ජනතා විමුක්ති පෙරමුණ මාව මරන්න ආවා.. මගේ ආරක්‍ෂකයෙක් මැරුවා..- ඇමතිනී සුමේදා..

May 17, 2017 at 5:30 pm | lanka C news
ජනතා විමුක්ති පෙරමුණ මාව මරන්න ආවා.. මගේ ආරක්‍ෂකයෙක් මැරුවා..- ඇමතිනී සුමේදා..

පළාත් පාලන ආයතන නියෝජනය කිරීම සඳහා කාන්තාවන්ට 25%ක ප්‍රතිශතයක් ලැබී තිබෙන නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සඳහා සුදුසු කාන්තාවන් තෝරාගැනීම සඳහා දැන් සිටම අවධානය යොමුකරන ලෙස සියලුම දේශපාලන පක්ෂවලින් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ඉල්ලීමක් කරයි.

පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය ගැන උනන්දුවක් දක්වන කාන්තාවන් සඳහා දැන් සිටම විශේෂ පුහුණු වැඩමුළු පැවැත්වීම වැදගත්වන බවත් ඒ සඳහා මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදය “කාන්තා බලගැන්වීමේ වැඩමුළු” දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.

සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා  පැවති මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තා බලගැන්වීමේ වැඩමුළුවට සහභාගී වෙමිණි. මොණරාගල පැවති මෙම වැඩමුළුව සංවිධානය කරන ලද්දේ සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය විසිණි.

“කාන්තා නියෝජනය පළාත් පාලන ආයතනවල, පළාත් සභාවල, පාර්ලිමේන්තුව තුළ වැඩි කළ යුතුයි කියමින් වසර ගණනාවක් තිස්සේ අපි කතා කළා. ඒ සඳහා බලපෑම් කළා. ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා25% ක කාන්තා නියෝජනයක් වෙන්කිරීමට ගත් තීරණය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ටත් සියලුම කාන්තාවන්වෙනුවෙන් මාගේ ප්‍රණාමය පුදකර සිටිනවා.

අපේ රටේ වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝනය 5.4% යි. සියලුම දේශපාලන පක්ෂ වෙනුවෙන් මුළු පාර්ලිමේන්තුවම නියෝජනය කරනු ලබන්නේ කාන්තාවන් 13 දෙනෙකු පමණයි. එය කෙතරම් අඩු සංඛ්‍යාවක්ද?  පළාත් සභා හා පළාත් පාලන ආයතනවල තත්වය ගත්තොත් ඊට වඩා අඩු තත්වයක් තමයි පවතින්නේ. මේ තත්වය වෙනස් විය යුතුයි.

ශ්‍රී ලංකාවේ එවැනි අඩු ප්‍රතිශතයක් පාර්ලිමේන්තුව නියෝජනය කළත් අනෙක් රටවල තත්වය ඊට වඩා වෙනස්. ශ්‍රී ලංකාවේ තමයි අඩුම කාන්තා පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ .

නෝර්වේ රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය 18යි. ඉන් 8 දෙනෙක්ම කාන්තාවන්. යුරෝපීය රටවල කාන්තාවන් සැළකියයුතු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ වගේම ප්‍රබල තනතුරු හොබවනවා. අප්‍රිකානු රටවලද තත්වය එයයි. විදේශ කටයුතු, අධිකරණ අමාත්‍යංශ වැනි භාරදූර අමාත්‍යධුර දරන්නෙත් කාන්තාවන්.

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බිහිවුනේ අපේ රටෙන්. ලෝකයෙ ප්‍රථම විධායක ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය බිහිවුණේ අපේ රටෙන්. ඒ නිසා කාන්තා නායකත්වය, කාන්තා නියෝජනය ගැන අපේ රටේ ඉතිහාසය තුළ ප්‍රබල උදාහරණ තිබෙනවා.

අපේ රටේ කාන්තාවන් රටේ ශ්‍රම දායකත්වයට පුරුෂ පක්ෂය සමග කරට කර සිටිනවා. ඇතැම් අංශවලින් පුරුෂ පක්ෂයට වඩා රටේ අභිවෘද්ධියට දායකත්වය ලබාදෙන්නේ කාන්තාවන්.

