ඉන්දු-ලංකා ගිවිසුමට එහා පාවාදීමක් සූදානම්.. ‘ඩොක්ලාම්’ බියකරු තත්වය ශ‍්‍රී ලංකාව ඉදිරියේ..

July 15, 2018 at 10:40 am | lanka C news
ඉන්දු-ලංකා ගිවිසුමට එහා පාවාදීමක් සූදානම්.. ‘ඩොක්ලාම්’ බියකරු තත්වය ශ‍්‍රී ලංකාව ඉදිරියේ..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීම ඉන්දු – ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක්!

පසුගිය රජය විසින් මත්තල ගුවන්තොටුපළ සැලසුම්කොට ඉදිකරනු ලබන්නේ මූලික වශයෙන් ජාතික උපායමාර්ගික අරමුණු දෙකක් ඉටුකර ගැනීම සඳහා ය. පළමුවැන්න, ලෝකයේ ප්‍රධානතම වරායවල් 10 අතරට ගැනෙන විශාලතම වරායක් වන හම්බන්තොට වරායට සහ ඒ ආශ්‍රිත අයෝජන කලාපයට ගුවන්සේවා සැපයීම ය. දෙවැන්න ඕනෑම රටක මූලික ජාතික අවශ්‍යතාවක් වන දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස භාවිතා කිරීම ය. එම දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව නව ගුවන් මාර්ග රාශියක් ආරම්භ කිරීමේ හැකියාව ද විශේෂ තත්වයකි. ඒ මගින් ගුවන්යානා ගොඩබෑමක් සිදු නොවූව ද ගුවන් මාර්ගයේ ගමන් කරන යානාවලින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව භාවිතා කිරීම සඳහා ගෙවනු ලබන ගාස්තු ශ්‍රී ලංකාවට ලැබේ. ඒ මගින් ගුවන්තොටුපළ සම්පූර්ණයෙන්ම නඩත්තු කළ හැක.

දැනටමත් එවැනි නව ගුවන්මාර්ග 07ක් ආරම්භ වී ඇති අතර මත්තලට ඉහළ අහස භාවිතා කරමින් මාසයක් තුළදී ගුවන්යානා 150ක් පමණ පියාසර කරයි. ඒ නව ගුවන් මාර්ග නිසා ඕස්ට්‍රෙිලියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලින් යුරෝපයට සහ මැදපෙරදිගට පියාසර කරන සහ ආපසු පැමිණෙන යානාවලට ගමන් දුර කෙටි වන අතර පිරිවැය අඩු වේ. එසේම ඒ මගින් හදිසියකදී භාවිතා කිරීම සඳහා රැගෙන යායුතු ඉන්ධන බර ප්‍රමාණය අඩුවීම මගින් ද පිරිවැය අඩු වේ. ඒ සියලු වාසිදායක තත්වයන් ලැබෙන්නේ ශ්‍රී ලංකාව සහ මත්තල ලෝක සිතියමේ පිහිටා ඇති ස්ථානය නිසා ය. එම පිහිටීම නිසා මත්තල ගුවන්තොටුපළ ගෝලීය මට්ටමින් උපායමාර්ගිකව වැදගත් මර්මස්ථානයක් බවට පත් වේ.

එපමණක් නොව හදිසි අවස්ථාවකදී කටුනායක මඟහැර ගොඩබෑමට ගුවන්තොටුපළක් තිබීම නිසා කටුනායක ගුවන්තොටුපළට ද වැඩි වාසියක් ලැබේ. විශේෂයෙන්ම A380 නම් වූ විශාල ප්‍රමාණයේ ‘එයාර් බස්’ යානා සම්පූර්ණ මගී බර සහ භාණ්ඩ බර සහිතව ගොඩබැස්සවීම සහ ඉහළට එසවීම කළ හැක්කේ මත්තල ගුවන්තොටුපළ යොදා ගනිමිනි. වර්තමාන රජය විසින් මත්තල එම පහසුකම් තිබියදී එම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය කිරීමට සිදුවූ මුදලින් අඩක් වැයකොට කටුනායක ගුවන් පථය පුළුල් කරනු ලැබීය. මත්තල ගුවන්තොටුපළ අවතක්සේරු කිරීම සඳහා එවැනි වැරදි ආයෝජනයක් සිදු කළ ද සම්පූර්ණ බර සහිතව එම විශාල ගුවන්යානා ආරක්‍ෂිතව කටුනායකට ගොඩබෑමේ ගැටළුවක් පවතියි.

