ජනපතිගේ නම කියද්දී ජනතාව හූ කියති..[Video]

August 3, 2018 at 10:14 pm | lanka C news
ජනපතිගේ නම කියද්දී ජනතාව හූ කියති..[Video]

පරගැති, නරුම ආණ්ඩුව ගෙදර යැවීමේ අවසන් සටනට සැරසෙන ලෙසත් ඒ වෙනුවෙන් සැප්තැම්බර් පස්වැනිදා දිවයිනේ සතර දෙසින් ජනසුනාමියක් ලෙස කොළඹට කඩාවැදිය යුතුව ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති ජනබල සේනා විරෝධතා රැලිය අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘‘2015 ජනවාරි 8 වැනිදා තටමලා, තටමලා ජනාධිපතිවරයෙක් සොයාගත්තා. (ජනතාවගේ හූ හඬ) ඒ ජනවරම නිර්මාණය කිරීමට දායක වූ හැටදෙලක්ෂය තමයි අද වැඩියෙන්ම දුක් විඳින්නේ. පුංචි කාරෙක උඩ යනකොට ඒ ලක්ෂ‍ 62ට තමයි තට්ටු වෙන්නේ. බදු බර වැඩි වෙනකොට ඒ ලක්ෂ‍ 62ට තමයි වැඩියෙන් දැනෙන්නෙ. දිට්ඨධම්මවේදනීය කර්මය ඒ ලක්ෂ 62 පස්සේ විතරක් නෙවෙයි අනෙක් ලක්ෂ 58 පස්සේත් පන්නනවා. ඒ නිසා අද ලක්ෂ 62 – ලක්ෂ 58 කියා ගොඩවල් දෙකක් නැහැ. අද ඇත්තේ එක ගොඩයි. රට රැවටූ පරගැති ආණ්ඩුව පන්නන ගොඩ සහ ඒ ආණ්ඩුවේ සුරතලුන් ටික පමණයි අද මේ රටේ තියෙන්නේ. ටොයියන් සහ බයියන් එකතුවෙලා මේ මුස්පේන්තු ආණ්ඩුව පන්නා දමන තත්ත්වයක් අද උදාවී තිබෙනවා.

ජනාධිපතිගෙ නුවණැත්තෝ ටික

ජනාධිපතිවරයා කියනවා, ‘අප කළ වෙනස තේරෙන්නේ නුවණැත්තන්ට පමණයි‘ කියලා. (ජනතාවගේ හූ හඬ) මම ඉල්ලනවා මුද්‍රිත මාධ්‍යයන්හි මාධ්‍යවේදී සහෘදයන්ගෙන්, මම මේ කරුණු සඳහන් කරන විට ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරය කුමක්ද කියා සටහන් කරන ලෙස. එවිට පත්තර බලනකොට තමන්ට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය ජනාධිපතිවරයාට දකින්න ලැබේවි නේ. එයා කරන වෙනස තේරෙන්නේ එයාටයි, බ්‍රෝකර් අගමැතිටයි, කැබිනට් මණ්ඩලයට හා ගෝලබාලයන් ටිකට පමණයි කියලයි ජනාධිපතිවරයා හිතන්නේ. එයාලා හිතන්නේ එයාලා තමයි නුවණැත්තෝ කියලා. (ජනතාවගේ හූ හඬ) මෙයාලා කරන වෙනස අද මුළු රටම තේරුම් අරගෙන තිබෙනවා.

හම්බන්තොට වරාය විකුණූ ‘නුවණැත්තෝ‘

පසුගිය පාලන සමයේ හම්බන්තොට වරාය ඉදි කරනු ලැබුවේ එහි ආර්ථික උපායමාර්ගික වැදගත්කම සලකා බලලයි. චීනය තායිලන්තයෙන් ක්‍රා ඇල කැපුවාට පසු නිර්මාණය වූ නව සේද මාවත වැටී ඇත්තේ හම්බන්තොට වරාය හරහායි. ලෝකයේ විශාලතම වරායන් අතුරින් දහවන වැනි ස්ථානය හිමි වන්නේ ද හම්බන්තොට වරායටයි. එවැනි වරායක් තමයි මේ ජෝකර් සහ බ්‍රෝකර් එකතු වී විකුණා දැමුවේ. මේවා තමයි මේ ‘නුවණැත්තන්‘ කරන වෙනස්කම්. මහින්ද හදනවා, බ්‍රෝකර් අගමැති විකුණනවා, ජනාධිපති සිරිසේන කියවමින් රට වටේම යනවා.

