රණ මණ්ඩලයට පාර්ලිමේන්තුවෙන් 10යි. එක් පළාත් සභාවකින් 05 බැගින් පළාත් සභා 09ට සාමාජිකයන් 45යි. එකතුව 55ක්. පළාත් සභාවලට වෙන් කළ විෂයන්ට අදාළව පාර්ලිමේන්තුව යම් නීතියක් ගෙනෙන විට ඒ නීතිය පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මත විය යුතුයි. දෙවන මන්ත්‍රණ මණ්ඩලයේ 2/3ක ඡන්දයෙන් සම්මත විය යුතුයි. ඊට අමතරව දෙවන මන්ත්‍රණ මණ්ඩලයේ පළාත් සභා සාමාජිකයන්ගේ සරල බහුතර ඡන්දයෙන් සම්මත විය යුතුව තිබෙනවා. තුන්වතාවක් සම්මත විය යුතුයි. ඉදිරියේදී පළාත් සභා විෂයකට අදාළ නීතියක් ගෙන ඒමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බැරි වෙනවා. ඒ නිසා පළාත් සභා විෂයන්ට අදාළ නීති හැදීමේ සම්පූර්ණ බලය පළාත් සභාවලට යනවා, පාර්ලිමේන්තුවේ නීති හැදීමේ බලය දිය වෙලා යනවා.

ඒ විතරක් නොවෙයි ව්‍යවස්ථා අර්ථ නිරූපණ ගැටළු ආවොත් ඊට විසදුම් දීමට ‘ව්‍යවස්ථා අධිකරණයක්’ සෑදිය යුතු බවට ද මේ අතුරු වාර්තාවෙන් නිර්දේශකොට තිබෙනවා. මේක විනිසුරුවරුන් සිටින අධිකරණයක් නොවෙයි, එන් ජී ඕ කාරයෝ වාඩි වෙන අධිකරණයක්. මේ නිර්දේශ ක්‍රියාත්මක වුවහොත් ඒකීයභාවය සූක්‍ෂ්ම ලෙස දියකර හැරෙනවා. සමගාමී ලැයිස්තුව ඉවත් කළාට පසුව බලතල දෙකට බෙදෙනවා. පොලිස් බලය හා ඉඩම් බලය පළාත් සභාවලට ලැබෙනවා. පළාත් සභා දෙකක් ඒකාබද්ධ වීමට එම පළාත් සභා තුළ වෙන වෙනම සම්මත වන යෝජනා 02ක් ප්‍රමාණවත් කියා කියනවා.

ඒ අනුව, ‘ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ජන කොට්ඨාසයකට ආසාධාරණයක් සිදු කොට ඇත.’ යන්න පිළිගනිමින් මංගල සමරවීර විදේශ ඇමතිවරයා ලේඛනයකට අත්සන් කළා වගේම පූර්ණ ෆෙඩරල් පාලනයකට අදාළ පාලන ඒකකයක් උතුරේ නුදුරේදීම හැදෙනවා.

අලුතෙන් හැදෙන ව්‍යවස්ථාවේ මේ රට ඒකීය ද, ෆෙඩරල්ද කියන එක ඇතුළත් නොකර ඉඳලා අවසානයේදී එන් ජී ඕ ව්‍යවස්ථා අධිකරණයෙන් ෆෙඩරල් කියන තීන්දුව ගන්නයි මේ හදන්නේ. නව ලිබරල්වාදයට උවමනා ජාතික රාජ්‍ය දෙපලු කොට බෙලහීන කරමින්, අනෙක් පැත්තෙන් ආර්ථික වශයෙන් දුබල කිරීමයි. අද අපේ ජාතියත් මේ විපත් දෙකෙන් එල්ල වන ප්‍රහාරයට ගොදුරු වෙලා ඉවරයි. නමුත් අපේ වර්තමාන නායකයෝ කරන්නේ ඒ ප්‍රහාරයට ඉඩ දෙන එක. නැතිනම් ඒ ප්‍රහාරය මෙහෙයවන එක.

‘එට්කා විරෝධී සටන අතට ගනිමු!’