මෙතරම් වටිනා ජාතික සම්පතක් හිස් ගුවන්තොටුපළක් ලෙස හඳුන්වමින් අවතක්සේරු කරන්නේ ඉන්දියාවේ උවමනාවට බව දැන් පැහැදිලි වේ. ඕනෑම රටක පාලකයින් විසින් රටේ ජාතික සම්පත් මුග්ධ ලෙස අවතක්සේරු කොට විකුණා දැමීම සිදු කරන්නේ නම් එය පහත් මනෝභාවයක් ලෙස හැඳින්විය හැක. එම මනෝභාවය වඩා හොඳින් ප්‍රකට වූයේ ගුවන්තොටුපළේ නාම පුවරුවේ සඳහන් නම පිළිබඳව පවතින වෛරය පිරිමසා ගැනීම සඳහා එහි වී ගබඩා කිරීම තුළිනි. එම අධම ක්‍රියාව නිසා මත්තල ගුවන්තොටුපළ සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය නැවත ලබාගැනීමට සිදු විය.

මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය කරනු ලැබූ සමස්ත මුදල ඩොලර් මිලියන 230ක් බව පැවසේ. එම මුදල එම ජාතික සම්පතට අදාළ උපායමාර්ගික වැදගත්කම අනුව සලකන විට “සොච්චම් ආයෝජනයක්” ලෙස සැලකිය හැක. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියලේ අගය පහත වැටීම නිසා විදේශ ණය ආපසු ගෙවීම සඳහා වසරකට වැයවන අමතර මුදල එම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය වූ මුදල මෙන් දෙගුණයකි. එනම් ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය නිවැරදි වූවානම් සතයක් හෝ ණය නොගෙන මත්තල වැනි ගුවන්තොටුපළ දෙකක් වසරක් තුළදී ඉදි කළ හැකි ය.

ණය ගෙවීමට නොහැකි නිසා මත්තල විකුණන බව පැවසීම පට්ටපල් බොරුවක් පමණක් නොව “යාචක ප්‍රකාශයක්’ බව ද කිව යුතු ය. කිසිදු ගැටළුවක් නොමැතිව එම ණය ආපසු ගෙවමින් සිටින්නේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ආදායම් වලිනි. එම “සොච්චම් ණය” භාණ්ඩාගාරයට බරක් වූයේ නැත. මෙම ගුවන්තොටුපළ සතු උපායමාර්ගික වටිනාකම අනුව ඕනෑම දුබල රජයක් වුව ද එය විදේශ රාජ්‍යයකට පවරා නොදිය යුතුය යන තීරණය ගැනීමට පසුබට නොවනු ඇත. මත්තල විකිණීමේ මනෝභාවය දුබලකම ඉක්මවා යන දේශපාලන යටත්වීමක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.

මෙම ගුවන්තොටුපළ සඳහා දැනට ලබාදී ඇති අක්කර 1600ට අමතරව ඒ සඳහා වෙන්කර තිබූ තවත් අක්කර 24000ක් ද අදාළ ඉන්දියානු සමාගමට ලබාදීමට ශ්‍රී ලංකාවේ රජය එකඟ වී ඇත. ඊට අමතරව තවත් අක්කර 40,000ක පමණ ගුවන්තොටුපළ ආශ්‍රිත භූමිභාගයක් ආරක්‍ෂිත කලාපයක් ලෙස එම සමාගමට වෙන්කර දීමට රජය එකඟතාව පළකොට ඇති බව වාර්තා වේ. මුහුදු වෙරළ දක්වා විහිදෙන එම කලාපයට අදාළ මැනුම් කටයුතු හෙවත් සිතියම් සකස් කිරීමේ කටයුතු ඇමෙරිකානු නාවික හමුදාවේ ගුවන් පින්තුර ආශ්‍රිත තෙරතුරු යොදා ගනිමින් යම් පෞද්ගලික සමාගමක් මගින් සිදු කෙරෙන බවට ද තොරතුරු වාර්තා වේ.

