උතුරු නැගෙනහිර ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ලබන 13 සිට ඇරඹෙයි…

October 12, 2017 at 2:03 am | lanka C news
උතුරු නැගෙනහිර ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ලබන 13 සිට ඇරඹෙයි…

ඩෙංගු මදුරු මර්දන සහායකයින් 109 කට සහ සෞඛ්‍ය රියදුරු පත්වීම් 50 ක් ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී (11) සිදු කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ඩෙංගු මදුරු මර්දන සහායකයින් 1500 ක් බදවා ගැනීමට විශේෂ කැබිනට් අනුමැතියක් ලබාගත්තා. රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් අතුරින් සෞඛ්‍ය සේවයේ රැකියාවක් ඔබට ලැබීම වාසනාවක්. ඩෙංගු මදුරු මර්දන සහායකයින්ගේ කාර්ය සාධනය පිළිබද වාර්තා මාසිකව අමාත්‍යාංශයට ලැබෙනවා. විනය හා නීතිමය තත්ත්වයන් යටතේ රාජ්‍ය සේවයේ කටයුතු කිරීමට ඔබට සිදු වෙනවා. ඩෙංගු මදුරු මර්දනය සදහා අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී තිබෙනවා. ඔබ සැම ක්ෂේත්‍රයට ගොස් ඩෙංගු ව්‍යසනය තුරන් කරන්න.

දැනට පවතින වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය යළි උත්සන්න වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර මෙම තත්ත්වය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. එම පළාත් වල ඩෙංගු මදුරු මර්දන කටයුතු ලබන 13 වනදා ආරම්භ කරනවා. ජනමාධ්‍ය ආයතනවල ද සහභාගීත්වයෙන් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ද සහභාගි වෙනවා. ඩෙංගු රෝගය ස්ථාවරව යටපත් කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා සදහා උපාධිධාරීන් ද අයදුම් පත් යොමු කරනවා. වෛද්‍ය වෘත්තීය හැර වෙනත් ඕනෑම සෞඛ්‍ය සේවා වෘත්තීයක්, සෞඛ්‍ය කම්කරු වෘත්තියක් හෝ ලබාගෙන ඉහළට යාමට පුලුවන්.”

මෙම අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණුගම මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩොනල්ඩ් මුරගේ මහතා, ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝඡ් කරුණාරත්න මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

205 Viewers

Leave a Comment

Main News