මත්තල ඇත්ත කතාව

දැන් මත්තල ගුවන්තොටුපළත් විකුණා දමන්න හදනවා. මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමෙන් මහින්ද රාජපක්ෂ පාලනය ඉටුකළේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ශ්‍රී ලංකාවට ලබාදීම. එතෙක් ශ්‍රී ලංකාවට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් තිබුණේ නැහැ. ඒ සඳහා අපි භාවිතා කළේ ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළ. මත්තල ගුවන්තොටුපළ ලෝකයේ විශාලතම ගුවන්යානා ගොඩබැස්වීම සඳහා ප්‍රමාණවත් ගුවන්පථයකින් යුක්තයි. මත්තල ගුවන්තොට ඉදිකිරීමත් සමඟ අපේ ගුවන් ගමන් විශේෂඥයන් මේ හරහා ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ග හතක් නිර්මාණය කළා. ඒ ගුවන් ගමන් මාර්ග 7 ඔස්සේ මත්තල හරහා මාසෙකට දැන් ගුවන්ගමන් එකසියපනහක් සිදුවෙනවා. එම ගුවන්යානා මත්තලට ගොඩ බැස්සුවත් නැතත් ඒ එක ගුවන් ගමනකින් ශ්‍රී ලංකා ගුවන්තොටුපළ අධිකාරියට ඩොලර් 250ක මුදලක් ලැබෙනවා. හම්බන්තොට වරාය හදන්න ගත්තු ණය ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගෙවනවා වගේ මත්තල හදන්න ගත්තු ණය ගෙවන්නෙත් ශ්‍රී ලංකා ගුවන්ත‍ෙටුළ අධිකාරිය විසින්. ඒ අධිකාරි දෙකම ඒ ණය වාරික ගෙවන ගමන් ලාභ පෙන්වා තිබෙනවා. හම්බන්තොට වරාය හෝ මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම නිසා මහා භාණ්ඩාගාරයයට කිසිදු බරක් පැටවුණේ නැහැ. බොරු ණය බරක් ගැන කියමින් හම්බන්තොට වරාය චීනයට විකුණා දමා දැන් මත්තලත් ඉන්දියාවට විකුණා දමන්න හදනවා. ජාතිය සතු රටේ අනාගත ආර්ථික සංවර්ධනය හා බැඳුණු ජාතික සම්පත් තමයි මේ විදියට මේ ‘නුවණැත්තෝ‘ විකුණන් කන්නේ.

අර්ධ ඉන්දියානු කොලනියක්

ඉන්දියාවට දෙන්නේ මත්තල ගුවන්තොටුපළ පමණක් නොවෙයි, පලාලි ගුවන් තොටුපළ, කන්කසන්තුරේ වරායත් දෙන්න හදනවා. ඒ විතරක් නෙවෙයි ත්‍රිකුණාමල වරාය ඉන්දියානු – ජපන් – සිංගප්පූරු හවුල් සමාගමකට දෙන්න යනවා. සිංගප්පූරු කියලා එන්නේ ඇමෙරිකාව. ගාලු වරාය අසල තිබෙන නාවික හමුදා කදවුර හම්බන්තොට වරාය අසලට ගෙන යනවා, චීනාගේ ඔත්තු බලන්න. අර අගමැති කීවනේ චීන සබ්මැරීන් ගැන. ඒවා බලන්න වෙන්න ඇති යවන්නේ. නමුත් අවසානයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වගේම ගාලු වරායත් ඉන්දියාවට ලබා දේවි. ඒ වගේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් ඉන්දියාවට ලබා දෙන්නයි සූදානම. මේ විදියට ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන ටික වෙනත් රටකට දුන්නාම ශ්‍රී ලංකාවේ පාලන සුක්කානම කාගෙ අතට ද යන්නේ? මේ පාවා දෙන්නේ මේ රටේ ස්වෛරීභාවය. විකුණන් කන්නේ රටේ අනාගතය. මේ ආණ්ඩුව රට ගැන අබමල් රේණුවකවත් හැඟීමක් නැති ආණ්ඩුවක්.