ඉන්දියාවේ හිටපු ආරක්‍ෂක උපදේශක සහ විදේශ ලේකම් ශිවශන්කර් මෙනන්ගේ “ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේ ඇතුළාන්තය” නැමැති ග්‍රන්ථය අනුව ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට සැතපුම් 14ක් දුරින් නැංගුරම්ලා ඇති ගුවන්යානා රදවන නෞකාවකි. ඒ අනුව දැන් ඉන්දියානු “රෝ” ඔත්තු සේවාව සූදානම් වන්නේ වාණිජ සමාගමක් හරහා එම නෞකාව මිලදී ගැනීමට ය. මත්තල ඉන්දියාවට පවරා දීමේ ගිවිසුම බදු ගිවිසුමක් ලෙස හැඳින්වුව ද එය වසර 99 දක්වා දිගුවක් බැවින් නීතිමය සහ ප්‍රායෝගික තත්වය විකුණා දැමීමකට සමාන වේ.

ඒ අකාරයට චීනයට බදු දී ඇති වරායට කිලෝ මීටර් දෙකහමාරක් දුරින් ඉන්දියානු ඔත්තුසේවා විසින් මෙහෙයවන ගුවන්තොටුපළක් තිබීම තුළින් රටට සිදුවන ආර්ථික පාඩුවට වඩා බරපතළ දේශපාලන සහ යුදමය ගැටළුකාරී තත්වයක් පැනනගින බවට සැකයක් නැත. විශේෂයෙන්ම පසුගිය කාලයේදී ඩොක්ලාම් දේශසීමාව ආශ්‍රීතව චීන සහ ඉන්දියානු හමුදා මුහුණට මුහුණ සිට ගැනීම මගින් ඇති වූ බියකරු තත්වය අනාගතයේදී ශ්‍රී ලංකා භූමියේදී සාමාන්‍ය දෙයක් බවට පත්විය හැක. විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ත්‍රිකුණාමල වරාය, පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය ආශ්‍රීතව ‘පය තබා ගැනීමට’ ඉන්දියාව විසින් ගනු ලබන ප්‍රබල උත්සාහය හමුවේ තත්වය වඩා බරපතළ වනු ඇත.

රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් සහ රටේ ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වලට ගොදුරු කරමින් කරනු ලබන මෙම මහා පාවාදීම ඉන්දු – ලංකා ගිවිසුමට වඩා බරපතළ පාවාදීමක් බවට ඉතිහාසය විසින් සටහන් තබනු ඇත. එම දිනය පැමිණෙන තෙක් බලා නොසිට මේ පාවාදීම වැළැක්වීම සඳහා සමස්ත ජාතියම නැගීසිටිය යුතු බව අවධාරණය කරමි.

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ

16,057 Viewers

8 Comments to “ඉන්දු-ලංකා ගිවිසුමට එහා පාවාදීමක් සූදානම්.. ‘ඩොක්ලාම්’ බියකරු තත්වය ශ‍්‍රී ලංකාව ඉදිරියේ..”

  1. පොරියා says:

    මේකට නම් දැන් හොදටම පිස්සු….

  2. Saradiel says:

    ඉන්දු-ලංකා ගිවිසුම ක්‍රියාකළහොත් අපේ රටට අබ සරණයි

    ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ, එක්තරා ආයතනයක ලිපිකරු තනතුරු 368 කට interview එකක් තිබුණා. ඒකට ඉල්ලූම් පත‍්‍ර ලක්ෂ 23ක් ආවා. ඒ අතරින් එක් ලක්ෂ පණස් දාහක් උපාධිධාරීන්. පශ්චාත් උපාධිධාරීන් 24969 දෙනෙක් හිටියා. පී.එච්.ඩී කාරයෝ 250ක් හිටියා. මේ රස්සාවට ඉල්ලල තිබුණු සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ හා බයිසිකල් පැදීමේ හැකියාව.

  3. Love nature says:

    එට්කා ගිවිසුම පැරදවීමට එකාවන්ව පෙළ ගැසෙමු.

    1987 දී ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට සිදු වූයේ ඉන්දියානු බලහත්කාරටයට යටත් වූ නිසාවෙනි. ඉන් දශක තුනකට පමණ පසු යළිත් වරක් ඉන්දු ලංකා ගිවිසුමක් මඟින් මුළු මහත් දේශයම සිය අණසකට ගැනීම උදෙසා ඉන්දියාව විසින් ලංකා ආණ්ඩුව බිම දණ ගස්සවා ඇත.

    එම දේශද්‍රෝහී ‍‍‍‍‍‍එට්කා ගිවිසුමේ අනිවාර්ය ප්‍රතිපල පිළිබඳව අප දැනුවත් විය යුතුය.

