කරන්දෙණිය උප සභාපති ඝාතනයේ රහස් රැසක් හෙලිවේ.. කරුණා අම්මාන්, කොස්ගොඩ සුජී ගැනත් තොරතුරු..

June 10, 2018 at 3:50 pm | lanka C news
කරන්දෙණිය උප සභාපති ඝාතනයේ රහස් රැසක් හෙලිවේ.. කරුණා අම්මාන්, කොස්ගොඩ සුජී ගැනත් තොරතුරු..

කරන්දෙණිය ප්‍රදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතා සිකුරාදා (08) රාත්‍රී වෙඩිතබා ඝාතනය කර තිබේ. උප සභාපතිවරයා ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී කොරකීන හන්දියේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බව ඌරගස්මන්දිය පොලීසිය කියයි.

පසුගිය පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කරන්දෙණිය ප්‍රාදේශිය සභාවට තරග කල ඩොනල්ඩි සම්පත් රණවීර (48) මහතා එයින් ජයග්‍රහණය කර කරන්දෙණිය ප්‍රදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත් විය. ඝාතනයට ලක්වන විට ඔහු එම තනතුරේ කටයුතු කරමින් සිටියේය.

උප සභාපතිවරයා තමාට අයත් කළුපාට හයිලූප් වර්ගයේ කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී රියදුරු අසුන පැත්තෙන් වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් ඒ වන විට කැබ්රථයේ රියදුරු සහ පිටුපස අසුනේ තවත් දෙදෙනකු සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. උප සභාපතිවරයා සිට ඇත්තේ රියදුරු අසුනට යාබද අසුනේ බවද ඌරගස්මන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මෙම වෙඩි තැබීම ටී – 56 ගිනි අවියකින් සිදුකර තිබෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.

යතුරු පැදියකින් පැමිණ ඇති ඝාතකයින් දෙදෙනා මග හරස් කොට උප සභාපතිවරයාගේ කැබ්රථය නවතා කැබ්රථයේ රියදුරු අසුන පැත්තෙන් වෙඩි කීපයක් තබා ඇත. එවිට රියදුරු හිස පාත්කොට ගෙන ඇති බවත් එයින් පසු ගිනි අවිය රියදුරු අසුන පැත්තේ ජනේලයෙන් කැබ්රථය තුලට දමා උප සභාපතිවරයාට තවත් වෙඩි කීපයක්ම  තබා ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

වෙඩි තැබීමෙන් පසු ඝාතකයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පලා යෑමට උත්සාහ කර ඇති බවත් හදිසිය හේතුවෙන් වෙඩි තැබීම සිදුකරන ලද අයට යතුරු පැදියට ගොඩ වීමට නොහැකි වි ඇති බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. පසුව ඔහු අදුරේම ගිනිඅවියත් සමග පලාගොස් තිබේ. ඊටපසු වෙඩිවැදුන උප සභාපතිවරයා කැබ්රථයේ සිටියදීම එහි රියදුරු කැබ්රථය වේගයෙන් ධාවනය කර පලායන ඝාතනයට පැමිණි අනිත් සැකකරුගේ යතුරු පැදියේ හප්පා ඔහු අනතුරට ලක්කර තිබේ. ඝාතනය සිදුකරන ලද ස්ථානයේ සිට මීටර් 50 -100 අතර දුරකින් සිදුකර ඇති මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ සැකකරුට කැබ් රථයේ පිටුපස අසුනේ සිටි දෙදෙනා සහ රියදුරු විසින් පහර දී තිබෙන බවත් පසුව කිසියම් අයෙකු විසින් තුවාලකරු ඌරගස්මන්හන්දිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් දැනගන්නට තිබේ. සැකකරු මේ වන විට ඇල්පිටිය මූලික රෝහලට මාරුකර යවා පොලිස් අත් අඩංගුව යටතේ එහි ප්‍රතිකාර ලබමින් සිටී. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුවලගොඩ, උතුරු මාගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි අසේල රණසිංහ (22) නැමැති අයයි.

සිද්ධිය වූ ස්ථානයේ තිබී සැකකරුවන්ගේ ජංගම දුරකතනයක් හා ටී – 56 පතුරම් මැගසිනයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම මැගසිනයේ ටි – 56 පතුරම් 05 ක් තිබූ බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. කැබ් රථයට වෙඩි ප්‍රහාර 15 ක් පමණ එල්ල වී තිබූ බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

පසුව කැබ් රථය එහි රියදුරු විසින් වෙඩි වැදුන උප සභාපතිවරයාද සමග කරන්දෙණිය, බොරකන්ද රෝහල වෙත ධාවනය කර උප සභාපතිවරයා රෝහලට බාරදී රියදුරුද ප්‍රතිකාර සදහා එම රෝහලටම ඇතුලත් වී තිබේ. රියදුරුගේ අතක පමණක් සුළු සීරීම් තුවාලයක් පමණක් තිබූ බවත් උප සභාපතිවරයා රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මංගල සාදයේදී උප සභාපතිවරයා මත්පැන් පානය කර නොමැති බවත් කැබ් රථයේ ගමන් ගත් අනෙක් තිදෙනාම රියදුරුද ඇතුළුව මත්පැන් පානය කර සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. උප සභාපතිවරයා මගුල් ගෙදරින් පානය කර ඇත්තේ උණු වතුර වීදුරුවක් පමණක් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි පොලීසිය කියයි.

