ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයන් 07ක් අතුරුදහන්.. දැනට දින 25යි..

July 9, 2018 at 8:02 am | lanka C news
ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයන් 07ක් අතුරුදහන්.. දැනට දින 25යි..

මුහුදු රස්සාවේ ගිය සිය ඥාතීන් සොයා දෙන්න යැයි රජයට බල කරමින් අතුරුදන්ව සිටින ධීවරයින්ගේ ඥාතීන් විසින් හික්කඩුව, තොටගමුවේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය.

ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගය තොටගමුව හන්දියේදී අවහිර කරමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත විය. අතුරුදන්ව සිටින ධීවරයින්ගේ ඥාතීන් විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණයට ප්‍රදේශවාසීන්ද ඇතුළුව හාරසියයක (400) පමණ පිරිසක් එක්ව සිටියහ. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ගාමිණී ලියනගේ මහතා උද්ඝෝෂණ කරුවන් අතරට පැමිණ කරුණු පැහැදිලි කිරීමෙන් පසුව පිරිස විසිර ගොස් තිබේ.

මොවුන් විසින් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වුවත් කිසිවෙක් කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත නොවූ බව මීටියාගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මොවුන්ගේ එකම ඉල්ලීම වූයේ අතුරුදන්ව සිටින සිය ඥාතීන් සොයා ගැනීම සදහා රජයේ මැදිහත්කරුවෙක් ගෙන්වාගෙන ඊට සහය ලබා ගැනීම පමණක් වූ බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.

පෙ.ව 10.00 ට පමණ ආරම්භ කරන ලද උද්ඝෝෂණය 07 රාත්‍රී 11.00 පමණ වන තෙක් පැවති බවද මීටියාගොඩ පොලීසිය කියයි.

පසුගිය ජුනි 14 වන දින සෙන්දූර් – 02 යාත්‍රාවෙන් ගාල්ල ධීවර වරායෙන් මුහුදු රස්සාවේ ගිය ධීවරයින් 07 දෙනෙක් පිළිබදව කිසිදු තොරතුරක් නැති බව පවසා ඔවුන් සොයා ගැනීමට මැදිහත්වන ලෙස රජයෙන් ඉල්ලමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ. මෙම ධීවර පිරිස පසුගිය ජුනි 29 දින අවසන් වරට සිය ඥාතීන්ට කතා කර තිබෙන බවද උද්ඝෝෂණයේ නිරත වූවන් ප්‍රකාශ කරයි. ජී පී එස් තාක්ෂණය මගින් මොවුන් සිටින තැන සොයා ගැනීමට හැකි බව පවසන ධීවරයින්ගේ ඥාතීන් එසේ සොයා දෙන්නේ නම් ගිහින් රැගෙන ආ හැකි බවද ප්‍රකාශ කරයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ තොටගමුව හික්කඩුව ලිපිනයේ පදිංචි එන් එච් සුසිල් සෙනීක (45), සීනිගම හික්කඩුව ලිපිනයේ පදිංචි එස් එච් සමන්ත (51), දළුවතුමුල්ල තෙල්වත්ත ලිපිනයේ පදිංචි ඒ ජනිත අසංග කුමාර (27), වැරැල්ලාන හික්කඩුව ලිපිනයේ පදිංචි අසේල චමන්ත (39), වී රෝහණ (47), කේ එච් දමින්ද ප්‍රදීප් කුලරත්න සහ තොටගමුව හික්කඩුව ලිපිනයේ පදිංචි ආර් එච් කලිදු තිලංග චන්දන (26) යන හත්දෙනාය.

මොවුන් පිරිස ඈත මුහුදේදී වෙනත් බෝට්ටුවකටද හමු වී තිබෙන බවත් මොවුන්ගේ බෝට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත වි තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මුහුදේදී හමු වූ අනිත් බෝට්ටුව මෙම බොට්ටුවේ එන්ජිම අළුත්වැඩියා කිරීමටද උත්සාහ කර ඇති බවත් මීටියාගොඩ පොලීසිය කියයි. බොට්ටුව සොයා ගැනීම සදහා ඒ සදහා කටයුතු කරන සියළු ආයතන වලට දැනුම් දුන් බවද මීටියාගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අතුරුදන් ධීවරයින් සෙවීම සදහා මේ වන විට නාවුක හමුදාවෙන් යාත්‍රා දෙකක් යොදවා තිබෙන බව ධීවර අමාත්‍යාංශය කියයි. එයට අමතරව ඉන්දියාව හෙලිකොප්ටර් යානයක් යොදවා තිබෙන බවත් සිංගප්පූරුව සිය මුහුදු සීමාවේ සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙන බවත් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා සදහන් කළේය. අතුරුදන් ධීවරයින්ගේ ඥාතීන් සහ යාත්‍රාවේ හිමිකරු ධීවර අමාත්‍යාංශයට කැදවා සාකච්ඡාවක් පවත්වන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

2,564 Viewers

One Comment to “ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයන් 07ක් අතුරුදහන්.. දැනට දින 25යි..”

  1. Anuradha says:

    ආපෝ 7නෙ අප්පා. . මදි.. මදි….

Main News