    * දේශීය භාණ්ඩ සහ සේවා වෙළඳපල ඉන්දියානුවන් විසින් අත්පත් කර ගැනීම.
    * ඉන්දියානුවන් විසින් අත්පත් කරගන්නා භාණ්ඩ නිෂ්පාදන අංශයේ සහ සේවා අංශයේ ලාංකිකයන් හට ඇති රැකියා අහිමි වීම සහ එම රැකියා අවස්ථා වැඩි වැඩියෙන් ඉන්දියානුවන් වෙත ලබා දීම.
    * සමස්ථ රැකියා වෙළඳපලේ වැටුප් මට්ටම පහත යාම.
    * ලංකාවේ විදේශ විනිමය කෝටි ගණන් ඉන්දියාව වෙත ඇදී යාම.
    * වැඩි වැඩියෙන් ඉන්දියානු භාණ්ඩ සහ සේවා පරිභෝජනය කරන ජාතියක් බවට අප පත් වීම.
    * දැනටත් ඉන්දියාව සමඟ වෙළදාම පවතින්නේ ඉතාම අවාසි සහගත තත්වයකය. ලංකාවේ සමස්ථ සෘණ වෙළඳ පරතරයෙන් (අපනයන – ආනයන පරතරය) දැනටත් 40% කට වඩා අත් කර දී ඇත්තේ ඉන්දියාව සමඟ ඇති වෙළදාමෙනි.
    * මෙම ගිවිසුමෙන් පසු ලංකාවේ සෘණ වෙළඳ පරතරය දැඩි ලෙස ඉහළ යනු ඇත. වෙළඳ පරතරය වැඩිවීම නිසා පහත සදහන් ගැටළුවලට මුහුණ දීමට සිදු වේ.
    * විදේශ සංචිත අවම වීම.
    * රුපියල අවප්‍රමාණය වීම
    * වැය වන විදේශ විනිමය උපයන්නට පෙළඹිය යුතු නිසා මව්වරුන් මැදපෙරදිගට විකිණීම වැඩි කරන්නට සිදු වීම.
    * වැඩියෙන් විදෙස් ණය ලබා ගන්නට සිදු වීම සහ ණය කොන්දේසිවලට යටත්වන්නට සිදු විම
    * විදේශ විනිමය ඉපැයීම සඳහා දේශීය සම්පත් සහ ආයතන විදේශිකයන්ට විකුණන්නට සිදුවීම.

    ETCA ගිවිසුමට පසුව ධනුෂ්කොඩි සිට මන්නාරම දක්වා ඉදිවන පාලමක් හරහා ලංකාව ඉන්දියාවට යා කර ගැනීමට සැළසුම් කර ඇති අතර ඒ පිලිබඳ දෙරටේ අගමැතිවරුන් විසින් සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබිනි. ඉන්දියාව විසින් ලංකාවේ ආර්ථික ආධිපත්‍ය අත්කරගත් පසු බෙලහීන වන ලංකාව වෙත ඉදිකෙරෙන පාලමක් මඟින් භූගෝලීයව ලංකාව ඉන්දියාවට යා කර ගෙන ලංකාව ඉන්දියානු කොළණියක් බවට පත් කරගැනීමේ සමස්ථ සැළසුමක යෝධ ආරම්භක පියවරකි ETCA ගිවිසුම. මෙම පාලම හරහා මෙරටට පැමිණෙන ඉන්දියානුවන් මේ රට තුළ සීඝ‍‍්‍රයෙන් ව්‍යාප්ත වනු ඇත. ප‍්‍රභාකරන් අවි ආයුධ මගින් මෙරට ජනසංයුතිය සහ එහි පැතිරීම වෙනස් කළා සේම මෙම ගිවිසුම සහ හනුමා පාලම හරහා සීතල ලෙස මෙරට ජන සංයුතිය වෙනස් කරනු ඇත. ආණ්ඩුව විසින් උදේ හවා මතුරන සංහිඳියාවට එය මරු පහරක් වනු ඇත.
    ……….
    රට උගසට තැබීම ගැටළුවක් නොවන්නේ ආත්මාර්ථකාමී බඩජාරීන්ටය. නමුත්, රට වෙනුවෙන් දිවිපුදා ඇති දස දහස් ගණනක් වන විරුවන්ගේ ලෙයින් තෙත් වි ඇති මේ තෙදැති බිම මත පා තබා ඇවිද යන ඔබට නිහඬව බලා සිටිය නොහැක. දේශද්‍රෝහී එට්කා ගිවිසුම පැරදවීමට එකාවන්ව පෙළ ගැසෙමු.