ගතමනාව ලැබෙන හැටි

දැන් බලන්න මේ පරගැති ආණ්ඩුවට ආසියානු සංවර්ධන බැංකුව කියා තිබෙනවා, ‘කොටස් වෙළඳපොළෙන් 50%ක් විකුණපල්ලා‘ කියලා. රනිල් වික්‍රමසිංහ සහ කබීර් හෂීම් එකතු වෙලා දැන් කොටස් වෙළඳපො‍ළෙන් 75%ක් විකුණා දමන්න හදනවා. ආසියානු සංවර්ධන බැංකුව කී දෙයටත් එහා ගිහිල්ලා මේ අය මෙහෙම කරන්නේ ඒ 25% විකුණුවාම තමන්ට ගතමනාව ලැබෙන නිසයි. රටේ අනාගතය විකුණලා මේ අය තමන්ගේ සාක්කු පුරවාගන්න කොට රට ඉන්දියාවේ අර්ධ කොලනියක් බවට පත්වෙනවා.

‘ණය‘ බරක් වුණේ විකුණුම්පතියාටයි

සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය ආණ්ඩුව ගත් ණය, බරක් වී ඇත්තේ මේ විකුණුම්පති වික්‍රමසිංහ අගමැතිවරයාටයි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, දකුණු අධිවේගී මාර්ගය, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ යන මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය වූයේ රුපියල් බිලියන හාරසිය හැටයි. පසුගිය අවුරුදු තුන තුළ රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් වැඩි වූ රටේ ණය බර රුපියල් බිලියන අටසිය විසි එකයි. ඒ නිසා මේ රට ණය උගුලක හිර කළේ මේ වැඩබැරි හිඟන ආණ්ඩුවයි.

ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීම

පළාත් පාලන මැතිවරණය ලබා දුන්නේ වසර තුනක් තිස්සේ කල් දමලයි. දැන් පළාත් සභා මැතිවරණ කල් දමමින් යනවා. පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරන කොට ආණ්ඩුවේ රක්ත වර්ණ ආරක්ෂකයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක රතු අලි පැටියා පොරොන්දුවක් දුන්නා, ‘අපි 2008 අප්‍රේල් මාසයට කලින් පළාත් සභා මැතිවරණය අරන් දෙනවා‘ කියලා. දැන් 2018 අගෝස්තු ලැබුවා. ඒත් රතු අලි පැටියාගේ සහතිකයට වෙච්ච දෙයක් නැහැ.

ෆීල්ඩ් මාර්ෂල්ගේ බොඩිගාඩ්ලා

දන් මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම්, තර්ජනය කිරීම් ඉතාමත් බරපතළ ලෙස සිදු වෙනවා. නෙත් එෆ්එම් ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ඇතුළු මාධ්‍යවේදීන්ට සරත් ෆොන්සේකා ඇමතිවරයා තර්ජනය කොට තිබෙනවා. පසුගියදා මේ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා, ‘මගේ ළඟ ඉන්නේ සත්ගුණවත් ආරක්ෂකයන් කියලා. නෙත් එෆ්එම් හෙළි කළා ෆොන්සේකා ඇමතිවරයා ළග ඉන්න බොඩිගාඩ්ලා කුඩු ජාවාරමට සම්බන්ධ බව. පසුගියදා සරත් ෆොන්සේකාගේ බොඩිගාඩ් කෙනෙක් වන පොලිස් හෙවත් අත්තනායකගේ ගෙදරින් මත්ද්‍රව්‍ය රැසක් හමු වුණා. අද මේ රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය 63%කින් වැඩිවී තිබෙනවා. මේ ආකාරයට රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන්ගේ අනුග්‍රහයය ලැබෙන නිසයි. මේ රටේ පවුල් පනස්ලක්ෂයක් ඉන්නවා. ඒ වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ලක්ෂයක් ඉන්නවා. ඒ අනුව පේනවා දළ වශයෙන් මේ රටේ පවුල් 50ක් ගත්තොත් එක් පවුලක කුඩුවලට ඇබ්බැහි වූවකු සිටින බව. අපේ පාලන සමයේ ලන්සා ඇමතිතුමාට, දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට, ‘ලංකාව කුඩුවලින් පුරවනවා‘ කියලා එදා විපක්ෂයේ සිටි මේ අය චෝදනා කළා. නමුත් අද ලන්සා ඇමතිතුමා ඉන්නේ විපක්ෂයේ. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා හිරේ.