සුපිරි ගෝලීය සමාජයේ බෙහෙත් වට්ටෝරුව අද අපට පොවමින් ඉන්නවා. ආසියාවේ පමණක් නොවෙයි ලතින් ඇමෙරිකාවේ, අප්‍රිකාවේ රටවලට මේ බෙහෙත් වට්ටෝරුව ලබා දී තිබෙනවා. සමහර රටවලට මේ බෙහෙත් වට්ටෝරුව පොවා අවසන්. මම දැක්කා ජවිපෙ නායක අනුර දිසානායක පුවත්පත් සාකච්ඡා ලබා දෙමින් මට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බැන වදිනවා, ‘ඉන්දියාවට මේ රට ගිලගන්න ඉඩ දුන්නා’ කියා. නමුත් එට්කා ගිවිසුම අත්සන් කිරීමට අදාළ දින වකවානු ද සහිත අවබෝධතා ගිවිසුමකට ඉන්දියාවට ගොස් රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තබා තිබෙනවා. ඒවාට විරුද්ධව අද අනුර දිසානායකගේ කට ඇරෙන්නේ නැහැ. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව මේ රටේ ජනයා පෙළගස්වනු ලැබූ පක්‍ෂයක නායකයාට අද සිදුව ඇත්තේ රනිල් වික්‍රමසිංහට එරෙහිව හීන් කෙඳිරියක් නඟා නිහඬ වීමටයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මැතිතුමා මේ අවස්ථාවට පැමිණ තිබෙනවා. එතුමන්ලා තමයි එට්කා විරෝධි සටන අතට ගත්තේ. එතුමාව අපි සාදරයෙන් පිළිගන්නවා. (සභාවේ අත්පොළසන්) හැබැයි දැන් එතුමන්ලාගේ SAITM විරෝධී අරගලය ETCA විරෝධී අරගලයට වඩා උඩට ඇවිත් තිබෙන්නේ. ඉන්දීය අගමැති මෝඩි එන විට SAITM විරෝධී සටන සමඟ ETCA විරෝධි සටනත් තීව්‍රව තිබුණානම් තමයි හොඳ. මම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නිර්දේශ සපයනවා නොවෙයි සාමාන්‍ය මිනිස් හැඟීමක් පිට කළේ.

‘අබාන්ස් භාරත් ප්‍රතිපත්තිය එනවා’

අද ඉන්දියාවේ මුදල් නෝට්ටුවලින් අවිහිංසාවාදයේ පියා ලෙස විරුදාවලිය ලත් මහත්මා ගාන්ධිගේ රූපය ඉවත් වෙමින් තිබෙනවා. පාලක භාරතීය ජනතා පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ම කියනවා ගාන්ධිව මරා දැමූ නතුරාම් ගොඞ්සේ නැමැති හින්දු අන්තවාදියාගේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැඟිය යුතුයි කියා. නතුරාම් ගොඩ්සේ ගේ ප්‍රතිපත්තිය ‘අබාන්ස් භාරත්’ ප්‍රතිපත්තියයි. අබාන්ස් භාරත්’ ප්‍රතිපත්තිය කියන්නේ, පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය, බුරුමය මේ සියල්ල ඉන්දියාවට ඇඳා ගැනීමයි. ඊට පසුව හැදෙන්නේ ‘මහා භාරතය.’ ඒ අනුව තමයි ශ්‍රි ලංකාවට අදාළව එට්කා ගිවිසුම, හනුමන් පාලම, ත්‍රිකුණාමලය අත්පත්කර ගැනීම ආදී සකලවිධ මෙහෙයුමක් ඉන්දියාව ක්‍රියාත්මක කරන්නේ.

‘වම අවම වෙලාද?’

