ක්‍රිකට් විතරක් නෙමෙයි මෙහෙම ගියොත් සියල්ල කඩා වැටේවි..- ඇමැති අර්ජුන

August 9, 2018 at 4:40 pm | lanka C news
ක්‍රිකට් විතරක් නෙමෙයි මෙහෙම ගියොත් සියල්ල කඩා වැටේවි..- ඇමැති අර්ජුන

වත්මන් ක්‍රීඩා පරිපාලනයේ ඇති දුර්වලතා හේතුවෙන් ක්‍රිකට් පරිපාලනය පමණක් නොව සමස්ත ක්‍රීඩවම ඉදිරියේදී කඩා වැටෙනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මේ බව පැවසුවේ අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අද අදහස් දක්වමිනි.

එහිදී මාධ්‍යවේදීන් වැඩිදුරටත් ප්‍රශ්න කළේ මාධ්‍ය වාර්තා කළ පරිදි ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා ලබා දීමට විෂයභාර අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්ත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වීද යන්නයි.

එය එසේ වූ බව තහවුරු කළ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා තමන් තමන්ගේ යුතුකම ඉෂ්ට කිරීමට කටයුතු කළ බවයි.

මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය ආයතනවල රැකියා ලබා දීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පදනම් කර ගනිමින් සිය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මෙහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් මාධ්‍යවේදන් ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු පහත දැක්වේ….

ප්‍රශ්නය – ඔබතුමාගේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා ලබාදීමේ කැබිනට් පත්‍රිකාවට මොකද වුනේ? ඒක ප්‍රතික්‍ෂේප වුනාද?

මම හිතන්නේ තමුන්නාන්සේලා දන්නවා ඇති මම කැබිනට් මණ්ඩලයේ වෙන දේවල් එළියට ඇවිල්ලා කතාකරන කෙනෙක් නෙමෙයි. පුවත්පතකත් මම දැක්කා දාලා තියෙනවා විසි කරයි කියලා. ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා කැබිනට් මණ්ඩලයෙන්. ඒක මට කණගාටුවක් නෑ. මට යුතුකමක් මම කලේ. ගම් වලින් එන දක්ෂ ක්‍රීඩකයන්ව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් මේ රටේ තිබිය යුතුයි. පහුගිය කාල වල අපි අවුරුදු 20,30,40 පල්ලෙහාට ගියත් රාජ්‍ය ආයතන තමයි ක්‍රීඩකයන්ව ආරක්ෂා කලේ. ඒකට වැඩපිළිවෙලක් තිබුනා. මට මතකයි අපි අලුතින්ම ක්‍රීඩා කරන කාලේ ක්‍රිකට් ක්‍රීඩාවටත් මුදල් නැති කාලේ පෙට්‍රෝලියම් එක ,වරාය ඒ වගේ ආයතන හුඟාක් වෙලාවට මේ ක්‍රීඩකයන් අරගෙන ඒගොල්ලන්ට රැකියාවල් දීලා ඒ ගොල්ලන්ට රැකියාවල් වලට හොද තත්ත්වයන් දීලා ඒගොල්ලන්ට ක්‍රීඩාවෙන් පස්සෙත් රැකියාවන් කරගෙන යන්න හෙඳ ක්‍රමවේදයක් හැදුවා. හිටපු ඇමතිවරයා තමයි දැම්මේ ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ව රැකියාවල් වලට දාන්න රාජ්‍ය ආයතන වලට අවසර ලබල දෙන්න කියලා. ඒ අනුව මගෙන් ඇහුවා ඇයි දැන් මේක සිද්ද වෙන්නේ නැත්තේ කියලා. මම කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒක ජනාධිපතිතුමා කිවුවේ සුදුසු විදිහකට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හදලා මොකක් හරි කරන්න කියලා.මම ඉතින් මගේ යුතුකම කරලා තියෙනවා. කැබිනට් ප්‍රකාශකතුමාගෙන් ඇහුවා නම් මේක කෙහොමද උනේ කියලා හරි විදිහට කියයි. මොකද කැබිනට් එකේ ඇතුලේ වෙන දේවල් මම එළියට ඇවිල්ලා කතාකරන්න ආස නෑ.

ප්‍රශ්නය – ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට රැකියාවක් දෙන්න බැරි වෙයිද. ආණ්ඩුවට ඉදිරියට යන්න පුලුවන් වෙයිද?

