ආණ්ඩුව උපරිම ඒකාධිපතිතීත්වයක් කරා.. මැතිවරණ සිතියම මුළුමනින්ම හකුලා දමයි…

November 23, 2017 at 4:40 pm | lanka C news
ආණ්ඩුව උපරිම ඒකාධිපතිතීත්වයක් කරා.. මැතිවරණ සිතියම මුළුමනින්ම හකුලා දමයි…

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ඒකාධිපතිවාදයකට ගමන්කරමින් සිටිනා බව ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

ආණ්ඩුව ජනතාවගේ ඡන්ද අයිතියට නැවතත් කොකා පෙන්වමින් යළිත් වරක් අලුත් වටයකින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට මුලපුරා ඇත.ඇත්ත වශයෙන්ම ආණ්ඩුව දැන් පත්ව සිටින්නේ ඉතාමත් අසරණ තත්ත්වයකටය.කවුරුන් මොනවා කිව්වද ඇතිකරන බවට පොරොන්දු වූ වෙනස ඇතිකළ බව ජනාධිපතිවරයා ඊයේ පෙරේදා දවසක යලි පාරම්බෑවේය.එසේ කියන අතරේ පලාත් පාලන ඡන්ද විමසීම් කල්දමා ගන්නට අධිකරණයේ පිහිට පතන්නේය.එයින් පෙනී යන්නේ බලයට පත්ව වසර තුනක් යනවිටම ජනතාව හමුවට යා නොහැකි තත්වයකට ආණ්ඩුව පත්ව සිටින බවය.මෙතරම් අන්ත අසරණ තත්වයකට පත්වූ ආණ්ඩුවක් අපගේ ඉතිහාසයේ කිසිදිනෙක තිබී නැත.

ආණ්ඩුව කෙතරම් අසරණ තත්වයකට පත්වුවද ඒ සම්බන්දයෙන් අනුකම්පා කරන්නට අපට නොහැකිය.මන්ද යත් ආණ්ඩුව මේ සෙල්ලම් කරමින් සිටින්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමග බැවිනි.සංහිදියාව සඳහා ෆෙඩරල් තත්වයකට උවද උපරිම බලය බෙදීමකට සූදානම් කියන ආණ්ඩුවක් මේ අන්දම මෙරට දේශපාලන බල ව්‍යුවහය තුල කුඩාම ඒකකය වන පළාත් පාලන ආයතන සඳහා ජනතාවට කැමති නියෝජිතයන් පත් කර ගැනීමට ඉඩ නොදීම ඉතාමත් උත්ප්‍රාස ජනකය.

ආණ්ඩුව මේ කරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී තක්කඩිකමකි.ඡන්ද විමසීම් කල්දමා ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි සියලුම ක්‍රම භාවිත කරන ආණ්ඩුවේ අලුත්ම උපාය මාර්ගය වී ඇත්තේ ඒ සඳහා අධිකරණය භාවිත කිරීමය.මැතිවරණය කල් යන්නේ දේශපාලනික නොව තාක්ෂණික කරුණු නිසා බව පෙන්වීමටය.කිසිවෙකු මේ සම්බන්දයෙන් ශ්‍රීලනිපයට ඇඟිල්ල දිගු කළහොත් ඔවුන් අපට පෙන්වන්නේ එජාපයයි.එජාපයට ඇඟිල්ල දිගුකල විට ඔවුන් අපට ශ්‍රීලනිපය පෙන්වයි.විෂය භාර ඇමතිවරයා මැතිවරණ කොමිසම පෙන්වා අංග බේරා ගන්නා අතරේ කොමිසම ඇමතිවරයා පෙන්වා අපට කොකා පෙන්වයි.මේ සියල්ල පිටපතකට අනුව කෙරෙන නාට්‍යයක් බව ඉතා පැහැදිලිය.

පාර්ලිමේන්තුවේ විපක්ෂය ආණ්ඩුව විසින් පත්කළ එකක් නිසා ආණ්ඩුවේ මේ හැංගිමුත්තම් සෙල්ලම හමුවේ නිහඩව සිටීමේ අරුමයක් නැත.අපට ඇති කණගාටුව වන්නේ විපක්ෂයේ අනෙකුත් පක්ෂද මේ සම්බන්දයෙන් නිද්‍රාශීලී පිළිවෙතක සිටීමය.ඔවුන් බලා සිටිනු ඇත්තේ ආණ්ඩුව බන්දේසියක තබා ඡන්ද විමසීම් ලබා දෙන තුරුය.එහෙත් එය එසේ නොවන බව ඔවුන්ට වැටහෙනු ඇත්තේ ආණ්ඩුව පළාත් සභා සහ පාර්ලිමෙන්තු මැතිවරණද කල් දැමූ විටය.

ඡන්ද විමසීමක් යනු මහජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව තම බලය ප්‍රදර්ශනය කිරීමට ඇති අවස්ථාවය ඊට ඉඩක් නොමැත්තේ ඒකාධිපති පාලන ක්‍රම තුලය.ආණ්ඩුව දිගින් දිගටම ඡන්ද කල් දමමින් මේ ගමන් කරමින් සිටින්නේ එවැනි ඒකාධිපති ක්‍රමයකට බව ඉතා පැහැදිලිය. එහෙත් මෙලෙස දිගින් දිගටම ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාවන් වළක්වාලන විට ඔවුන් වෙනත් මාර්ගයකින් තම බලය පෙන්වීමට ඉඩ ඇති බව ආණ්ඩුවත් විපක්ෂයේ පක්ෂ සියල්ලත් මතක තබා ගත යුතුය.එවැනි අවස්ථා ඉතිහාසයේ අපට හමුවූ අතර ඒ වෙනුවෙන් අප ගෙවා ඇති මිල ඉතා අධික බවද බලය හමුවේ අතීතය අමතකව ඇති පක්ෂ විපක්ෂ සියලු දෙනාට මතක් කරදීමට කැමැත්තෙමු.

කුලශ්‍රී කාරියවසම්
කැදවුම්කරු
ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය

11,507 Viewers

2 Comments to “ආණ්ඩුව උපරිම ඒකාධිපතිතීත්වයක් කරා.. මැතිවරණ සිතියම මුළුමනින්ම හකුලා දමයි…”

  1. Wijebahu says:

    ANE pala gobbaya yanna

  2. Red says:

    හිටපු ඒකාධිපතියගෙ ඒකාධිපති පාලනයට වඩා යහපාලන දාස් ගුනයක් හොඳයි

Main News