මේ සියල්ල සිදුවෙද්දී වම කරන්නේ කුමක්ද? තුන් වේලටම ‘රාජපක්‍ෂ මුව හමට’ තඩි බෑම. ‘අධිරාජ්‍ය විරෝධී අරගලය ඔස්සේ සමාජවාදයට’ ලෙස තම උපායමාර්ගික දැක්ම සකසා ගත් වම මේ මහා වටලෑමට විරුද්ධව කරන්නේ කුමක්ද? ඔවුන් අද තම උපායමාර්ගික දැක්ම ‘දූෂණ විරෝධී අරගලය ඔස්සේ සමාජවාදයට’ ලෙස වෙනස්කර ගෙන තිබෙනවා. ඒ නිසා මේ මහා අධිරාජ්‍යවාදී වටලෑමට විරුද්ධව සටන් වදිනවා වෙනුවට මේ පුංචි මිනිස්සු එක අතකට ‘හොරු ඇල්ලීමේ සටනත්’ අනෙක් අතට SAITM විරෝධි සටනත්’ අරගෙන පුංචි මානසික තෘප්තියක් ලබනවා. අධිරාජ්‍යවාදයට ඉඩදී සමාජවාදය ගොඩනැගීමේ සිහිනයක් දකිමින් රැය පහන් කිරීම වර්තමාන වමේ, භූමිකාව බවට පත්ව තිබෙනවා. ඔවුන්ට කීමට ඇත්තේ ‘Good Night’ කියා පමණි. කනගාටුවට කරුණ තමයි මේ අය නින්දට යන්නේ ජාතියත් නින්දට රැගෙන වීම. ජාතිය නින්දට රැගෙන යාමට මේ තක්කඩීන්ට ඉඩදිය යුතු නැහැ. ඒ නිසා වම තමන්ගේ භූමිකාව නව ආකාරයකින් එළියට ගත යුතුයි. මේ කෘතිය මගින් අපි උත්සාහ කළේ ඒකට. බෞද්ධ සභ්‍යත්වයත් සමාජවාදී දැක්මත් අතර පවතින සමපාත වීම පෙන්වන්නේ අපි ඒකට. මේ පොළොව සමාජවාදී පැළය පැළ කරන්න සුදුසු පොළාවක් බව ඒත්තු ගන්වන්න හදන්නේ ඒකට.

‘රටට උවමනා වම’

ඒ නිසා අපට දැවැන්ත වගකීමක් සහ කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඉතිහාසයේ කොඩිය අපි අතට ගත යුතුයි. ඒ කොඩිය අපි අතට නොගත්තොත් එය අතට ගැනීමට වෙන කිසිවෙක් නැහැ. ජාතිය වල්මත් කරවන සටන්පාඨ රඟ මඩලේ රඟ දක්වන මේ පැයේ ඒවා වෙනුවට තියුණු අධිරාජ්‍ය විරෝධී විමුක්තියේ නිවැරදි සටන්පාඨ මත ජනතාව පෙළගැස්වීමේ වගකීම තිබෙන්නේ අපට. ඒ සඳහා වූ දැක්ම තිබෙන්නේ අපට. ඒ සඳහා වූ මතවාදය තමයි අප මේ ‘රටට උවමනා වම’ කෘතියෙන් ඉදිරිපත් කරන්නේ. මේ පොළොව බලවත් අතීතයක්, බලවත් ශිෂ්ටාචාරයක් හා බලවත් සභ්‍යත්ව මිනිසකු ජිවත් වූ පොළොවක්. මේ පොළොවේ පැළ කරන්න පුළුවන් බීජය තමයි සමානාත්මතාවයේ බීජය, සහජීවනයේ බීජය. ගෞරවනීය විලේගොඩ අරියදේව නාහිමියන් පැවසූ පරිදි කසාවතින් සැරසුණු බෞද්ධ සංඝ සමාජය තමයි ලෝකයේ පළමුවැනි කොමියුනිස්ට් සංවිධානය. එතැන තිබුණේ පොදු දේපළ ක්‍රමය. සාංඝිකයි කියන්නේ පොදුවේ පරිහරණය කරනවා, කියන එකයි. ඒ නිසා බෞද්ධ සභ්‍යත්වය මත බිහි වූ මේ පොළොවේ සමාජවාදී පැළය පැළ කරන්න බැරි නම් ඒ සඳහා සුදුසු වෙනත් පොළොවක් සොයා ගන්නත් බැහැ.