නෑ ඉතින් මේක කැබිනට් මණ්ඩලයෙන්ම ගත්ත තීරණයක්නේ. මගේ යෝජනාවක් දැම්මා. ඉතින් ඒකට මොකද්ද උනේ කියන එක මම හිතන්නේ අද කැබිනට් ප්‍රකාශක තුමාගෙන් ඇහුවා නම් හොඳයි ඒක මොනවිදිහටද යන්නේ කියලා. මම පෞද්ගලිකව හිතපු දෙයක් නෙමෙයි අපි මේක ක්‍රීඩා සංගම් වලිනුත් මට කතා කලා. ඒ වගේ දුප්පත් ක්‍රීඩකයෝ එනවා අපිව හම්බෙන්න. ජාතික මට්ටමේ රැකියාවල් නැති ක්‍රීඩකයෝ ඉන්නවා . දවසට ආහාරය බඩට දාගන්න බැරි ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ ඉන්නවා. මේගොල්ලෝ ගැන හිතලා තමයි අපිට ආයතනයක් විදිහට කරන්න පුලුවන් දෙයක් නැති උනත් අපේ රට ලෝකෙට ගියේ මේ දේශපාලඥයෝ නිසා නෙමෙයි. වෙන දෙවල් හින්දා නෙමෙයි. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ නම තමයි මම හිතන්නේ ලොකේ මුලින්ම දැනගතත්තේ. ඊට පස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හින්දා තමයි මේ චූටි රට ලෝකෙට දැනුවත් උනේ. ඉතින් ඒ ක්‍රම‍වේදය අපිට ඉදිරියට ගෙනියන්න අපේ දක්ෂ ක්‍රීඩකයෝ මේ රටේ ඉන්නවා. ගමවල් වල ඉන්නවා. කිසිම සැළසුමක් නැතිව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් ක්‍රීඩාවට තියෙන්නේ. ඉතින් ඒවාට අපිට කරන්න පුලුවන් මෙවැනි යෝජනාවක් ගේන එක. ඉතින් ඒක කැබිනට් මණ්ඩලය ගත්ත තීරණයක්.

ප්‍රශ්නය – දැන් ඔබතුමා කියනවා ක්‍රිකට් ක්‍රීඩාව මේ ආණ්ඩුව යටතේ කඩා වැටිලා කියලා. දැන් මෙහෙම ගියොත් සමස්ථ ක්‍රීඩාවම කඩා වැටෙයිද?

මම හිතන්නේ එක පැත්තකින් බලපුවහම මේ ක්‍රීඩා ඇමතිවරුන්ට ලොකුම ඕනෑකම තියෙන්නේ මේ ක්‍රිකට් දිහා බලාන ඉන්න විතරයි. එහෙම නැතිව අනිත් ක්‍රීඩාවන් වලට අවධානය යොමු කරලාද කියලා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් බලන්න තියෙන්නේ මේ ලෝකේ අපි ප්‍රසිද්ධ උනේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. ඒක විනාශ කරගෙන ගියා කියලා නම් මම වගකීමක් ඇතිව කියනවා. අපි ස්ථාන ගත කිරීම් වල උඩින්ම හිටපු ටෙස්ට් තරඟ වලත්, තනි දින තරඟ වලත්, 20 යි විස්ස අද ඉතාමත් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද 20යි විස්ස අද ඇෆ්ගනිස්ථානයටත් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ක්‍රීඩා ඇමතිවරයාට පෙ‍නෙන්නේ නැත්නම් එතුමාට ක්‍රීඩාව ගැන අවශ්‍යතාවයක් තියෙනවාද කියන එකත් ප්‍රශ්නයක්.

ප්‍රශ්නය – ඒ වගේම මේ වන විට අපේ මේ ක්‍රිකට් කන්ඩායම පැත්තෙන් බැලුවොත් ඉතාමත් අභාග්‍ය සම්පන්න ආකාරයේ තරග පරදින ආකාරයක් තියෙන්නේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තියෙනවා මේ නිළ වරණයක් මේ නිළවරණය සදහාත් නැවතත් පරණ හිටපු අයම සහභාගි වෙන්න තත්ත්වයක් තියෙනවා මේ සම්බන්ධයෙන් යම් කිසි පියවරක් ගෙන තිබේද?