අද විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය නම නොකියා ‘ආණ්ඩුවේ දේශපාලනඥයෙක් නිසා යාපනයේ තරුණයන් අතර සීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය පැතිර යනවා‘ කියා චෝදනා නගා තිබෙනවා. මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වෙන තරමට මේ පරගැති ආණ්ඩුවට හොඳයි. එවිට ලක්මාතාවගේ ගෙළ සිර කිරීම පහසුයි. එපමණක් නො‍වෙයි, දැන් ලංකාවේ ගණිකාවන් හැත්තෑ දෙදහසකට අධික පිරිසක් ඉන්නා බව කියවෙනවා. ඒ අනුව ලංකාවේ පවුල් හැත්තෑපහකට ගණිකාවක් ඉන්නා තරමට මේ රට පහතට ඇද දමලා තිබෙනවා. අද පවුල් සංස්ථාව රැක ගැනීම දුෂ්කර වී තිබෙනවා. සමස්ත ජන සමාජය සෝදාපාලුවට ලක්වෙමින් තිබෙනවා. සිංගප්පූරු වෙළඳ ගිවිසුම මගින් දේශීය නිෂ්පාදකයා පත්වන අපහසුව, රටේ ආර්ථිකය කඩාවැටෙන අන්දම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා සහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම්තුමා පෙන්වා දුන්නා. මෙන්න මේ ‘නුවණැත්තන්ගේ‘ වැඩ. මේ ජෝකර්ගේ සහ බ්‍රෝකර්ගේ ආණ්ඩුව බිලිගනිමින් තිබෙන්නේ අපේ ආදරණීය දූ පුතුන්ගේ අනාගතයයි.

ලංකා බැංකුවත් සුද්ධයි

මේ පරගැති, හොර ආණ්ඩුව මහ බැංකුව කොල්ලකාපු ආකාරය මේ රටේ පොඩි දරුවකු පවා දැන් දන්නවා. ඒ වගේම දැන් ලංකා බැංකුවටත් වැඩේ දෙන්න යනවා. ඒ කිසිදු ඇපකරයකින් තොරව මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ ගජ මිතුරෙකු වන ජෙහාන් අමරතුංගට රුපියල් බිලියන 10ක (කෝටි 1000ක) මුදලක් ණයට දීමෙන්. මේ ජෙහාන් අමරතුංග කියන්නේ ලංකා බැංකුවට එජාපයෙන් පත් කළ අධ්‍යක්ෂවරයෙක්. බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට මේ විදියට ණය දෙන්නෙ කොහොමද? එවිට බැඳියාවන් අතර ගැටුමක් සිදුවන්නේ නැද්ද?

පිට්ටනිය දිනන්නට හැකි විදියට හදා ගැනීම

ඒ විතරක් නොවෙයි, විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා හෝ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරගෙන හදපු බෙදුම්වාදී ව්‍යවස්ථා කෙටුම්පත මගින් හෝ දැන් බලනවා උතුරේ සම්බන්ධන්ලාට දුන් පොරොන්දු ඉටු කර දෙන්න. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමන් නම් කරන අපේක්ෂකයාට ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට තිබෙන ඉඩකඩ අහිමි කිරීමට. පාර්ලිමේන්තුවේ සිදුකරන ව්‍යවස්ථා සංශෝධන මගින් මේ අය, පිට්ටනිය තමන්ට ඉදිරි තීරණාත්මක මැතිවරණයේදී දිනන්න හැකි අන්දමට හදා ගන්නයි යන්නේ.

