උමා ඔය කැබිනට් යෝජනාව අනුර දිසානායකගේ.. මෙන්න හෙලි නොවූ සියළු විස්තර.. කැබිනට් පත‍්‍රිකා..

September 28, 2017 at 3:00 pm | lanka C news
උමා ඔය කැබිනට් යෝජනාව අනුර දිසානායකගේ.. මෙන්න හෙලි නොවූ සියළු විස්තර.. කැබිනට් පත‍්‍රිකා..

මෑත කාලයේ බරපතල විවේචන එල්ල වී ඇති උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි.

උමා ඔය ව්‍යාපෘතිය

මෑත කාලයේ උමා ඔය ව්‍යාපෘතිය ගැන බරපතල විවේචන පලවී ඇත. මීට දින කීපයකට පෙර මෙම ව්‍යාපාතියේ ප්‍රතිපලයක් ලෙස බණ්ඩාරවෙල නගරය අසලින් ගලා බසින කිරිඳි ඔයේ අත්තක ජලය එක්වරම සිඳී ගොස් තිබුණු බවට පුවත් මාධ්‍යයේ පලවිය. මීට සති කීපයකට පෙර පාර්ලිමේන්තුවේදී කතාවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසා සිටියේ උමා ඔය ව්‍යාපෘතියේ අංගයක් හැටියට ඉදිවෙමින් පවතින උමං මාර්ගයක් තුළට ජලය කාන්දුවීම හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලිං, උල්පත් හා දොල පහරවල් 2,333ක් වියලී ගොස් ඇති අතර භූමියේ ස්වභාවය වෙනස් වීම හේතුවෙන් නිවාස 4,625ක, පන්සල් 60ක, එක් මුස්ලිම් පල්ලියක හා පාසල් 3ක ගොඩනැගිලි වල ඉරිතැලීම් හා බිත්ති පුපුරා යෑම් හටගෙන ඇති බවත්, කෘෂිකාර්මික ඉඩම් අක්කර දහස් ගණනක් අතහැර දැමීමට සිදුවී ඇති බවත්ය. උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙවැනි ගැටළු මතුවූ පසු ජවිපෙ මන්ත්‍රීවරුන්, යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් හා ඔවුන්ට පක්‍ෂපාත රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන් මේ සියල්ලටම වගකිවයුත්තේ මමත් මගේ ආණ්ඩුවත් බවට ප්‍රචාරයක් ගෙනයන ලදී.

මේ සියල්ලම සිදුවී ඇත්තේ හම්බන්තොට මගේ ගමේ ඉඩම් වලට ජලය සපයා ගැනීමට උමා ඔයේ ජලය හරවා ගැනීමට උත්සාහ කිරීම නිසා බව එක් ඇමතිවරයෙක් කියා සිටියේය. රටේ ජනාධිපතිවරයාද පවසා සිටියේ මේ ව්‍යාපෘතිය ‘දේශපාලන උවමනාවක්’ මත ආරම්භ කරන ලද්දක් බවයි. උමා ඔය ව්‍යාපෘතිය යනුවෙන් අදහස් වන්නේ උමා ඔය හරස් කරමින් පුහුල්පොල ප්‍රදේශයේ වේල්ලක් හා ජලාශයක් ඉදිකිරීමත්, එම ජලාශයේ සිට කිලෝ මීටර් 4ක උමගක් හරහා ඩයරබා ප්‍රදේශයේ මාතොටිල්ල ඔය හරස් කරමින් ඉදි කෙරෙන තවත් වේල්ලක් හා ජලාශයකට එම ජලය ගෙන යාමත්, මෙම දෙවනි ජලාශයේ සිට කීලෝ මීටර් 15.3ක් දිග උමං මාරගයක් හරහා ජලවිදුලි බලාගාරයකට ජලය සැපයීම, හා අවසන් වශයෙන් එම විදුලි බලාගාරයේ සිට තවත් කිලෝ මීටර් 4ක් දිග උමං මාර්ගයකින් මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලට ජලය සැපයීම  සඳහා කිරිඳි ඔයට එම ජලය මුදා හැරීමට සකස් කොට ඇති සංකීර්ණ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය මේ රටේ දශක 6ක් මුලුල්ලේ සාකච්ඡා වී ඇත.

