ක‍්‍රිකට් පාවාදීමක් ගැන අර්ජුන යලි හෙලි කරයි.. සුමතිපාලට ප‍්‍රබල චෝදනා..

October 8, 2017 at 2:10 pm | lanka C news
ක‍්‍රිකට් පාවාදීමක් ගැන අර්ජුන යලි හෙලි කරයි.. සුමතිපාලට ප‍්‍රබල චෝදනා..

කළුතර පානදුර තරග පාවාදීමට සම්බන්ධ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීම ප්‍රමාද වන්නේ ඇයිදැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි දයාසේකර මහතාගෙන් ප්‍රශ්න කර සිටී. “පානදුර – කළුතර තරග පාවාදීම සංවිධානාත්මක අපරාධයකි. එහි මූලික ඉලක්කය වූයේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ප‍්‍රිමියර් ලීග් බී ඛාණ්ඩයෙන් ඒ ඛාණ්ඩයට යාම වැළැක්වීමයි. ඊට අමතරව පානදුර කණ්ඩායමට ඒ ඛාණ්ඩය සඳහා සුදුසුකම් ලබා ගැනීමටත්, කළුතර කණ්ඩායමට ප‍්‍රිමියර් ලීග් බී ඛාණ්ඩයේ සිට සරා තරගාවලිය දක්වා පහළ වැටීම වළක්වා ගැනීමේත් අරමුණුණින් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනට බලපෑමක් එල්ල කිරීමද මෙම තරග පාවාදීමේ අරමුණක් බව පැහැදිලිය. එය චේතනාන්විතව සිදු කරන ලද වංචාවකි. අපරාධයකි. එවැනි සංවිධානාත්මක අපරාධයක් සිදු කිරීම ක‍්‍රීඩකයින්ට පමණක් සිදු කළ නොහැකි බව මගේ විශ්වාසයයි. ඒ සඳහා ක‍්‍රීඩකයින් පෙළඹවීමටත් සහ සැලසුම් සකස් කිරීමටත් ක‍්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීම මෙන්ම අනුදැනුම අත්‍යවශ්‍යමය. ක‍්‍රීඩාවේ පාරිශුද්ධත්වය සුරැකීමටත් මෙවැනි අශීලාචාර ක‍්‍රියා තවදුරටත් සිදු නොවීමටත් මේ තරග පාවාදීම පිටුපස සිටියේ කවුරුන්දැයි යන්න හඳුනා ගැනීමද අත්‍යවශ්‍යය….” යැයිද අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි. ඒ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ට ලිපියක් යොමු කරමිනි.

“කළුතර – පානදුර තරග පාවාදීම සම්බන්ධ නිලධාරීන්ට දඬවම් නොපැමිණ වීම සම්බන්ධයෙනි….” යන සිරස්තලය යටතේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා යොමු කළ ලිපිය පිටු දෙකකින් යුක්තය. එම ලිපියෙන් අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කරන්නේ තරග පාවාදීමට වගකිව යුතු සහ වගවීමේ ක්‍රියාවලියට බැඳෙන එකී ක්‍රීඩාසමාජවල ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිඳු දඬුවමක් ලබා නොදීම විශ්මයාර්ථය දනවන කරුණක් වන බවයි. තරග පාවාදීමේ සියලු පව් ක්‍රීඩකයින් වෙත පටවා එකී ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන් බේරීමේ සූක්ෂම සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වන බවද එම ලිපියේ දැක්වේ.

“2016 ජනවාරි මාසය වන විට කළුතර කාය වර්ධන කවයේ නීත්‍යානුකූල සභාපති ලෙස ප‍්‍රනීත් පිරීස් මහතාත් නීත්‍යානුකූල ලේකම් ලෙස ආර්. ජේ. එස් පෙරේරා මහතාත් කටයුතු කළේය. 2016 ක‍්‍රිකට් නිලවරණයේදී එම ක‍්‍රීඩා සමාජය ඡන්දය ප‍්‍රකාශ කළේ තිලංග සුමතිපාල මහතාට විරුද්ධවය. ඉන් අනතුරුව සුමතිපාල මහතා සභාපතිත්වය දරන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පූර්ණ මැදිහත් වීමෙන් එකී ක‍්‍රීඩා සමාජයේ පරිපාලන බලය නීත්‍යානුකූල සභාපති සහ ලේකම්ගෙන් ඉවත් කර කමිටුවකට පැවරිණ. එම අසාධාරණයට එරෙහිව නීත්‍යානුකූල සභාපති සහ ලේකම් ඔබතුමාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය. එම පැමිණිල්ල පදනම් කරගනිමින් ඔබතුමාම දුන් නියෝගයකට අනුව ක‍්‍රීඩා අධ්‍යක්ෂජනරාල්වරයා කළ පරීක්ෂණයේ අවසන් නිර්දේශයද වූයේද නැවත වරක් කළුතර කායවර්ධන කවය නීත්‍යනුකූල සභාපතිට සහ ලේකම්ට භාර දෙන ලෙසයි.