  4. Saradiel says:

    ශ්‍රී ලංකාව මෙම ගිවිසුම අත්සන් කළහොත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ඉතිරිවන්නේ රත්රන් උකස්‌ කිරීම, මුහුදු වෙරල අයිනේ මාළු ඇල්ලීම හා ගමේ පොලියට මුදල් දීම වැනි ව්‍යාපාර කීපයක්‌ පමණක්‌ බවට මෙරට වාණිජ සංගම් ගණනාවක්‌ බිය පළ කර තිබේ. මේ ගිවිසුමත් සමඟ බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සියල්ල පවා ඉන්දියානුවන් සතුවීම වැළක්‌විය නොහැක. සිපා යටතේ ඇමරිකන් ඩොලර් මිලියන එකකට වඩා වැඩි ව්‍යාපාර විවෘත කල හැකි අතර සුපර්මාර්කට්‌ ශාඛා දෙකකට වඩා විවෘත කල විට ඇමරිකන් ඩොලර් මිලියනයේ පරාසය ඉවත්ව යන බැවින් මෙරට සුපිරි වෙළඳසල්ජාල පවා ලෙහෙසියෙන්ම ඉන්දියාවට පවරා ගැනීමේ හැකියාව ඇතිවනු ඇත. දැනටමත් මෙරට විවිධ නම්වලින් පවත්වාගෙන යන ව්‍යාපාර රැසක සැබෑ හිමිකරුවන් වන්නේ ඉන්දියානු සමාගම්ය. උදාහරණයක්‌ ලෙස දැනටමත් මෙරට ආහාර පාන සැකසුම් ආයතන බොහොමයක්‌ ඉන්දියානු ව්‍යාපාරිකයන් මිලදී ගෙන ඇත. ඒවා පෙර පැවති නම්වලින් පවත්වාගෙන යන බැවින් සැබෑ අයිතිකරුවන් කවුදැයි කිසිවෙක්‌ දන්නේ නැත. මේවා ඉදිරියේදී කිසිදු බාධාවකින් තොරව සීපා ගිවිසුම යටතේ ඉන්දියාවෙන් සේවකයන්ද ගෙනවිත් කරගෙන යා හැක.

    අද පවතින ධීවර ප්‍රශ්නය වඩා සාර්ථකව කරගන්නට සීපා ගිවිසුම මගින් ඉන්දියාවට හැකිවනු ඇත. එවිට ඉන්දියානු ව්‍යාපාරිකයන්ට සීපා ගිවිසුම හරහා පැමිණ ධීවර ව්‍යාපාරයක්‌ කරගෙන යන්නට අයිතිය ලැබේ. එවිට ඒ සඳහා කිසිවකුට එරෙහි විය නොහැක.

  5. SUNIMAL says:

    අපේ රටේ රැකියා විරහිත සංඛ්‍යාව ලක්‌ෂ තුනහමාරක්‌ පමණ වේ. එහෙත් ඉන්දියාවේ රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව ලක්‌ෂ හාරසිය පනහක්‌ පමණවේ. අඩු වැටුපට එන ඉන්දියානුවන්ට රැකියා දෙන්නට අපේ රටේ ඇතැම් ව්‍යාපාරිකයන්ද කටයුතු කලහොත් අපේ රටේ ජනතාවට දෙවියන්ගේම පිහිටය. අනෙක්‌ කරුණ නම් මෙරට බොහෝ බහුජාතික සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරීන් ඉන්දියානු ජාතිකයන් වෙති. මේ නිසා ඔවුන් තම සමාගම් සඳහා මේ නව ගිවිසුමත් සමඟ ඉන්දියානුවන් වැඩි වැඩියෙන් ගෙන එනු ඇත. එවිට ඊට විරෝධය පෑමටද ශ්‍රී ලංකා බලධාරීන්ට නොහැකිවනු ඇත.