මෙවන් ව්‍යාපෘතියක් පිළිබඳ අදහස මුලින්ම මතුවූයේ 1959 ඇමරිකා එක්සත් ජනපදයේ ඔපරේෂන්ස් මිශන් හා කැනඩාවේ කැනේඩියන් හන්ටින් සර්වේ කෝපරේෂන් යන ආයතන විසින් කරන ලද අධ්‍යයනයකිනි. ඉන් පසුව මේ ගැන 1968/69 කාලයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මහවැලි ව්‍යාපෘතිය සඳහා සකසන ලද ප්‍රධාන සැලැස්මේද සාකච්ඡා විය. 1991 දී මේ  උමා ඔය ව්‍යාපෘතිය ගැන ජර්මනියේ ලාමෙයර් ජාත්‍යන්තර සමාගම විසින්ද අධ්‍යනයක් සිදුකරන ලදී. ඉන්පසු 1991 දී මේ ගැන ලංකාවේ ඉංජිනේරුමය කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය විසින්ද අධ්‍යනයක් කරනු ලැබුවේය. නැවත වතාවක් 2000දී ඉංජිනේරු කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය කැනඩාවේ එස්.එන්.සී ලාවාලින් සමාගම සමඟ ඒකාබද්ධව තවත් අධ්‍යනයක් සිදුකරන ලදී.

2001 – 2004 එජාප ආණ්ඩුව සමයේ 2003 දෙසැම්බර් මස හා 2004 පෙබරවාරි මස එකල විදුලිබල හා වාරිමාර්ග අමාත්‍යවරුන් වූ කරෑ ජයසූරිය හා ජයවික්‍රම පෙරේරාගේ සභාපතිත්වයෙන් හා ඌව පළාතේ සියළුම ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අන්තර් අමාත්‍යංශ රැස්වීම් වලදී උමා ඔය ව්‍යාපෘතිය ඉහල ප්‍රමුඛතාවයකින් යුතු ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනේ 2005 ජනවාරී 26 වනදාය. ඒ, එකල චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග ඇමතිවරයා වූ අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුසාරයෙනි. එකල මේ අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම ජවිපෙ පාලනය යටතේ පැවති අතර එහි නියෝජ්‍ය අමාත්‍යවරයා වූයේ බිමල් රත්නායකය. 2005 ජනවාරි 4 වන දින අංක 05/0036/039/002  දරණ ජවිපෙ ඇමතිවරයාගේ මේ කැබිනට් පත්‍රිකාවේ මෙසේ සඳහන් විය:

උපුටා දැක්වීම

“ශ්‍රී ලංකාවේ අග්නිදිග වියලි කලාපය (විශේෂයෙන්ම හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක) දියුණු කිරීම සඳහා උමාඔයෙන් ජලය ලබාගැනීම  හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.”

“හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක ආර්ථික වශයෙන් දියුණු කිරීමේ උපාය මාර්ගය මෑත කාලයේ වෙනස් වී ඇත. උමා ඔය කිරිඳි ඔයට හැරවීමේ ව්‍යාපෘතිය දැන් සලකා බලනු ලබන්නේ මෑතක සිට ප්‍රචලිත වී ඇති රුහුණුපුර සංවර්ධනය පිළිබඳ සංකල්පය අනුවය. රුහුණුපුර සංවර්ධනය යනුවෙන් අදහස් වන්නේ හම්බන්තොට වරාය මේ කළාපයේ නවීන වරායක් බවට පත් කිරීම, මොණරාගල දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් හා තෙල් පිරිපහදුවක් ඉදිකිරීම යන අංගයන්ගෙන් සමන්විත ව්‍යාපෘතියකි. ඉන්දියන් සාගරයේ සැරි සරන නැව් විශාල ගණනක් හම්බන්තොට වරායට පැමිණෙනු ඇති බවටත්, ඒ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයද ඇතුලුව කාර්මික කටයුතු විශාල ගණනක් සිදුවනු ඇති බවටද බලාපොරොත්තු වේ. මේ නව සංවර්ධන කටයුතු සඳහා 2030 වන විට ජල අවශ්‍යතාවය මෙට්‍රික් කියුබික් මීටර් 100ක් වනු ඇති බවට ගණන් බලා ඇත. එම ප්‍රදේශයේ ස්ථාවර ජල සැපයුමක් නොමැති නිසා උමා ඔයෙන් ජලය ලබා ගැනීම මේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති එකම විකල්පය වශයෙන් සැලකේ.”

