ජනාධිපති කියන දේවලුත් කරන දේවලුත් අතර කිසිම සම්බන්ධයක් නෑ.. UN ගිය ශ්‍රී ලාංකා නියෝජිතයෙකුට රුපියල් ලක්ෂ 35ක් ආණ්ඩුවෙන් වියදම්..

September 28, 2018 at 1:40 am | lanka C news
ජනාධිපති කියන දේවලුත් කරන දේවලුත් අතර කිසිම සම්බන්ධයක් නෑ.. UN ගිය ශ්‍රී ලාංකා නියෝජිතයෙකුට රුපියල් ලක්ෂ 35ක් ආණ්ඩුවෙන් වියදම්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සභාවාරයට ස්වේච්ඡාවෙන් සහභාගී වී රට වෙනුවෙන් හඩ නැගූ දේශප්‍රේමීන් අතරින් පලමුවෙන්ම ලංකාවට පැමිණි කන්ඩායමවූ ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ප්‍රතිබා මහනාමහේවා, වෘතියවේදී මදුශාන් හරීන්ද්‍ර හා වෘතියවේදී අරුණ වරුසහෙන්නදිගේ අද උදැසන 7ට පමන ගුවන්තොටපොල අසලදී හරසරින් පිලිගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියා. මේ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම ජාතික කොඩිය අතින් දරාගත් මුස්ලිම් හා දෙමළ ජනතාවද සිටීම විශේෂත්වයක් වුනා.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා මුලින්ම කලේ මෙවර සැසිවාරයට විවිධ සංවිධාන නියෝජනය කරමින් සහභාගී වූ දේශප්‍රේමීන් සියලු දෙනාටම ස්තූති කිරීමයි. ඒ අතර අද්මිරාල් සරත් වීරසේකර හා මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමනව විශේෂයෙන්ම සඳහන් කරනු ලැබුවා.

” අපි දුටුවා දින දෙකකට පෙර ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය අමතමින් කතා කරනවා. ඒ කතාවේ අන්තර්ගතය අපිත් අගය කරණවා. නමුත් අපිට ප්‍රශ්ණයක් තිබෙනවා එතුමා කියන් දේවලුත් එතුමාගේ රජය කරන දේවලුත් අතර කිසිම සම්බන්ධයක් නැත්තේ ඇයි කියා.

උදාහරණයක් ලෙස එතුම කීවා සියලු ජනතාවගේ මානව හිමිකම් රකිමින් රට බේරාගත් අපේ වීර හමුදාවන්ට එතූමා ස්තූතිය පුද කරනවා කියා. නමුත් මීට වසර තුනකට පෙර එතුමාගේම රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අපේ හමුදාවන් යුද අපරාධ කලායැයි කියවෙන වාර්තාවක් කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව පිලිගෙන මහා පවාදීමක් කලා.

එතුම දැන් ඉල්ලා සිටිනවා අන්තර් ජාතික ප්‍රජාවගෙන් අපි ස්වයිරී රටක් නිසා අපේ ප්‍රශ්ණ අපිට විසදාගන්නා කියා. නමුත් මීට වසර තුනකට පෙර එතුමාගේ රජය එක්සත් ජාතීන්ගේ මානවම හිමිකම් කවුන්සිලයට ඇමෙරිකාව විසින් ඉදිරිපත් කල ජිනීවා 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දී විදේශ රටවලට අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගසන්නට දොර විවෘත කර දුන්නා.

එතුමා කියනවා අද අපේ රටේ මානව හිමිකම් ඉහලින්ම රැකෙනවා කියලා. නමුත් අපිදුටුවා පසුගිය සති දෙක තුල ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයෙ 39 වන සැසිවාරයට පැමිනි ඊලාම්වාදීන් ලංකාවේ මානව හිමිකම් කඩ වීම් ගැන අමුලික බොරුකියද්දී එතුමාගේ රජයේ නියෝජිතයින් වචනයකින්වත් එවාට විරුද්ද වෙන්නේ නැතුවා පමනක් නොවේ කොටි ත්‍රස්තවාදීන්ට එදා මුදල් සැපයූවන්ට භෝජන සංග්‍රහත් පවත්වනවා.