‘රතු කමීසය ඇතුළේ සිටින දේශප්‍රේමියා’

අපි වෙනස් විය යුතුයි. ඒ සඳහා බිය විය යුතු නැහැ. වාක්‍ය ඛණ්ඩ ඇතුළේ සිර වුවහොත් පමණයි අපට වෙනස් වෙන්න බැරි වෙන්නේ. අද ජාතිය විසින් ඉල්ලනවා මේ වෙනස්වීම. ඒ වෙනස්වීම අතට ගත්තොත්, ඔය රතු කමීසය ඇතුළේ ඉන්න දේශප්‍රේමියා එළියට ආවොත් ජාතිය වෙනුවෙන් මේ සටන කරන්න පුළුවන්. ලාංකේය ජාතියේ නිදහස හා ගෞරවය දිනා දෙන්න පුළුවන්. ජාතිකත්ව සහ ආගමික සහජීවනය මේ පොළොව මත ඇති කරන්න පුළුවන්.

ගෝලීය අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙයුමේ තීරණාත්මක ක්‍රියාදාමය රඟ දැක්වෙන වෙලාවේ ඉන්දියාව මේ පොළොව තමන්ගේ තිප්පොළක් බවට පත්කර ගැනීමට හදන වෙලාවේ, ඒ කේන්ද්‍රීය ප්‍රශ්නයට මුහුණ දෙන්න නම්, සැබෑ දේශානුරාගී හැඟීමෙන්, මේ පොළොවට උරුම සභ්‍යත්ව මිනිසා හඳුනාගත්තු ජාතික විමුක්ති ව්‍යාපාරයක් බවට අපි පත් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය දැක්ම හා මතවාදය මේ කෘතිය මගින් ලැබෙනවා නම් එය අපගේ සතුටට හේතු වෙනවා.

ඇත්ත සටන අතට ගනිමු! ව්‍යාජ සටන්පාඨ අත හරිමු! ව්‍යාජ නාටකීය දේශපාලන රඟ දැක්වීම් හෙළිදරව් කරලා ඇත්ත සටනේ කොඩිය අතට ගනිමු! ඒ සඳහා වන සැබෑ ජාතික විමුක්ති ව්‍යාපාරය බවට පරිවර්තනය වෙමු! ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු! ඒ සඳහා මේ මව් පොළොව අවදි කරමු!. මාතෘභූමියට ජයවේවා!!!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

35,822 Viewers

9 Comments to “අබාන්ස්-භාරත් ප්‍රතිපත්තිය එයි.. බැදුම්කර ජනාධිපති කොමිසම අර්ජුන් මහේන්ද්‍රන්ගේ අත්අඩංගුවේ..”

  1. Kanchana says:

    Me okkoma kiyawanna oneda.hedima ketiyen danna

  2. බන්ඩය්යා says:

    විමල් හරියටම හරි. පාදෙනිය දොස්තර මහත්තයෝ, අද රටේ දැවෙන ප්‍රශ්ණය SITAM නෙවෙය්. අද රටේ දැවෙන ප්‍රශ්ණ වලින් ප්‍රධානම ප්‍රශ්ණයක් වන්නේ බටහිර අධිරාජ්‍යවාදය සහ ETCA යි.

  3. WELL SAID AS ALWAYS HON WIMAL WEERAWANASA…….JAYA WEWAAAAAAAA!!!!!!

  4. Sri Lankikayek says:

    Aho ratata giya kalak danwath sri lankikayane ikmanin nagitiu vimal, mahinda vani deshapremi nayakayan wata rockwee rata beraganiu nathinam ape daruwanta ratak nathiwei.

  5. Hemantha says:

    ඉතාම හරවත් නිවැරදි අගනා පැහැදිලි කිරීමක්. සියලුම දේශප්‍රමින් නිවැරැදි මුලික අත්‍යවශ්‍යතා හදුනාගත යුතුයි. ඒ අනූව පෙළගැසිය යුතුයි.

  6. D.n.c.gunasena says:

    Brilliantly explained whats going on here..I think mr.mahinda can stand against all this..sure srilanka will come to an end soon..

  7. රබන්කිකිඳ says:

    උඹ හිරේ හිටියේ ඔක්තෝබර් මාසෙද බං ඔක්තෝබර් සංවත්සරේ ඒ කාලේ එන්න. උඹ හොඳයි අපි නොදන්න ලයිව් එකට යවන්න.

Main News