කාලගුණයට බිය වී උතුරේ බොහෝ ධීවරයින් මුහුදු ගමන් නොයයි…

March 14, 2018 at 2:06 am | lanka C news
කාලගුණයට බිය වී උතුරේ බොහෝ ධීවරයින් මුහුදු ගමන් නොයයි…

අයහපත් කාලගුණය හේතුවෙන් මුලතිව්හි ධීවර බොට්ටුවක් අතුරුදහන් වීමත් සමග උතුරේ බොහෝ ධීවරයින් සිය ධීවර කටයුතු නවතා සියලු ධීවර යාත්‍රා ගාල් කොට තැබීය.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උතුරේ ධීවරයින්ට මුහුදු යාමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ආර්ථිකයටද බලපෑමක් එල්ල වී ඇති අතරම මුහුදු ගමන් නොයා සිටීම මගන් තමන්ගේ දෛනික කටයුතු වලටද දැඩි බාධා එල්ල වී ඇති බවටද උතුරේ ධීවරයින් කියා සිටිති.

මේ අතර මුලතිව්හි ධීවර යාත්‍රාවක් අතුරුදහන් වීමත් සමගම මන්නාරමේ සියලුම ධීවරයින් පාහේ අද උදෑසන සියලුම ධීවර කටයුතු නවතා ධීවර යාත්‍රා සුරක්ෂිතව මන්නාරම් මුහුදු වෙරලේ ගාල් කිරීමට පියවර ගෙන තිබුණි.

පවතින අයහපත් කාලගුණය ඉදිරියටද පැවතිය හොත් සිය දෛනික ආර්ථකයට දැඩි බලපෑමක් එල්ල වන බවටත් එසේ වුවහොත් මාළු මිල ගණන්ද ඉහල යා හැකි බවට උතුරේ ධීවරයින් වැඩි දුරටත් කියා සිටිති.

කෙසේ වෙතත් උතුරේ පිහිටි ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් සියලු ධීවරයින්ට දැනුම් දී ඇත්තේ පවතින අයහපත් කාලගණික තත්වය සාමාන්‍ය තත්වයට පත් වන තුරු මුහුදු ගමන් වලින් වැලකී සිටින ලෙසටත් මුහුදු ගමන් යන්නේ නම් නාවික හමුදාවේ අවසරය හෝ අධීක්ෂනයන් පරිදි ධීවර කටයුතු වල නිරත වන ලෙසටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,120 Viewers
Main News