“එමනිසා මෙම ව්‍යාපෘතියට ඉහල ප්‍රමුඛතාවයක් දිය යුතුය.”

උපුටා දැක්වීම අවසන්

උමා ඔය ව්‍යාපෘතිය 2005 මගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛතාවය ලැබිය යුතු ව්‍යාපෘතියක් හැටියට සඳහන් වූයේ කලින් ආණ්ඩු ගණනාවක්ම යටතේ පෙරකී සියල්ල සිදුවූ පසුවය. 2005 දී ජනතා විමුක්ති පෙරමුණද මගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට දායක වූ අතර උමා ඔය ව්‍යාපෘතිය මගේ ආණ්ඩුවේද ප්‍රමුඛතාවය සහිත ව්‍යාපෘතියක් බවට පත්විය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගැනීමේ සිට අධිවේගී මාර්ග, වරායවල් හා විදුලි බලාගාර ඉදිකිරීම දක්වා කලින් ආණ්ඩු සිහින මවමින් සිටි නමුත් කිසිදාක ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බොහෝ ව්‍යාපෘති මගේ ආණ්ඩුවෙන් සම්පූර්ණ කළ බව අමුතුවෙන් කිවයුතු නැත. උමා ඔයද ඒවා අතර එක් ව්‍යාපෘතියක් විය. එකල සිටි ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය සරත් අමුණුගම හා විදුලි හා බලශක්ති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න ඉරානයේ අපනයන සංවර්ධන මණ්ඩලය හා එම රටේම ෆරාබ් සමාගම සමඟ කරන ලද සාකච්ඡා වලින් පසුව 2007 නොවැම්බර් මස 27 වෙනිදා  ඉරාන රජය සමඟ උමාඔය ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමකට එළබෙන ලදී. මේ අනුව ඉරානයේ අපනයන සංවර්ධන මණ්ඩලය එම ව්‍යාපෘතිය සඳහා මුදල් සපයනු ලබන අතර ෆරාබ් සමාගම ඒ සඳහා ඉංජිනේරු සැලසුම් සැකසීම සහ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියම විය.

මේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු වන ෆරාබ් සමාගම ඉරාන රජයට අයත්ආයතනයක් වන අතර ලංකාවේ වාරිමාර්ග අමාත්‍යංශය, විදුබල මණ්ඩලය හා ඉංජිනේරුමය කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ ඉංජිනේරු කණ්ඩායම් විසින් මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ සමාගමට ඇති පලපුරුද්ද පිලිබඳ අධ්‍යයනයන් සිදුකරන ලදී. 2008 දී කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක් විසින් කරන ලද සාකච්ඡා වලින් අනතුරුව මෙම ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත් මිල ඇ.ඩො. මිලියන 514 ක් වශයෙන් නියම විය. ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව 2008 දී අත්සන් කරනු ලැබුවද මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු  ආරම්භ වුයේ 2011 නොවැම්බර් 29 වනදාය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම ව්‍යාපෘතියට අනුමැතිය පලකරන තුරු හා වාරිමාර්ග අමාත්‍යංශය, ලංකා විදුලිබල මණ්ඩලය හා ඉංජිනේරු කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ඉංජිනේරුවරුන්ට සෑහීමකට පත්විය හැකි පූර්ණ ශක්‍යතා අධ්‍යනයක් ලැබෙනතුරු ඉදිකිරීම් කටයුතු කල් දමන ලදී. උමගක් ඉදිකිරීමට කැනීම් සිදුකරන විට ඊට ඉහලින් ඇති භූමියේ භූගත ජලය එය තුළට කාන්දු වීම සාමාන්‍ය සිදුවීමක් වන අතර උමග ඉදිකරන අතරතුර ඒ ජල කාන්දුව නැවැත්වීමට පියවර ගතයුතු වෙයි. මට ලැබී ඇති තොරතුරු අනුව මේ ජලකාන්දුව හටගෙන ඇත්තේ උමග හැරීමට යොදවා ඇති ජර්මානු යන්ත්‍රයේ, ඉදිරියට යනවාත් සමඟ උමග සම්පූර්ණයෙන්ම සීල් කිරීමට අවශ්‍ය උපාංග නොතිබීම හේතුවෙනි.