එම නිසා රටේ තීන්දු ගන්නා ආයතනවල ඒ අදාළ වගකීම් කාන්තාවන්ට දැරිය හැකියි. ඉතිහාසය තුළ අපේ රටේ කාන්තාවන් ඔවුන්ගේ සාර්ථකත්වය පෙන්වලා තියෙනවා.

අපේ රටේ සංස්කෘතිය අනුව කාන්තාවන්ට පවුල තුළ විශාල ගෞරවයක්, ආදරයක් හිමිවනවා. බිරිඳක් සහ මවක් ලෙස පවුල තුළ වගකීම් රැසක් කාන්තාවන් දරණවා.

ඒ අනුව පළාත් පාලන ආයතනවල පමණක් නොවෙයි, පලාත් සභාවලත් පාර්ලිමේන්තුව තුළත් සුවිශේෂි වගකීම් දැරීමේ හැකියාව අපේ රටේ කාන්තාවන් සතු වෙනවා. ඒ අනුව ඉදිරියේදී පළාත් පාලන ආයතන මෙන්ම පළාත් සභාවලත්, පාර්ලිමේන්තුව තුළත් කාන්තා නියෝජනය වැඩිකරගැනීම සඳහා අවධානය යොමු කළ යුතුයි.

කාන්තාවන් ඡන්දයකට ඉදිරිපත් වුණාම අපේ සමාජයතුළ කාන්තාවන්ට ප්‍රශ්න රැසකට මුහුණදෙන්න සිදුවෙනවා. චරිත ඝාතන, විවිධ කටකතාවලට ඔවුන් ලක්වෙනවා. මනාප ඡන්ද ක්‍රමය තුළ කාන්තාවන් අසරණ වෙනවා. කාන්තාවකට කාන්තාවක් ඡන්දය දෙන්න එතරම් උනන්දුවක් නැහැ. කාන්තා අපේක්ෂිකාවකට මැරබලය නැහැ. මුදල් විශාල වශයෙන් වියදම් කරන්න බැහැ. ඒක නිසා මේ තත්වය තේරුම් අරගෙන කාන්තාවන් ඡන්දය ඉල්ලන අවස්ථාවේදී එම කාන්තාවන්ට විශේෂ අවධානයක් යොමුකර සහයෝගය ලබාදීම අපි සියලු දෙනාගේම වගකීමක්.

ඒ වගේම මේ ගමන යන්න කාන්තාවන්ට දැඩි ආත්ම ශක්තියක් තිබිය යුතුයි. අපේ හැම කාන්තාවකටම ඒ ආත්ම ශක්තිය තිබෙනවා. 1989 දී මං දේශපාලනයට ආවේ මාගේ ස්වාමිපුරුෂයා වූ සුමේධ ජයසේන මැතිතුමාගේ හදිසි අභාවය නිසයි. මගේ සැමියා විශාල සමාජ සේවයක් කරපු මහා පුරුෂයෙක්. ඒ බව රටම දන්නවා.

මාගේ සැමියාගේ අභාවයෙන් පසුව මොණරාගල ජනතාව අමතක කරන්න එපා. ඒ ජනතාව වෙනුවෙන් 1989 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා මට බල කළේත් කාන්තාවක්. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. ඒ වගේම මහා සංඝරත්නයේ ආශිර්වාදයත් මට හිමිවුණා. ඒ අනුවයි මං දේශපාලනයට ආවේ.

1989 වසරේ සිට නොකඩවා අවුරුදු 28 ක් දැනට මං පාර්ලිමේනතුව නියෝජනය කරනවා. අමාත්‍යධුර කිහිපයක් දරලත් තියෙනවා. සැළකිය යුතු සේවාවක් මොණරාගල දිස්ත්‍රික්කයටත්, මේ රටටත් කරන්න මට පුළුවන් වුණා. යම් යම් අඩුපාඩු සිදුවෙන්න ඇති. නමුත් සාපේක්ෂව යම්කිසි වැඩකොටසක් ඉටුකළා.