නෑ මං හිතන්නේ දැනට උසාවියේ නඩුවක් ගොනු කරලා තියෙනවා නුසුදුසු පුද්ගලයෝ පත්කිරීම ගැන මම නම් දැනට ඕව ගැන වැඩිය හොයන්න යන්න නෑ නමුත් අපි අලුත් ක්‍රීඩා ඇමතිවරයා ආපු වෙලේ මටත් ආරාධනා කළා ස‍ාකච්ඡා කරන්න හැබැයි ක්‍රීඩා ඇමතිවරයාට මට පේන හැටියට බලතල නෑ ක්‍රිකට් ආයතනයේ හොද දේවල් කරන්න එයාට ක්‍රීඩා ඇමති වුනාට ක්‍රිකට් කියන විෂය එයා යටතේ තියෙනවාද කියන එක එයා දන්න‍ෙ නෑ මොකද එයා ජනාධිපති නීතීඥයෙක් මම නම් නීතිය හදාරපු කෙනෙක් නෙමේ නමුත් මම ක්‍රීඩා නීතිය ටිකක් හදාරලා තියෙනවා ඒකෙ තියෙනවා කොයි වගේ පුද්ගලයන්ටද එන්න පුළුවන් කියලා ඉතිං ඒ කියන්නෙ ක්‍රීඩා නීතිය හා රෙගුලාසි හරියට තේරුම් ගන්න බැයිනම් මම හිතන්නේ එතන තමයි අපිට ප්‍රශ්නය තියෙනනේ පහුගිය කාලෙ අපි දැක්කා හිටපු ක්‍රීඩා ඇමතිවරයාත් අද ඉන්න ක්‍රීඩා ඇමතිවරයාත් ක්‍රිකට් ක්‍රීඩාවට හරි දේ කරන්න කිසිම සුදුසුකමක් නැති පුද්ගලයන්ව පත්කරනවා ඒගොල්ලන්ගෙ වගකීමක් තියෙනවා රටේ ඉන්න මහජනතාවට මේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන හරි වැඩපිළිවෙලක් කරන්න නමුත් අද වෙනකන් මේක සිද්ධ කරලා නෑ 2015 ආපු දවසේ ඉදලා ක්‍රිකට් ක්‍රීඩාව විනාස කරලා තියෙනවා මම ඒක බයක් නැතුව කියන දෙයක් නමුත් පහුගිය ආණ්ඩු කාලෙ මේ අනවශ්‍ය සුදුසු නැති පුද්ගලයන්ට හිටපු ක්‍රීඩා ඇමතිවරයා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා එන්න දුන්නේ නෑ.ඒ ගැන මම හුගක් ආඩම්බර වෙනවා එහෙම තනි තීරණ ගන්න පුළුවන් හොද තීරන හරි තීරණ ගන්න පුලුවන් ඇමතිවරු පහුගිය කාලෙ හිටියා .අද අපේ යහපාලන ආණ්ඩුවේ එහෙම තීරණ ගන්න පුලුවන්ද කියන එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඒ ගොල්ලන්ට ඇති .

ප්‍රශ්නය – ඒ වගේම ඔබතුමා දිගින් දිගටම දැඩි කැමැත්තෙන් හිටියා ක්‍රීඩා අමාත්‍යධූරය ලබාගන්න ?

අනේ නෑ මං එහෙම කවදාවත් ක්‍රීඩා ඇමතිධූරය ලබා ගන්න උවමනාවක් තිබුනෙ නෑ .ම‍ගෙන් ජනාධිපතිතුමා ඉස්සෙල්ලාම ඇහුවා මට කිසිම දවසක ක්‍රීඩා ඇමතිධූරය ලබා ගන්න අවශ්‍යත‍ාවයක් නැහැ මොකද ක්‍රීඩා ඇමතිධූරය ගත්තොත් වෙන්නෙ මම දේශපාලනය කරන්නෙ ක්‍රීඩාව විතරක් කියලා නැහැ මට ඊට ඔබ්බට ගිය ප්‍රධාන ඇමතිකම් 2ක් දීලා කියෙනවා පහුගියකාලෙ දුන්නෙ වරාය ,වරාය ලාභ ලැබුවා අපි ඒක මම නෙමේ කිව්වෙ ජනාධිපතිතුමා රාජාසන කතාවෙදි ඇවිල්ලා කිව්වා වරාය අදිකාරය ලාබ ලබන්න පුළුවන් උනා කියලා ඒකට ප්‍රධානතම හේතුව උනේ හිටපු වෘත්තීය සමිති හොරු ටික අපි අයින් කලා ඒ වගේම අපි වරායෙ හොරකම් නැවැත්තුවා ඒ ‍වගේම වියදම අඩු කළා .ඉතාමත් හොදට වරාය දිව්වා අපි ඊට පස්සෙ තමා මාව තෙල් අමාත්‍යංශයට දාලා තියෙනවා ඒකෙත් අපි දැන් හුගාක් වියදම් අඩු කරලා එ් වගේම සේවකයොත් එක්ක සාකච්ඡා කරලා අතිකාල දීමනා හුගාක් අඩු කරලා ඒ ගොල්ලන්ට තේරුම් අරගෙන පෙන්නලා දුන්නා මේ කරන ක්‍රියාදාමයෙන් මේ ආයතන විකුනලා දාන්න සිද්ධ වුනා කියලා .