මේ අඩුපාඩුව සිදුවී ඇත්තේ ව්‍යාපෘතියේ උපදේශක වරුන්ගෙන් නිවැරදි උපදෙස් නොලැබීම හේතුවෙන් යැයිද මට දැන ගන්නට ලැබී ඇත. උමා ඔය උමං මාර්ගයේ මුලින්ම ජල කාන්දුවක් ඇති වී තිබෙන්නේ 2014 දෙසැම්බර් අවසානයේ වත්මන් ඇණ්ඩුව බලයට පැමිණීමට දින කීපයකට පෙරය. කලට වේලාවට මේ ගැන පියවර ගනු ලැබුවේ නම් මෙයින් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීමට හැකියාව තිබුණි. නමුත් විපක්‍ෂය දඩයම් කිරීමට අලුත් ආණ්ඩුවේ මුලු කාලයම වැයවූ නිසා උමා ඔය උමං මාර්ගයේ ජලකාන්දුව ගැන කිසිවෙකුවත් අවධානය යොමුකලේ නැත. ජවිපෙද කලින් ආණ්ඩුවේ වරදි සෙවීමටත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කටයුතු මෙහෙයවීමටත් මුලු කාලයම මිඩංගු කිරීම හේතුවෙන් ජවිපෙ ඇමති වරයෙකු විසින් මුල පුරන ලද එකම මහාපරිමාන ව්‍යාපෘතියේ හටගන තිබූ මේ අර්බුදය ගැන අවධානය යොමු කලේ නැත. අර්බුදය ඔඩුදුවා ජනතා උද්ඝෝෂණ ඇතිවීමෙන් පසුව ආණ්ඩුව නෝර්වේ රටින් ගෙන්වාගන්නා ලද විශේෂඥයකුගේ උපදෙස් පරිදි උමං මාර්ගය හාරන ගමන්ම සම්පූර්ණයෙන්ම සීල් කිරීමට අවශ්‍ය උපකරණ ජර්මනියෙන් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බව මට දැනගන්නට ලැබී ඇත.

ඕනෑම මහපරිමාන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන විට එමඟින් අවතැන් වන හා අගතියට පත්වන පිරිසක් සිටිය හැක. මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට මවුස්සාකැලේ ජලාශය සඳහා මුලු මස්කෙලිය නගරයම වෙනත් තැනකට ගෙනයෑමට සිදුවිය. වික්ටෝරියා ජලාශය ඉදිකරන විට මුලු තෙල්දෙණිය නගරයම වෙනත් ස්ථානයක පිහිටුවීමට සිදුවිය. උමා ඔය උමං මඟ තැනීමේදී හටගත් ජල කාන්දුවේ පරිමාව අනපේක්‍ෂිත කාරණයක් වුවා විය හැක. නමුත් මෙවැනි මහපරිමාන ව්‍යාපෘති වලදී අනපේක්‍ෂිත තත්වයන් සඳහාද සාමාන්‍යයෙන් ප්‍රතිපාදන සලසනු ලැබේ. මා රට පාලනය කල අවුරුදු 9 ඇතුළත මහා පරිමාන ව්‍යාපෘති විශාල ගණනක් ඉදිකරනු ලැබූවද ඒ සම්බන්ධයෙන් ජනතා කැලඹීමක් හෝ උද්ඝෝෂණ නොතිබුණේ ඇතිවිය හැකි ගැටලු කලින්ම හඳුනාගෙන ව්‍යාපෘතිය නිසා අවතැන් වීමට ඉඩ තිබෙන ජනතාවට සම්පූර්ණයෙන්ම සෑහීමට පත්විය හැකි වන්දි ක්‍රම ක්‍රියාත්මක කිරීම නිසාය.

