ඒකාධිපතියෙකුටත් අන්ත ශ‍්‍රීලනිප නායක ජනපති මෛත‍්‍රීට උවමනා එජාපය රකින්නයි..

September 13, 2017 at 3:50 pm | lanka C news
ඒකාධිපතියෙකුටත් අන්ත ශ‍්‍රීලනිප නායක ජනපති මෛත‍්‍රීට උවමනා එජාපය රකින්නයි..

එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අතරම අනෙක් පැත්තෙන් ඒකාධිපතියකුටත් අන්ත ලෙස හැසිරෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය අද රට හමුවේ දෙබිඩි චරිතයක් රඟපාමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට එරෙහිව කටක්වත් අරින්නට පක්ෂ නායකත්වය කිසිදු ඇමැතිවරයකුට ඉඩ නොදෙන බව පැවසූ රණතුංග මහතා හොඳින් හෝ නරකින් විරෝධතා මර්දනය කරමින් ආණ්ඩුව ඉදිරියේ දී යන්නට හදන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනේ හැඩතල දැන් පෙනෙන්නට තිබෙන බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ කීවේ අරුන්දික ප්‍රනාන්දු, වීරසුමන වීරසිංහ, සුනිල් ජයමිණි සහ ගුණසිරි ජයනාත් මහත්වරුන් තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

ජනාධිපතිවරයා ගත්ත මේ තීන්දුවත් එක්ක අපට පෙනෙන්න තියෙන්නේ ආණ්ඩුවට එරෙහිව රට තුළ ගොඩනැගෙමින් තිබෙන විරෝධය දැන් දරා ගන්න බැරි තැනකට ඇවිත් තියෙනවා කියන එකයි. මේ විරෝධය හොඳින් හෝ නරකින් මර්දනය කරන්න තමයි මේ අය සූදානම් වෙන්නේ. විශේෂයෙන් පාක්ෂිකයන් පක්ෂයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂය වටා එකතු වීම මේ අයට දරා ගන්න බැරි වෙලා තියෙනවා.

පසුගිය දා කොළඹ දී පැවැත්වුණ පක්ෂ සංවත්සරයේ දී පක්ෂයේ බලය ඩැහැගෙන ඉන්න අයට පැහැදිලි වෙන්න ඇති ජනමතය අද ‍තියෙන්නේ කොතැනද කියන එක. මහින්ද ලකුණ වටේ මිසක් වෙනත් කෙනකු වටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එකතු නොවන බව එදා ආපු සෙනඟ ටික දැක්කම කාටත් තේරුම් යන්න ඇති. විශේෂයෙන් ගෝල්ෆේස් පිරෙන්න ආ ජනතාවගෙන් සියයෙයන් පංගුවක්වත් මේ සම්මේලනයට ආවේ නැහැ.

එහෙම බලනකොට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දීලා ඉන්නේ තීරණාත්මක අවස්ථාවකට. පක්ෂයේ බලය උරුමක්කාරයන්ගෙන් කරුමක්කාරයන් අතට මාරු වෙලා තියෙනවා මදිවට උරුමක්කාරයන්ට එරෙහිව කරුමක්කාරයන් අවි අමෝරා ගන්න තැනකට අද පක්ෂය පත් වෙලා තියෙනවා. ගෞරවණීය ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉරණම තීරණය කරන්නේ කරුමක්කාරයන් විසින් වීම තමයි අපට තියෙන කණගාටුව.

එක්සත් ජාතික පක්ෂයේ වලිගයේ නිදහස් පක්ෂය ගැටගහලා මේ යන ගමනට ඒකාබද්ධ විපක්ෂය වශයෙන් අපි මුල සිටම විරුද්ධ වුණා. ගමේ පාක්ෂිකයන් කියන්නෙත් මේ හොර දීගයෙන් ඉවත් වෙන්න ඕනේ කියලයි. එහෙම කියන්නේ රට විනාශ කරමින් ආණ්ඩුව යන ගමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හවුල් වෙනවට තියෙන අකමැත්ත නිසයි. යූ. ඇන්. පියේ පවුවලට අපි කරගහන්න ඕනේ නැහැ.