සිදුවීමෙන් පැය 04 කට පමණ පසු එනම් 09 දා අළුයම 2.30 ට පමණ ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම මහත්මිය විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලද අතර දේහය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසටද නියෝග කළාය.

ඝාතනයට ලක් වූ ඩොනල්ඩ් සම්පත් රණවීර (48) නැමැති අයගේ සහෝදරයාද මීට මාස කීපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරකට අනුව කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී ගිනිඅවි 03 ක් සමග අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී බෝර – 12 ගිනිඅවි 02ක් සහ විදේශිය රටක නිශ්පාදිත පෑනක ප්‍රමාණයේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගෙන තිබුණි. කරන්දෙණිය, කැටවල පදිංචි ඩොනල්ඩ් කුමාර රණවීර (36) නැමැති මොහුද මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

මෙම අයිය මලෝ දෙදෙනා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම එල් ටී ටී ඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ සමීපතමයන් බවද ඇල්පිටියේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. ඒ හරහා මොවුන්ට ගිනිඅවි ලැබී තිබෙන බවටද පොලීසිය විශ්වාස කරයි. මෙම ඝාතනයට දැනට ඩුබායිහි සැගවි සිටින දකුණේ පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජී නැමැති අයගේ සම්බන්ධයක් තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. දැනට පොලිස් අත් අඩංගුවේ සිටින අය කොස්ගොඩ සුජීගේ ගෝලයකු බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

ඝාතනයට ලක් වූ උප සභාපතිවරයා කරන්දෙණියේ ඉඩම් මිළ දී ගෙන කට්ටිකර විකිනීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් ඇත. මුලදී මේ සදහා කොස්ගොඩ සුජීගේ සහ ඔහුගේ ගෝලයන්ගේද සහය ලැබී ඇත. පසුව කුමණ හෝ හේතුවක් මත උප සභාපතිවරයා කොස්ගොඩ සුජී නැමැති අය සමග විරසක වී ඇත. පසුගිය වසරේ ඔක්තෝම්බර් 29 දින ඌරගස්මන්හන්දිය, යුධපිටිය ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කරන ලද පියා හා පුතුන් දෙදෙනා සහ අනෙක් අයගේ ඝාතකයින් ඇසුරු කළේ යැයිද කොස්ගොඩ සුජී උප සභාපතිවරයා කෙරෙහි වෛරයක් ගොඩ නගාගෙන තිබූ බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. එසේ ඝාතනයට ලක් වූ පියා හා පුතුන් දෙදෙනා ඥාතීත්වයෙන් කොස්ගොඩ සුජීට බාප්පා හා සහෝදරයින්ය. උප සභාපති ඝාතනයට මෙම සිද්ධියත් බලපෑවේද යන්න පොලිස් පරීක්ෂණ බවත්වන බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත, ඇල්පිටිය පොලිස් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා යන නිලධාරීන් ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ

33,124 Viewers

3 Comments to “කරන්දෙණිය උප සභාපති ඝාතනයේ රහස් රැසක් හෙලිවේ.. කරුණා අම්මාන්, කොස්ගොඩ සුජී ගැනත් තොරතුරු..”

  1. පොරියා says:

    අවුරුදු 5 ඉවර කරන්න පොදු ජන පෙරමුනෙන් ප්‍රදේශිය සබාවට තේරුනු එකෙක් වත් ඉතිරි වෙන්නෙ නෑ වගේනෙ. ඔක්කොම පාතාලෙට සම්බන්ද අයයි.ගෑනු ලමයි විකුනන අයයි,ස්ත්‍රී දූශකයොයි නෙ ඉන්නෙ..

  2. Dhanapala Nanayakkara says:

    Mun balayata path wenna kalin mehema nam dinnoth kohomata ideeda… poddo tika lokkage adi paare hodata yanawa… hari shook…

  3. Galu Kolla says:

    අවුරුදු 5 ඉවර කරන්න පොදු ජන පෙරමුනෙන් ප්‍රදේශිය සබාවට තේරුනු එකෙක් වත් ඉතිරි වෙන්නෙ නෑ වගේනෙ. ඔක්කොම පාතාලෙට සම්බන්ද අයයි.ගෑනු ලමයි විකුනන අයයි,ස්ත්‍රී දූශකයොයි නෙ ඉන්නෙ..

Leave a Comment

Main News