ගංවතුර එනවා නම් අපට කියලා එන්න… එහෙම ආවොත් අපි මුහුණ දෙන්නම්..

June 6, 2017 at 3:41 am | lanka C news | ලංකා සී නිවුස්
ගංවතුර එනවා නම් අපට කියලා එන්න… එහෙම ආවොත් අපි මුහුණ දෙන්නම්..

මෙම ආණ්ඩුව ආපදාවකට හසුව තිබෙන ආණ්ඩුවක් බවත්, එවැනි ආණ්ඩුවකට කිසිසේත්ම රටක් ආපදාවකින් බේරා ගත නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා මෙසේ ද සඳහන් කළේය.

‘මේ ස්වාභාවික ආපදාවෙන් පැහැදිලිවම ඔප්පු වූ දේ තමයි, ‘මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිටම බොරු කයිවාරු ගහමින් සිටියා මිසක් ප්‍රායෝගිකව කිසිවක් කළේ නැහැ’ කියන එක. මේ ස්වාභාවික ආපදාව ඇරඹුණු දවසේ ඒකාබද්ධ විපක්‍ෂය ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්න අවස්ථාව ඉල්ලන විට අගමැති ළඟින් වාඩිවෙලා හිටපු සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල කීවේ කුමක්ද? ‘මට මගේ ආසනයට යන්න තිබෙනවා’ කියලයි. එතුමා ඒ වන විට ‘ගංවතුරක් ඇවිල්ලා , නාය යනවා’ කියලා දැනගෙන සිටියේ නැහැ. ඔන්න මේ ආණ්ඩුවේ සභානායකගේ භූමිකාව.

‘ගංවතුරට මුහුණ දීමට තිබූ හොඳම යාන්ත්‍රණය වහලා’

ඒ වගේම අද වන විට මෙවැනි ස්වාභාවික ආපදාවකට අපට රටක් විදියට මුහුණ දීමට තිබූ හොඳම දේශපාලන යාන්ත්‍රණය මේ ආණ්ඩුව විසින් වසා දමා තිබෙනවා. විපතට පත් වූ ප්‍රදේශවල පළාත් පාලන මන්ත්‍රීවරුන් සිටියා නම් ඔවුන් මේ අභියෝගය බාර ගන්නවා. පළාත් පාලන මන්ත්‍රීවරයා හිටියා නම් ඔහු ඍජුව රාජ්‍ය නිලධාරින් සමඟ සම්බන්ධ වෙනවා. දැන් බිම් මට්ටමින් ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් අතර ඍජු සබඳතාවක් නැති වී තිබෙනවා.

2004 දෙසැම්බරයේ සුනාමිය ආපු අවස්ථාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයේ සහන සේවා කටයුතු, ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයකු ලෙස මටයි පැවරුණේ. මාසයක් ඇතුළත තංගල්ල ප්‍රදේශය ශුද්ධ පවිත්‍රකර පැවැති තත්වයෙන් භාර දීම අපට පැවරුණා. ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය, ස්වේච්ඡා සංවිධාන යොදා ගනිමින් අපි ඒ කටයුත්තට නායකත්වය දුන්නා. සති 02ක් ඇතුළත තංගල්ල නගරය, නිවාස ශුද්ධ පවිත්‍රකර භාර දීමට අපට හැකි වුණා. මහජන නියෝජිතයකු සතු ඒ වගකීම අද මේ ආණ්ඩුවේ මැති ඇමතිකම් දරන ප්‍රාදේශීය සංවර්ධන කමිටු, දිස්ත්‍රික් සංවර්ධන කමිටු, සභාපතිවරුන්ට අමතක වෙලා. රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගනිමින් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම ඒ අයගේ වගකීමයි.

2014 දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපදා තත්වයක් ඇති වුණාම හිටපු ජනාධිපතිතුමා ක්‍ෂණිකව ඊට මැදිහත් වුණා. අපි ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සාකච්ඡා කොට පැය 24ක් යන්න කලින් අදාළ පිරිස්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා නවාතැන් පහසුකම් සැපයුවා. අවශ්‍ය මුදල් පැය 24ක් තුළ දිස්ත්‍රික් ලේකම්ලාට ලබාදීමට ඒ ආණ්ඩුව කටයුතු කළා. නමුත් මෙවර මොකද වුණේ? ගංවතුරට හසු වෙලා කන්න, බොන්න නැතිව, ඇදිවතත් අහිමිව දවස් ගණන් බෝට්ටුවක්, හෙලිකොප්ටරයක් එනතුරු බලා ඉන්න සිදු වුණා.