ප්‍රශ්නය – නමුත් ඔබතුමා ක්‍රිකට් සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ නිකුත් කරනවා නේද?

ක්‍රිකට් කියන්නේ මගේ ජීවිතයේ එක කොටසක්. ඒක විනාශ වෙනකොට මට කතා කරන්න අයිතිවාසිකමකුත් තියෙනවා. සමහර වෙලාවට ක්‍රීඩා ඇමතිවරු හිතනවා මට ක්‍රීඩාව ගැන කතාකරන්න හොඳ නෑ කියලා. ඒ ගොල්ලෝ මට වඩා දන්නවා කියලා. හැබැයි මේ රටේ මහජනතාව මම ක්‍රිකට් ගැන කතා නොකලොත් මට චෝදන කරනවා. ඒ නිසා තමයි අනවශ්‍ය පුද්ගලයෝ එනකොට මේ සූදු කාරයෝ බුකිකාරයෝ එනකොට මම ඒකට විරුද්ධව හඩ නගනවා. ඒක තේරුම් ගන්න ඔනේ නීතිය දන්න ඇමතිවරු ඒක හරිද වැරදිද කියලා බලවන්න ඕනේ. එහෙම නැතුව මේ වේදිකාවල් ගානේ ගිහින් මාධ්‍ය ඉස්සරහට ගිහින් බොරු කියලා දැන් අතුරු පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරු ඔක්කෝම කැදෙව්වා. මෙහෙම යනකොටම කිවුවා මේක කාලේ කල් දැමීමක් කියලා. අද වෙනකල් අපි සාකච්චා කරපු දේවල් කරන්නවත් හිතන්නවත් හදලා නෑ. එයාට මම හිතන්නේ බලයක් නෑ ක්‍රිකට් වෙනසක් ඇති කරන්න. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. එහෙම නැතුව කවදාවත් මේ ක්‍රිකට් හදන්න බෑ. ඉන්දියාව වගේ රටවල් වලත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා තියෙනවා එහෙ චන්ද 40ස් ගානයි තියෙන්නේ ඒකත් අඩු කරන්න කරලා 20කට. අනිත් රටවල් වලත් තියෙන්නේ නිළවරණ ,ඡන්ද 10-15-20යි. අපේ රටේ 150 ක් විතර තියෙනවා. ඒ කියන්නේ මෙවුවා සමහර ක්‍රීඩා සමාජ තියෙනවා ක්‍රීඩා කරන්නෙත් නෑ, ක්‍රීඩාංගනත් නෑ. ඒ ඉන්න කීප දෙනා මේගොල්ලෝ මූල්‍යමය වශයෙන් සහ අනිත් දේවල් වලින් බලාගන්නවා. ඉතින් ඒකෙන් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙලා තියෙන්නේ. ඒක මම කියපු දෙයක් නෙමෙයි. අපේ ප්‍රවීන ක්‍රීඩකයෝ සිදත් වෙත්තමුණිලා, සංගක්කාරලා මේ හැම දෙනාම මහේලලා හැමදාම ඇවිල්ලා කිවුවා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. හැබැයි එහෙම කොන්දක් තියෙන ක්‍රීඩා ඇමතිවරයෙක් අද වෙනකන් ඇවිල්ලා නෑ. අපි බලමුකෝ ඉස්සරහටත් මේ කතා කරන එක්කෙනාටත් නීතිය දන්න එක්කෙනාටත් ඉස්සරහට හරියට කරන්න පුලුවන් වෙයිද කියලා.

