ක‍්‍රිකට් අවුලෙන් අවුලට.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසුරුවා හරින්න සූදානම්..

December 7, 2017 at 3:31 am | lanka C news
ක‍්‍රිකට් අවුලෙන් අවුලට.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසුරුවා හරින්න සූදානම්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා යන හිටපු නායකයන් යෝජනා කල සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදුනහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරින බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ බදාදා (දෙසැ 06) කොළඹ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ස්වාධීන උපදේශන මණ්ඩලයක් පසුගිය ඔක්තෝබර් මාසයේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලදී.

ක්‍රිකට් අන්තර්වාර කමිටුවක හිටපු සභාපතිවරයෙකු වන හේමක අමරසුරිය එහි සභාපති ධුරය දරන අතර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා සහ අනුර තෙන්නකෝන් එහි සාමාජිකත්වය දරති.

එම උපදේශන මණ්ඩලය විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට සිය මුලික සැලැස්ම බාර දෙනු ලැබ ඇති අතර ඇමතිවරයා ඉහත කී අදහස් පළ කළේ ඒ පිළිබඳ සිය ප්‍රතිචාරය පළ කරමිනි.

දැනට පවතින පළමු පෙළ ක්‍රීඩා සමාජ සියල්ල එක්කර එක් තරගාවලියකුත් ඉන් පසු පළාත් තරගාවලියකුත් පවත්වන බව ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පළාත් ව්‍යුහයක් අනුව සකස් කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස්කර ක්‍රීඩා සමාජවලට ඇති ඡන්ද ප්‍රමාණය අඩුකිරීම ද තමන් සිදුකරන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ පාලකයන් ක්‍රීඩා සමාජවලට නතුවෙලා ඉන්නේ. ක්‍රීඩා සමාජ තමන්ගේ බලය ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමුකරලා කරන්න දෙන්නේ නැතුව හිරකරලා තියෙන්නේ. මට මේක කරන්න බැරිවුනොත් මම ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනවා,” යනුවෙන් ඇමතිවරයා කියා සිටියේය.

තමන් විසින් පත් කරන ලද ක්‍රිකට් උපදේශන මණ්ඩලය සමග ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගිය හැකි බවට විශ්වාසය පළ කළ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ සඳහා යම් කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

හිටපු ක්‍රිකට් නායකයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ සැලැස්මට ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් සිය විරෝධය පළකර තිබෙන බව වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් ඉන්දියාව බලා පිටත්වීම සඳහා ගුවන්තොටුපළ දක්වා ගොස් සිටියදී නැවත කැඳවීම ගැන අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගෙන් නිසි ලෙස අවසරය ලබා නොගෙන කණ්ඩායම පිටත් කිරීමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙස ක්‍රිකට් සභාපතිවරයාට දන්වා ඇති බවද ප්‍රකාශ කළේය.

චන්දික හතුරුසිංහගෙන් ද අදහස් ලබාගෙන කණ්ඩයාම නම් කිරීම නිසා ඊට කල්ගත වූයේ යයි ක්‍රිකට් බලධාරීන් තමන්ට ප්‍රකාශ කළ බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– BBC

10,129 Viewers

2 Comments to “ක‍්‍රිකට් අවුලෙන් අවුලට.. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසුරුවා හරින්න සූදානම්..”

  1. siri says:

    මුලු ලෝකයම පිලිගත්, ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව මනා අත්දැකීම් ඇති ඉහත නායකයින් පවා තුට්ටුවකට මායිම් නොකර, අපේ මුලු මහත් රටම ජාත්‍යන්තරය හමුවේ කිච කරමින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරමින්සිටින මේ තක්කඩි ජාවාරම්කාර හොර බුකීයා පන්නා දමන තුරු ක්‍රීඩාව යලි යතා තත්වයට පත් කිරීම හිතන්නවත් එපා. මූට ඇති මෙතරම් දේශපාලන හයියේ රහස කුමක්ද?…

  2. Niru says:

    This fellow is also like his boss My3palan. Just empty threats. Scared of what?

Leave a Comment

Main News