ඉතින් අපිට තියන ගැටලුව තමයි මේ කියන කතා වලින් රටට ඇති වැඩේ මොකද්ද කියන එකයි.

එක අතකට අපිට සංතෝසයි වසර දෙකක් පුරා තමුන්ගේ වියදමින් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් අපේ රණවිරුවන් වෙනුවෙන් හඩ නගපු දේශප්‍රේමීන් දිගින් දිගටම කියපු දේ ජනාධිපති තුමා ප්‍රමාද වී හෝ වටහා ගෙන තිබීම ගැන.

නමුත් අද රට පාලනය කරනා බව පෙනෙන්නේ එතුමා නොව එතුමාගේ හවුල්කාර පාර්ශවය බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන නිසා දැන්වත් එතුමාට වගකීමක් තිබෙනවා මේ අදහස් කතාවට සීමා නොකර ක්‍රියාවට නංවන්නට.

එක්සත් ජාතීන්ගේ සංවිදානය තුල ඉතා සංකිර්ණ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ යාන්ත්‍රණය තේරුම් ගන්නේ නැතුව නිකම් කතා පැවැත්වීමෙන් කාටවත් කිසිවක් ඉටු කරගන්නට බැහැ. 2015 ජීනීවා 30/1 යෝජනාව දැනටමත් ක්‍රියාත්මකයි. එයට එරෙහි වන්නට අපිට ආයිත් අවස්ථාවක් ලැබෙන්නේ 2019 මාර්තු මාසයේයි. ජනාධිපති තුමා දැන් යහපාලන ආන්ඩුවේ ජාතිය පාවාදීමේ පිලිවෙතට වෙනස් ස්තාවරක් දරණවා නම් එතුමා කල යුත්තේ අපි මෙවර ඉතා පැහැදිලිව ජිනීවා වල කී දෙයයි. එනම් එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන රටවල් 47 සමග සාකචචා කොට ඔවුන්ගේ බහුතරයකගේ සහායෙන් ලබන මාර්තුවල පැවැත්වෙන 40 වන සැසිවාරයට ප්‍රති යෝජනාවක් ගෙන ඒමයි. ඒ සදහා ඔය කියන රටවල් 47 සිටින අපේ තානාපතුවරුන් හරහා දැනම ඒ ඒ රටවල් දැනුවත් කිරීම ආරම්බ කල යුතුයි.

ජනධිපතුමාට නිසි උපදෙශකයින් සිටිනවා නම් මිලගට සිදු විය යුත්තේ එයයි. නැත්නම් අපට කියන්නට වන්නෙ මෙය තවත් මාධ්‍ය සංදර්ශනය පමනක්ය කියායි”

ඉහත කරුණු අනුමත කරමින් කතාකල ආචාර්ය ප්‍රතිබා මහනාමහේවා මහතා පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ලංකාවට එරෙහිව අන්තවාදී දෙමල ඩයස්පෝරානියෝජිතයින් දිගින් දිගටම අසත්‍ය චෝදනා එල්ල කරද්දී ඒවාට පිලිතුරු දීමට ලංකා රජයේ නියෝජිතයින් ඉදිරිපත් නොවන බවයි. නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල රැස්වීමේ සිරිසේන ජනාධිපතිවරයා කල කතාව අසන්නට විශාල මුදලක් වැයකරමින් විශාල පිරිසක් යනවාට වඩා අවශ්‍යව තිබුනේ ඉන් කොටසක් හෝ ජිනීවා නුවරට ගොස් කොටි ඩයස්පෝරාවේ බොරු චෝදනාවලට පිලිතුරු දීම බව ඔහුගේ අදහස විය.

පොදු ජන පෙරමුණේ නවක සංවිධායකයෙකු වන වෘතියවේදී මදුශාන් හරීන්ද්‍ර පෙන්වා දුන්නේ නිව්යෝක් යන එක ශ්‍රී ලාංකීය නියෝජිතයෙකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 35ක් පමන වැයකරන බවයි. කුමන බාධක ආවත් තමන්ට වැදගත් වන්නේ පලමුවත්, දෙවනුවත් , තෙවනුවත් මවුබිම පමනක් බව ඔහු පවසා සිටියා.

– චාමින්ද කරුණාරත්න

2,602 Viewers
Main News