ප්‍රශ්නය – ලොක කුසලානය ගෙනාවේ ඔබතුමාගේ නායකත්වයෙන්. ඒකට කළගුණ සැළකීමක් වශයෙන් ක්‍රීඩාවට මහත් සැළකීමක් කරපු ගාමිණී දිසානායක මැතිතුමාගේ නිවසටත් ඒ කුසලානය රැගෙන ගියා. නමුත් ඒ වන විට ක්‍රීඩාවට කිසිම දේශපාලන ඇගිලි ගැසීමක් තිබුනේ නෑ. ඒ වගේ දේශපාලනයෙන් තොරව ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් උනොත් ඉදිරියට යන්න පුලුවන් වෙයි කියලා හිතනවාද?

පහුගිය කා‍ලේ දැක්කානේ. අපි පහුගිය කාලේ දැක්කා ක්‍රීඩකයන් ක්‍රීඩා සමාජ මාරු කරනවා ක්‍රිකට් පරිපාලනයේ හිටපු මිනිස්සුන්ගේ ක්‍රිකට් සමාජ වලට යන්න. එතකොට තමයි ඒගොල්ලන්ට අවස්ථාව ලැබුනේ. ම‍ට ඒක වරායේ හිටපු එක ක්‍රීඩකයෙක් මම වරාය අමාත්‍යාංශයේ ඉන්නකොට ..ඒ ක්‍රීඩකයා ඇවිල්ලා කිවුවා එයාට ජාතික කණ්ඩායමට ගහන්න නම් වෙන පාරක් තියෙනවා . එයාට වෙන ක්‍රීඩා සමාජෙකට යන්න අවශ්‍යයි කියලා. එයා ගියා වෙන ක්‍රීඩා සමාජෙකට. සති 2ක් ඇතුළත මේ ක්‍රීඩකයා ගියා සංචාරයක්. ඉතින් ඒකෙන් අපිට පෙනුනා මේ තේරීම් කමිටුව උනත් ක්‍රියා කරන්නේ ක්‍රීඩා සමාජ වල ඉන්න නිළධාරීන් පහුගිය කාලේ ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන්ට ඔනේ විදිහට. ඉතින් වැඩියෙන්ම දේශපාලනිකරණය කරපු කාලේ මේ කාලේ. ඡන්ද බලයක් නැති තමන්ගේ ආසනයේ නෙමෙයි කොළඹ ද්‍රිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට එන්න බැරි අපත සූදු ව්‍යාපාරයේ ඉන්න පුද්ගලයන්ට ක්‍රීඩා ඇමතිවරයා අවසර දුන්නා නම් ඒ හරහා ක්‍රිකට් පරිපාලනයට ඇවිල්ලා ක්‍රීඩාවත් විනාශ කිරීමේ වගකීම හිටපු ක්‍රීඩා ඇමතිතුමාත් අද ඉන්න ක්‍රීඩා ඇමතිතුමාත් 2න්නම ගන්න ඔනේ. මම හිතන්නේ මහජනතාවට දෙන්න පුලුවන් එකම ‍දේ තමයි ඊළඟ නිළවරණයේදී මැතිවරණයකන් එනවනේ ඒවාගේදී මේ වගේ පුද්ගලයන්ට හරි විදිහට සලකන්න. එතකොට ඒ වගේ පුද්ගලයෝ ආපහු පාර්ලිමේන්තුවට නොඑන ක්‍රමවේදයක් හදාගන්න පුලුවන්. එතකොට අපිට ‍හොඳ පුද්ගලයෝ ටිකක් පාර්ලිමෙන්තුවට ගෙන්න පුලුවන.

– තමීර මංජු

9,989 Viewers

2 Comments to “ක්‍රිකට් විතරක් නෙමෙයි මෙහෙම ගියොත් සියල්ල කඩා වැටේවි..- ඇමැති අර්ජුන”

  1. gihan says:

    mehema giyoth cricket witharak nowei durjanyage …………….th. kadaa wetei.hitantai. hutantai..paschaath
    bhaagaya allagena hitapan. boru epaa oyath ponsiyek.

  2. SSC says:

    Stop criticizing others and do your job Arjuna…you are serious looser…you have nothing today other than the historical captaincy…You are some what maniac like wel widane….you are not a good man….Sri lankans know it…your stingy behavior is not a secret any more….pls do not be a mike hero….when we see you on screen its negative feelings we get…..its miserable… either get out from this government and fight or shut your mouth….do both will be a further disaster…..you all are opportunistic people….

Main News