ඒ ආකාරයේ අවධානයක් හෝ කාර්යක්‍ෂමතාවයක් වත්මන් ආණ්ඩුවේ නැතිබව අමුතුවෙන් කිවයුතු නැත. අද තිබෙන තත්වයේ හැටියට ගංවතුරක්, නාය යෑමක් නැතිනම් වෙනත් ආපදා තත්වයක් හේතුවෙන් යම් පුරවැසියකුට තම නිවස අහිමි වුවහොත් ඊලඟ ආණ්ඩුව බලයට එනතුරු ඔහුට කූඩාරමක හෝ පාසලක ජීවත් වීමට සිදුවෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය ඉඳිකිරීම සම්බන්ධයෙන්ද එවැනි ගැටළු පැන නැගී ඇති බව මාධ්‍යයේ පලවන පුවත්වලින් අපට පෙනේ. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ අනපේක්‍ෂිත ගැටළු නිසා අගතියට පත් ජනතාවටද සිදුවී තිබෙන්නේ වත්මන් ආණ්ඩුවේ නෛසර්ගික අකාර්යක්‍ෂමතාවයේ ප්‍රතිපල අත්විදීමටය.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

19,318 Viewers

11 Comments to “උමා ඔය කැබිනට් යෝජනාව අනුර දිසානායකගේ.. මෙන්න හෙලි නොවූ සියළු විස්තර.. කැබිනට් පත‍්‍රිකා..”

  1. Lapaya says:

    Ayio mama danneth naha. Mata mathakath naha. Punci ammage wadak wenna athi.

  2. Perera says:

    huh, ratama kaala dan galawenna dagalana hati, paraya.

    • මායාදුන්න says:

      ඒයි පෙරේරා, උඹලගෙ නායක ලප කුමාර උන්නැහේට ඔය තරමට අපහාස කරන්ඩ එප බං.
      ඌ කාපු දේවල් පුංචම්මත් එක්ක බෙදා හදා-ගෙනනෙ කෑවෙ.

  3. හෙළබිමට පණමෙන් says:

    “හෙළබිම” අවසන් වරට එක්සේසත් කල, මව්බිමට යෝධ සංවර්ධනය දායාද කල මහ රජුනි.. ඔබහට නගන අවලාද කෙදිනක හෝ නැත්තටම නැති වී යාවී.. කෙදිනක හෝ ඔබගේ අගය සියල්ලෝම වටහා ගනීවි.. ඔබව “හෙළබිම සත්ත” විසින් රකිනවා සත්තයි… ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා…

  4. samuel says:

    Anunge Oluwata Atha Hodana Kappithek ?

  5. buruputha says:

    Janadhipathy thumani oya jvp karayanta eye kiyapude Ada mathaka ne. Ada kiyanade heta mathaka ne. Ekata obathuma monava karannada. Kohomath Dan mathaka nathiveeme rogaya Dan aanduwe okkotama hadilane. Aanduwe passalevakana Anurata komath ea lede bovenbama one. Namuth oba me ratata karapu deval me rate hitapu koi nayakayada kale. Oba nibahayava Inna. Eelanga changed API ganata vade karannam. Obata devi pihitai.

  6. Raawana says:

    kawuru bola pass kalath wedak nehe. me rate winaashayata mula Diyawannaawa.

  7. මෙම නිවේදනය/ප්‍රකාශය විශේෂයෙන් බදුල්ල බණ්ඩාරවෙල ජනතාවගේ ද රටේ සියළුම ජනතාවගේ ද දැන ගැනම සඳහා වහාම ප්‍රචාරාත්මකව ප්‍රචාරය කර හැරිය යුතුය.

  8. මෙම නිවේදනය/ප්‍රකාශය විශේෂයෙන් බදුල්ල බණ්ඩාරවෙල ජනතාවගේ ද රටේ සියළුම ජනතාවගේ ද දැන ගැනීම සඳහා වහාම ප්‍රචාරාත්මකව ප්‍රචාරය කර හැරිය යුතුය.

  9. JVP says:

    Lapayage thol RATHU koranna dan kalaya avilla.

  10. Kings says:

    ලපයලගෙ හැටි එහෙම තමයි. මොකක් හරි වැඩකට ජනතා විරෝධයක් ආවොත්, ඒ පැත්තට හැරෙනව. හැබැයි ඡන්දෙ කාලෙට වාසි පැත්තට හැරෙනව. ජනතාව ඒක දන්න නිසා ඡන්දය මොවුන්ට දෙන්නෙ නැහැ. හැමදාම ආසන 05 විතරයි. හොඳ වැඩේ./

Main News