ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබද පර්යේෂණ කළ යුතුයි..

August 14, 2017 at 2:07 am | lanka C news
ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබද පර්යේෂණ කළ යුතුයි..

දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක පැතිර පවතින වකුගඩු රෝගයට ආයුර්වේද ප්‍රතිකාර කිරීම සදහා පුලුල් වැඩපිළීවෙලක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

විශේෂයෙන්ම උතුරු මැද පළාතේ වකුගඩු රෝගයට බලපා ඇති හේතු සේවීම සදහා පර්යේෂණ රෝහලක් ඉදිකිරිමට පියවර ගෙන ඇත. මැදවච්චිය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම පර්යේෂණ රෝහල පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් විවෘත කරන ලදි.

දැනටමත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා රෝගීන් 2487 ක් ලියාපදිංචි වී ඇත. මාසිකව රෝගීන් 600 කට අධික සංඛ්‍යාවකට ආයුර්වේද සේවාව තුලින් ප්‍රතිකාර ලබාදෙයි.

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව ද විධිමත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව උතුරු මැද පළාතේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය මාධ්‍යස්ථාන ස්ථාපිත කොට ආයුර්වේද සෞඛ්‍ය සේවාව ගමට ගෙනයාමට සෞඛ්‍ය අමාත්‍යවරයා සැලසුම් කර ඇත. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ එවැනි මධ්‍යස්ථාන 08 ක් ස්ථාපිත කර ඇති අතර, ගලෙන් බිදුණු වැව සහ තලාව නව සෞඛ්‍ය මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා විවෘත කරන ලදි.

එම උත්සව අවස්ථාවන් හීදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – ‘ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රමය ඉතා වැදගත්. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට ආයුර්වේද උපාධිධාරින් විශාල පිරිසක් රැකියා විරහිතව සිටියා. පසුගිය රජය සමයේ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා එම උපාධිධාරීන්ට පත්වීම් ලබාදිමට කැබිනටි පත්‍රිකාවක් ඉදිරිපත් කළත් පත්වීම් ලබාදුන්නේ 25 ක් විතර. යහපාලන රජය බලයට පත්වන විට ආයුර්වේද උපාධිධාරින් 700 ක් රැකියා විරහිතව සිටියත් මෙම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර 960 කට පත්වීම් ලබාදිමට අනුමැතිය ලබා ගත්තා. රෝග නිවාරණය කිරිම සදහා එම උපාධිධාරින්ගෙන් කොටසක් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ලෙස පත් කරනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළීබදව ද පර්යේෂණ කළ යුතුයි’

– ප‍්‍රසන්න අධිකාරී

1,002 Viewers
Main News