මට පැමිණි අභියෝග සුළුපටු නැහැ.1989 දි එවකට පැවති භීෂණයෙන් මං  හොඳහැටි බැටකෑව. අත්අඩංගුවට ගෙන මරන්න හැදු මොණරාගල දිස්ත්‍රික්කයේ තරුණයින් 1000ක් පමණ මට නිදහස් කරගැනීමට හැකිවුණේ ඒ කඳවුරුවලට ගිහිල්ලලා ඉක්මනින් සොයාබලපු නිසයි. තරුණයින් බේරාගන්න මං කඳවුරු ගණනාවකට ගියා.

තරුණයින්ට මගේ නිවසේ රැකවරණය ලබාදුන්න නිසා මගේ ගෙදර ජනතා විමුක්ති පෙරමුණේ තිප්පොලක් කියළා දෙසැරයක් මගේ ගෙදරට බෝම්බ ගහලා විනාශ කළා. අපි කාටවත් හානියක් සිදුවුණේ නැහැ.

එක පැත්තකින් එහෙම බෝම්බ ගහනකොට ජනතා විමුක්ති පෙරමුණේ කියාගත්තු කණ්ඩායමක් ඇවිල්ලා මාව ඝාතනය කරන්න හැදුවා. ඒ වෙඩිතැබීමෙන් මාගේ ආරක්ෂක නිලධාරියෙක් මියගියා.

මගේ දරුවන්ගේ ඔලුවට පිස්තොල එල්ල කරලා බය කළා. ඒ මානසික පීඩනයෙන් මගේ දරුවන් අසනීප වුණා. සමහරුන්ගේ අධ්‍යාපන කටයුතු පවා අඩාල වුණා. මේ වගේ කෙතරම් බාධක ආවත් මේ හැමදේකටම ගැහැනියක් වශයෙන් මං මුහුණ දුන්නා. ඒ මට තිබුණු ශක්තිය මේ රටේ සෑම කාන්තාවකටම තිබෙනවා.” යනුවෙන්ද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තු කාන්තා සංසදයේ නියෝජ්‍ය සභාපතිනී නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය දොස්තර සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය තුසිතා විජේමාන්න, ශ්‍රී ලංකාවේ අමෙරිකානු ආධාර ආයතනයේ යහපාලනය හා අවදානමට ලක්වූ ජනතාව පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ ඩැනියෙල් රෙයිනෝ යන මහත්ම මහත්මීහු, මොණරාගල දිස්ත්‍රික්කයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන කාන්තාවෝ ඇතුළු  විශාල පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී වුහ.

ඇමරිකානු ආධාර ආයතනය (USAID), ප්‍රජාතාන්ත්‍රික පාලනය හා වගවීම ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (SDGAP)  යන ආයතන මගින් මෙම කාන්තා බලගැන්වීමේ වැඩමුළුව සඳහා අනුග්‍රහය දැකවූ අතර මෙය මෙහෙයවූයේ පාර්ලිමේනතු මන්ත්‍රිවරුන්ගේ සංසදය මගිනි.

– ප්‍රසාද් මංජු

8,935 Viewers

2 Comments to “ජනතා විමුක්ති පෙරමුණ මාව මරන්න ආවා.. මගේ ආරක්‍ෂකයෙක් මැරුවා..- ඇමතිනී සුමේදා..”

  1. බකලදාස says:

    “අත්අඩංගුවට ගෙන මරන්න හැදු මොණරාගල දිස්ත්‍රික්කයේ තරුණයින් 1000ක් පමණ මට නිදහස් කරගැනීමට හැකිවුණේ ඒ කඳවුරුවලට ගිහිල්ලලා ඉක්මනින් සොයාබලපු නිසයි.

    තරුණයින් බේරාගන්න මං කඳවුරු ගණනාවකට ගියා.”

    මොනවද මේ ඇන්ටි කියවන්නෙ?

    අපෙ බොස්ල ගස් අරින කතා නෙ මේ!

  2. බකලදාස says:

    “නෝර්වේ රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය 18යි.
    ඉන් 8 දෙනෙක්ම කාන්තාවන්.
    යුරෝපීය රටවල කාන්තාවන් සැළකියයුතු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.”

    අයියෝ! මොනවද මේ ඇන්ටි කියන්නේ?

    Norway cabinet එකේ 18 යි

    එච්චරටම නොදියුනුයි?

    🙂

Main News