තුනෙන් දෙක අහිමි කිරීම

මේ මොහොතේ දී ආණ්ඩුවට තිබෙන තුනෙන් දෙකේ බලය අහිමි කිරීම ඉතා වැදගත්. ඒ සඳහා අපට අවශ්‍ය තවත් මන්ත්‍රී ධුර පහක් හයක් පමණයි. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේ දී ඊට පක්ෂව ඡන්දය දීලා ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කළ ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 දෙනාට අපි ස්තුතිවන්ත විය යුතුයි. තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට තිබෙනවා නම් ඔවුන්ගේ ඉහත කී මර්දනකාරී ක්‍රියාදාමය ක්‍රියාවට නැගෙනවා. ඒ නිසයි අපි මේ 16 දෙනා ආදරෙන් පිළිගත්තේ. හැඟීම්වලට වහල් වෙලා නොවෙයි අපි දේශපාලන තීන්දු තීරණ ගත යුත්තේ.

ජාතික ආරක්ෂාව බිලිදීම

රණවිරුවන් දඩයම් කිරීම්ට නීති සම්මත කරමින් මේ ආණ්ඩුව අපේ ආරක්ෂක හමුදා දුර්වල කොට දුර්මුඛ කරන්න උත්සාහ ගන්නවා. හමුදාවේ මිනිස් බලය 25% කින් කප්පාදු කරලා උතුරේ කඳවුරු සියයක් ඉවත් කරලා මේ සිදුකරන්නේ එයයි. බෙදුම්වාදීන්ට සහ බටහිර බලවතුන්ට උවමනා පරිදි රටේ ජාතික ආරක්ෂාව බිලිදීමට ඉඩදී නිහඬව සිටීමට අපි කාටවත් අයිතියක් නැහැ.

ආණ්ඩුවේ නරුම ගමන නැවැත්වීම

මේ ආණ්ඩුවේ නරුම ගමන නැවැත්වීමට එකම ආකාරයයි ඇත්තේ. ඒ තමයි ජන බලය පාරට ගෙනැවිත් කඳවුරු බැඳ ගැනීම. එවිට තමයි පාර්ලිමේන්තුවේ පුටු රත් වෙන්න පටන් ගන්නේ, තුනෙන් දෙක අහිමි වෙලා ආණ්ඩුවට සරල බහුතරයක් නැති වෙන්නේ. මහ පාරේ සටනයි පාර්ලිමේන්තුවේ සටනයි දෙකම එකට සමාන්තරව ප්‍රහාරාත්මකව ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සටනට නායකත්වය දෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිරේ දමන්නයි මේ ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ. අපි කියනවා මේ සිරිසේන – වික්‍රමසිංහ කියන එක වල්ලේ ගෙඩි දෙකට, ‘එක අධිකරණයක් නොවෙයි අධිකරණ දාහක් දැම්මත් අපි මේ සටන අතහරින්නේ නැහැ‘ කියා.

සුනාමියක් සේ සැප්තැම්බර් පස් වැනිදා කොළඹට කඩා වදිමු!

අපේ සභ්‍යත්වය, සංස්කෘතිය, ඉපැරණි උරුමයන් වනසන මේ ආණ්ඩුවට තවදුරටත් මේ රටේ කිසිදු ඉඩක් නොදිය යුතු යි. මේ විකුණුම්පති අගමැතිවරයා දැන් සීගිරියත් ඉන්දියාවට දෙන්නයි සූදානම් වෙන්නේ. මේ නරුම ගමනට තිත තියමු. සැප්තැම්බර් 5 වැනිදා යන්න බලාගෙන නොවෙයි මේ පරගැති ආණ්ඩුව ගෙදර යවන තුරු ඉන්න බලාගෙන කොළඹට සුනාමියක් සේ කඩා වදිමු! ඒ ජාතිය නිදහස් කර ගැනීමේ අවසන් සටන්ට සැරසෙමු!

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

41,544 Viewers

4 Comments to “ජනපතිගේ නම කියද්දී ජනතාව හූ කියති..[Video]”

  1. Kito says:

    Hoooooooo

  2. Madusha says:

    wimal nakathiya

  3. Dasa Nayaka says:

    “දිට්ඨධම්මවේදනීය කර්මය ඒ ලක්ෂ 62 පස්සේ විතරක් නෙවෙයි අනෙක් ලක්ෂ 58 පස්සේත් පන්නනවා”
    What is this new “දිට්ඨධම්මවේදනීය කර්මය”Wimal knows more than The Buddha

Leave a Comment

Main News