එහෙත් අදටත් ඔබතුමාගේ නියෝගයකට අනුව සිදු කළ පරීක්ෂණයේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රියා කර නොමැත. විවිධ උපක‍්‍රම යොදා ගනිමින් අදටත් කළුතර ක‍්‍රීඩා සමාජයේ පරිපාලනය මෙහෙයවනුයේ සුමතිපාල මහතා සභාපතිත්තවය දරන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත් කළ කමිටුවක් විසිනි. එහි සාමාජිකයින් වන රන්ජන් පරණවිතාන, සුමිත් ප‍්‍රසන්න සහ නෙවිල් වීරසේකර යන අය සුමතිපාල පාර්ශ්වයේ හිත මිතුරන් බව අමතුවෙන් කිව යුතු නොවේ. ඔවුන් මෙහෙයවන කළුතර කායවර්ධන ක‍්‍රීඩා සමාජය හා එක්ව තරග පාවාදීමට සම්බන්ධ පානදුර ක‍්‍රීඩා සමාජයේ සාමාජිකයින් වන රවීන් වික‍්‍රමරත්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප ලේකම්වරයෙකි. ප‍්‍රියන්ත සොයිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සාමාජිකයෙකි. ඔවුන් දෙදෙනාද පසුගිය ක‍්‍රිකට් නිලවරණයේදී සුමතිපාල පාර්ශ්වය දිනවීමට ප‍්‍රසිද්ධියේ ක‍්‍රියා කළ අයය. ජයන්ත සිල්වා සභාපති ධුරය දරන නුවන් සමරනායක ලේකම් ධුරය දරන පානදුර ක‍්‍රීඩා සමාජය පසුගිය ක‍්‍රිකට් නිලවරණයේදී සිය ඡන්දය ප‍්‍රකාශ කළේද සුමතිපාල පාර්ශ්වය වෙනුවෙනි. මෙයින් පෙනී යන්නේ තරග පාවාදීමට සම්බන්ධ කළුතර සහ පානදුර ක‍්‍රීඩා සමාජවල ඉහළම නිලධාරීන් සුමතිපාල පාර්ශ්වයේ ළඟම හිතවතුන් වන බවත් එම හේතුව මතම තරග පාවාදීම සම්බන්ධයෙන් ඔවුනට දඬුවම් නොකර සිතාමතාම ඔවුන්ව ආරක්ෂා කර ඇති බවත් නොවේද ? එම සාධාරණ සැකය කිසිවකුටත් බැහැර කළ නොහැකි බවද මම ඔබතුමාට තරයේ අවධාරණය කරමි….” යැයිද එම ලිපියේ දැක්වේ.

“යුක්ති ධර්මයේ සහ නීතියේ මූලධර්ම අනුව කළුතර – පානදුර තරග පාවදීම සම්බන්ධයෙන් වූ වගවීමේ සහ වගකීමේ ක‍්‍රියාවලියෙන් එකී ක‍්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ට බැහැර විය නොහැකිය. එබැවින් කළුතර – පානදුර තරග පාවාදීමේ සිද්ධියට ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට පමණක් දඬුවම් පැමිණීමෙන් සෑහීමකට පත් විය නොහැක්කකි. ක‍්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීමට නම් එම සංවිධානාත්මක වරදට, අපරාධයට ක‍්‍රීඩකයින් සහ පුහුණුකරුවන් පෙළඹූ ක‍්‍රීඩා සමාජවල ඉහළම නිලධාරීන්ට දඬුවම් පැමිණවීමද අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි….” යැයි පවසන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය ලිපියෙන් අවධාරණය කරන්නේ සූදු සහ ඔට්ටු ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් ක‍්‍රිකට් පරිපාලනයට පැමිණීමෙන් තරග පාවාදීම් ඇතුළු වංචා සහ අක‍්‍රමිකතා සිදු විය හැකි බවත් එයින්ම ක‍්‍රීඩාවේ පරිහානිය සිදුවිය හැකි බවටත් තමන් අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවූ බවයි. එම අනතුරු ඇඟවීම් නිසි අවධානයට නොගැනීම මත ක‍්‍රිකට් ක‍්‍රීඩාව සියලු අංශයන්ගෙන් අගාධයට වැටෙමින් තිබෙන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට කියා සිටී.

තවදුරටත් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අගාධයට යාම වැළැක්වීමේ සහ ශ‍්‍රී ලාංකේය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීමට ඓතිහාසිකව තමන්ට පැවැරුණු වගකීම ඉටු කිරීමේ අරමුණින් මෙකී දැනුවත් වීම සිදු කරන බවද ක්‍රීඩා අමාත්‍යතුමා වෙත යොමු කළ ලිපියෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා සිටී.

– තමීර මංජු

5,563 Viewers

One Comment to “ක‍්‍රිකට් පාවාදීමක් ගැන අර්ජුන යලි හෙලි කරයි.. සුමතිපාලට ප‍්‍රබල චෝදනා..”

  1. asaranaya says:

    නීතිය නවපු අජුතයගෙ මිනිහෙක් මාද්ය කාරයෙකුගේ කණ පැලෙන්න ගැහුව වගෙ බුකිපාලටත් කණට එකක් දීපිය යකෝ, යහාපාලනෙ ඉන්නෙ නවන ඈයොයි නැවිච්ච ඈයොයිනේ

Main News