ආයුධ කල්ලියක ප්‍රභලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරේ…

September 10, 2018 at 5:30 pm | lanka C news
ආයුධ කල්ලියක ප්‍රභලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරේ…

යාපනය, නවාලි, අට්ටගිරි ප්‍රදේශයේ නිවාස හතරකට පහරදී අයිස්ක්‍රිම් වේළධාම සඳහා යොදාගත් වාහනයක් ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් සිව්දෙනෙකු ඊයේ (09) සවස අත්අඩංගුවට ගත් බව යාපනය මානිප්පායි පොලිසිය කියා සිටියේය.

මානිප්පායි පොලිසිය පැවසූවේ ප්‍රදේශයේ නිවාස හතරකට පහරදි නිවැසියන් වෙත තර්ජනය කළ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදී අදාළ සැකකරුවන් කඩුවක්ද සමග අත්අඩංගුවට ගත් බවටයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ත් 19 ත් අතර පසුවන වර්දරාසා අරවින්දන්, තවකුමාර් කජීපන්,කනගරාජ් තනුජියන් සහ වර්දරාජා නිජිවියන් නැමති පිරිසක් වන අතර,සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන්ට එරෙහිව පැරණ නඩු 4 ක් පවතින හෙයින් ඔවුන් එළැඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මල්ලාකම් මහේස්ත්‍රාත්  අධිකරණය නියෝග කළ බවටයි.

පසුගිය සමය පුරාම යාපනය ප්‍රදේශයේ ආවා කල්ලිය,ධනු රොක් කල්ලිය,  වික්ටර් කල්ලිය වැනි කල්ලි සාමාජිකයින් විසින් යාපනය ප්‍රදේශයේ නිවාස වෙත පහරදීමේ සිදුවීමක් රැසක් සිදුකොට තිබු බවද සිද්ධිය සම්බන්ධයෙන් පරික්සණ සිදු කළ මානිප්පායි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,393 Viewers
Main News