මේ කාරණය අපි මුල ඉඳන් කියනකොට අපිට ගහන්න ගත්තා. දැන් බලන්න දාන තරමක් නඩු, කරන තරමක් චෝදනා කරන්නෙම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණයි. මේ හවුල් ආණ්ඩුව විවේචනය කරන කොට අපිට විරුද්ධව නොයෙකුත් චෝදනා කරලා කටවල් වහන්න බලනවා. ආණ්ඩුවේ අලුගුත්තේරු වැඩ දිහා කටවහන් බලන් ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

පසුගිය දා නිදහස් පක්ෂයේ සංවත්සරය තිබුණා. එතැනදී ජනාධීපතිවරයා කිව්වා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා කියලා. එහෙම කියපු ජනාධිපතිවරයාම ආණ්ඩුව විවේචනය කරපු මන්ත්‍රීවරුන් පිරිසක් තනතුරුවලින් එලවලා දැම්මා. එතකොට ඒකද මේ තහවුරු කළයි කියන ප්‍රජාතන්ත්‍රවාදය? ජනාධිපතිවරයා මේ නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට කියන්නේ කටවහං ඉඳපල්ලා නැත්නම් ඇමැතිකම් නැති වෙයි කියලයි.

මහින්ද මහත්තයා පක්ෂය ඇතුළේ තමන්ට කටක්වත් අරින්න දුන්නේ නැහැ කියලා එදා පක්ෂයෙන් එළියට ගිහින් නාහෙන් අඬපු සිරිසේන ජනාධිපතිවරයාම තමයි මේ විදියට අරුන්දිකලා, වීරසුමනලා, ගුණසිරිලා, සුසිල්ලා එලවලා දැම්මේ. මහින්දට ඒකාධිපතියා කිව්ව කෙනා අද හැසිරෙන්නේ ඒකාධිපතියෙකුටත් අන්ත විදියටයි. මහින්ද මහත්තයා දැඩි තීන්දු ගත්තේ පක්ෂය ආරක්ෂා කරන්න. හැබැයි මෙයා දැඩි තීන්දු ගන්නේ බලය තහවුරු කරගන්න.

පක්ෂ නායකයා අද රඟපාමින් ඉන්නේ දෙබිඩි චරිතයක්. එක පැත්‍තකින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් අනෙක් පැත්තෙන් ඒකාධිපතියකුටත් අන්ත විදියට හැසිරෙනවා. මම නම් විධායක ජනාධිපති බලතල පාවිච්චි කරන්නේ නැහැ කියපු කෙනාම අද ඒ බලතල යොදා ගෙන ඇමැතිවරුන් මර්දනය කරන්න හදනවා. මෙයාට ඕනේ පක්ෂය රකින්න නෙමෙයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රකින්නයි කියන එක මම බය නැතුව කියනවා.

මේ මර්දනකාරී ගමනට විරෝධය දැක්වීමේ එකම මඟ තමයි හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම. රට හමුවේ නැගෙන විරෝධය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට තමන්ව ඇමැතිකම්වලින් දොට්ට දාන්න පෙර නිවැරැදි තීන්දුවක් ගන්න නිදහස් පක්ෂයේ අනෙක් ඇමැතිවරුන්ට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනය කරනවා.  ඒ වගේම තමන්ගේ සහෝදර මන්ත්‍රිවරුන් ඉවත් කළේ මොන පදනමෙන්ද කියලා නායකත්වයෙන් ප්‍රශ්න කරන්න කියලා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

21,222 Viewers

3 Comments to “ඒකාධිපතියෙකුටත් අන්ත ශ‍්‍රීලනිප නායක ජනපති මෛත‍්‍රීට උවමනා එජාපය රකින්නයි..”

  1. sakalasuriya says:

    ane pala horikadayo yanda

  2. sasi says:

    අනිවාර්යෙන්ම අරුන්දික ප්‍රනාන්දුට ආයි ඇමති කම ලැබෙනවා ,රනිල් පාලනය කරන්නේ ක්‍රිස්තියානි පුජක තුමන්ලා , අග රදතුමා දෙනවා පැලෙන්න ජනදී පති ට යි අගැමති ට

  3. kamalsiri kuruwita says:

    මොකද මෙයාල මේ ලොකු යතුරක් ඉස්සරහින් තියාගෙන ඔලුටික බිමට නමාගෙන ඉන්නේ. ප්‍රශ්නයක් වත්ද ?

Main News