  6. Love nature says:

    මෙරට පොදු ජනතාවගෙන් විශාල පිරිසකට රජය විදේශීය රටවල් සමඝ ඇති කර ගන්නා වෙළෙඳ ගිවිසුම් පිළිබඳ අවබෝධයක් නැත. බොහෝ දෙනා ඒවා පිළිබඳ දන්නේ එවැනි ගිවිසුමක් අත්සන් කරන විට දෙරටේ නායකවරුන්, ඇමැතිවරුන් හෝ නිලධාරීන් සිටින ඡායාරූප, වාර්තා හා සිරස්තලයන්ගෙන් පමණි. ඉන් එහාට සිදුවන දේවල් පිළිබඳ ජනතාව දන්නේ ඉතා අඩුවෙනි. එයට හේතුව වෙනත් රටක් සමඝ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමේ දී රජය ලබාදෙන පුළුල් ප්‍රචාරයයි. වෙළෙඳගිවිසුමක් අත්සන් කිරීමෙන් රටේ ආර්ථීකය දියුණු කළ හැකිය. රටට ලැඛෙන ආයෝජන ප්‍රමාණයද ඉහළ යනු ඇත. සංවර්ධනයට මහත් රුකුලක්ද වන්නේ ය. මෙවැනි ප්‍රචාරයන් නිසා ජනතාව ඉන් ඔබ්බට කල්පනා කරන්නේ නැත.

    මේ දින වල අපගේ අවධානයට ලක් වන්නේ ඉන්දියාව සමඝ ක්‍රියාත්මක වීමට නියමිත වෙළෙඳ ගිවිසුමයි. මේ ගිවිසුම් දෙක හැකි ඉක්මණින් අත්සන් කිරීමට රජයට ලොකු උන්දුවක් ඇති බව පෙනේ. ගිවිසුම් පිළිබඳ මූලික සාකච්ඡා මෙන්ම ඒවා පිළිබඳ සැබෑ විස්තර වසන් කරන්නට රජය උත්සහ දැරූ බව පෙනී යන කරුණකි.

  7. Love nature says:

    ඉන්දියාවේ මුහුදු ප්‍රවාහනය මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය තමයි ඉන්දියාව වටා නැව් ගමන් කිරීමට නොහැකි වීම. හනුමා පාලම පැවතීමත් පෝක් සමුද්‍ර සන්ධිය නොගැඹුරු වීමත් ඊට බල පා තිබෙනවා. ඒ නිසා ඉන්දියාවේ නැගෙනහිර වෙරලේ ඇති කල්කටා වැනි වරායන් සහ බටහිර වෙරළේ ඇති මුම්බායි වැනි වරායන් අතර නැව් ගමනාගමනය සිදු වන්නේ ලංකාව වටේ ගිහින්. 1997 දී ඉන්දියාව හනුමා පාලම බිඳ හෙලා පෝක් සමුද්‍ර සන්ධිය හාරා ඉන්දියාව වටා නැව් ගමනාගමනයට අවශ්‍ය පසුබිම හදන්න සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය හරහා උත්සාහ කළා.

    හනුමා පාලම බිඳිනවාට හින්දු ජනතාවගෙන් ලොකු විරෝධයක් ආවා. රාම දෙවියන්ගේ නියමයෙන් හනුමා දෙවියන් හදපු පාලම විනාශ කළොත් දේව කෝපයක් සිදු වේවි කියලා හින්දු ජනතාව කිව්වා. ඒ කීම අහන්නේ නැතුව ඒ වගේම පරිසරවේදින්ගේ විරෝධයට ඇහුම් කන් නොදී හනුමා පාලම බිඳීමේ කොන්ත්‍රාත්තුව කොරියානු සමාගමකට දුන්නා. නමුත් හනුමා පාලම කඩනවා වෙනුවට ඊට යොදා ගත් නැව කැඩී ගියා. ඒ අවස්ථාවේ හින්දුන් කිව්වා. ඕක තමයි අපි කිව්වේ. ඔය වැඩේ වහාම නතර කරන්න කියලා. වසර 2000 දී සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැරලා දැම්මා.

  8. Kadiya says:

    රනිල් වික්‍රමසිංහ කරන්නේ මේ රට සහ රට වැසියා සමඟ ඇති වෛරය පිරිමසා ගැනීමක්. මේ රටේ මිනිස්සු ඌට චන්දෙ දීල ජනාධිපති නොකිරීම නිසා ඇති වෛරය සහ මුට අනාගත පරපුරක් බිහිකළ නොහැකි නිසා මේ රටේ අනාගතය සමඟ ඇති වෛරය තමයි මේ. මේ කාලකන්නියා මකබැවෙන දිනය කඩිනමින් උදාවේවා.

Main News