ජනවරම ඇත්තේ කාටදැයි පෙබරවාරි 10 ලෝකෙටම පෙන්වනවා..

January 12, 2018 at 12:40 pm | lanka C news
ජනවරම ඇත්තේ කාටදැයි පෙබරවාරි 10 ලෝකෙටම පෙන්වනවා..

‘සංවර්ධනය රටේ සෑම තැනකටම බෙදී යන පරිදි යහපාලන රජය කටයුතු කරනවා’ යයි සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි

ඔහු මෙම අදහස් පල කලේ ගනේමුල්ල දුම්රිය ස්ථානය අසල ඉදිකල ගුවන් පාලම ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය මඟින් 2016-04-19 දින උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් සුරතින් ගනේමුල්ල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල් ගල තබන ලදි. මීටර 300 ක දිගින් යුතු පිවිසුම් මාර්ගයත් සමඟ ගනේමුල්ල ගුවන් පාලමේ සම්පූර්ණ දිග මීටර 504 කි. මංතීරු 02 ක් සහිතව ඉදිකරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,768.21 වැය වී ඇත.

එහිදී තවදුරටත් අදහස් පලකල අමාත්‍යවරයා,

‘සංවර්ධනය රටේ සෑම තැනකටම බෙදී යන පරිදි යහපාලන රජය කටයුතු කරනවා. එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ මේ රටේ ජන වරම තියෙන්නේ කාටද කියලා අපිට බලාගන්න පුළුවන්. අපි ගහගන්න, බැනගන්න අවශ්‍ය නැහැ. පෙබරවාරි 10 වෙනිදට ජනතාවට අවස්ථාව තියෙනවා ජනවරම තියෙන්නේ කාටද කියලා මුළු රටටත්, ලෝකයටත් පෙන්නන්න.

මේ වන විටත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතිනවා.2020 පාර්ලිමේන්තු මැතිවරණයට කලින් මේ මාර්ගයේ ඉදිකිරීම් අවසන් කරන්නට රජය බලාපොරොත්තු වෙනවා.

දකුණ වගේම උතුරු පළාතත් සංවර්ධනය කරන්න ඉන්දියානු රජයෙන් විශාල සහයෝගයක් අපට ලැබෙනවා. තිස් වසරක යුද්ධය නිසා එ් පලාත්වල මාර්ග විශාල ප‍්‍රමාණයක් විනාශ වුනා. ඒ නිසා දකුණ සංවර්ධනය කරනවා වගේම උතුරත් සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හම්බන්තොට ප‍්‍රදේශයේ ඉදිරි වසර තුන ඇතුලත කර්මාන්ත ශාලා රාශියක් චීන ආධාර සහිතව ඇති කරන්න රජය බලාපොරොත්තු වෙනවා.

ඉන්දියානු රජය සහ ජපානය එකතු වෙලා ත‍්‍රිකුණාමළය ප‍්‍රදේශයේ වරාය අවට කර්මාන්ත ශාලා ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. එ් වගේම ජපන් ආධර යටතේ මහනුවර ගලගෙදර ප‍්‍රදේශයේ නිදහස් වෙළඳ කලාපයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. එ් නිසා කර්මාන්ත සංවර්ධනය වෙන්න නම් මහා මාර්ග සංවර්ධනය වෙන්න ඕනේ.

මාධ්‍ය එ්කකය
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය

7,733 Viewers

One Comment to “ජනවරම ඇත්තේ කාටදැයි පෙබරවාරි 10 ලෝකෙටම පෙන්වනවා..”

  1. Lapaya says:

    මුගේ දැන් රලි වැටිල නිසා හිතන් ඉන්නෙ ලෝකටම පෙන්නන්න වගේ චන්දෙන් පස්සෙ.

Main News