‘ප්‍රාදේශීය ලේකම්ලා පතුරු ගහලා වැඩක් නැහැ’

‘ආපදාවට හසුව තිබෙන ආණ්ඩුවක් කොහොමද රටක් ආපදාවකට ලක් වුණාම බේරා ගන්නේ?’ කියන ප්‍රශ්නයයි අද මතුව ඇත්තේ. මේ විපතට රට පත් වෙලා අදට දින 10කට වැඩියි. තවමත් මේ විපත කළමනාකරණය කර ගන්න මේ අයට බැරි වෙලා තිබෙනවා. ග්‍රාම සේවකලා, ප්‍රාදේශීය ලේකම්ලා, දිස්ත්‍රික් ලේකම්ලා, පතුරු ගහන එකයි මේ ආණ්ඩුව කරන්නේ. එහෙම කළාට වැඩක් නැහැ. වත්මන් දේශපාලන නයකත්වයයි ඊට වගකිව යුත්තේ.

‘ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ බිඳ වැට්ටුවා’

සුනාමිය ආවාට පසුව මේ රටේ ආපදා කළමනාකරණය සඳහා අමාත්‍යාංශයක් පිහිටුවා ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ජාතික මට්ටමින් සකස් වූවා. ජනතාව ආපදා තත්වයකට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව හොඳින් දැනුම්වත් කළා. මේක එහෙම රටක්. නමුත් පළාත් පාලන නියෝජතයන් රටට අහිමි කරපු මේ ආණ්ඩුව, ආපදා තත්වයකට බිම් මට්ටමේ ජනතාවට මුහුණ දීමට තිබූ යාන්ත්‍රණය විනාශ කළා. දැන් මේ ආණ්ඩුව කියන්නේ, ‘ගංවතුර එනවා නම් අපට කියලා එන්න. එහෙම ආවොත් අපි මුහුණ දෙන්නම්’ කියලයි.

‘හොරු අල්ලනවෝ’ කිය කියා බොරු කරමින් හිටපු මේ ආණ්ඩුව ඉස්සරහට, ප්‍රායෝගිකව පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්නයක් දැන් ඇවිත් තිබෙනවා. ඔවුන්ට අද ඒකට උත්තර නැහැ. ඒ නිසා මම ඉහතදී සඳහන් කළා වගේම මේ ආණ්ඩුව අද ඔප්පු කොට පෙන්වා තිබෙනවා ‘අපට කිසිවක් බැහැ. අපි ආපදාවට ලක් වුණු ආණ්ඩුවක්’ කියලා.

‘රටට තිබෙන ලොකුම ආපදාව’

ඒකාබද්ධ විපක්‍ෂය ලෙස හිටපු ජනාධිපතිතුමා ද සම්බන්ධකොට ගෙන අපි කළ හැකි සියල්ල කළා. නමුත් මේ ආණ්ඩුවේ ජනාධිපතිවරවයා, අගමැතිවරයා ඇතුළු කිසිදු නායකයකු දුෂ්කරතාවන්ට මුහුණ දුන් ජනතාව සොයා ගියේ නැහැ. රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය දුන්නේ නැහැ. ඒ නිසා අද මේ රටට තිබෙන ලොකුම ආපදාව මේ ආණ්ඩුව බව ඔවුන් විසින්ම පෙන්වා දී අවසන්. මේ ආණ්ඩුව තවදුටත් බලයේ හිටියොත් තව පස් කඳු, කුණු කඳු කඩා වැfටිවි. මේ රටට නිවැරදි දේශපාලන නායකත්වයක් තිබෙන විට මේ පස් කඳු, කුණු කඳු අභියෝගයක් නොවෙයි. නමුත් මේ ආපදාවට ලක් වුණු ආණ්ඩුවට ඒ කිසිදු අභියෝගයක් ජය ගැනීමට නොහැකි බව දැන් ජනතාවට වැටහී හමාරයි. දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය හදපු නිසා ගංවතුර ආවා කියන ඇමතිවරයාට අපි කියනවා ‘වැඩ කළොත් රට ආපදාවට පත්වෙන නිසා ඔබතුමා මේ රටේ කිසිද සංවර්ධන වැඩක් නොකර ඉන්න’ කියා. දැන් ඒ ඇමති මේ ආපදාව හේතුවක් කරගෙන වැඩ නොකර ඉන්න සිස්ටම් එකක් හදාගෙන තිබෙනවා. මේ ආණ්ඩුව මේ විදියේ බොරු කියන, කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැති එකක් බව මේ ගංවතුර විසින් පෙන්වා දුන්නා.

අපි මේ ආණ්ඩුවෙන් අවසන් වශයෙනක් ඉල්ලනවා ‘අවම තරමින් ලැබී තිබෙන සහනාධාර ටිකවත් මේ අහිංසක මිනිස්සුන්ට හරි ආකාරව බෙදලා දෙන්න’ කියා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

10,958 Viewers

2 Comments to “ගංවතුර එනවා නම් අපට කියලා එන්න… එහෙම ආවොත් අපි මුහුණ දෙන්නම්..”

  1. NARAYANA says:

    Taxpayers money using to bless RW by KEPPASIRA who loot the people verdict in 2015, god will not allow to continue without disaster until this bunch remove from government. If people wants that country must rally around against them

  2. asaranaya says:

    මයිතුනයා හෝ පින්ගුත්තරයා වැරදිලාවත් ආවොත් රෙද්ද උස්සා මයි 3 පෙන්නීම ඇර කරන්න දෙයක් නැත

Main News