ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට උතුරේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මුලතිව්හි දැවන්ත විරෝධතාවක…

December 11, 2018 at 2:08 am | lanka C news
ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට උතුරේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මුලතිව්හි දැවන්ත විරෝධතාවක…

දෙසැම්බර් 10 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් උතුරේ අතුරුදහන්වූළුන්ගේ ඥාතීහු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අතුරුදහන්වූවන්ට විසඳුම්ඉල්ලා  (10) මුලතිව්හි දැවන්ත විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

2017 මාර්තු මස උතුරේ ස්ථාන කිහිපයක යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන්ට පිළිගත හැකි වසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයනට අද වන විට දින 643ක් ගත වී ඇතත් මේ දක්වා පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම විරෝධතා පා ගමන අතුරුදහන් වූවන්ගේ ඥාතීහු විසින් ආරම්භ කොට තිබුණි.

මුලතිව් දේවාල මන්සන්ධියේ සිට මුලතිව් දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලය ඉදිරිපටට විරෝධතා පා ගමනින් පැමිණි විරෝධතා කරුවන් විසින් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති අතුරුදහන් වූවන් සේවීම පිළිබඳවූ කාර්යාල දොරටුව ඉදිරිපිට හිඳ ගනිමින් මෙම විරෝධතාවය සිදු කරනු ලැබීය.

වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, යාපනය හා මුලතිව් දිස්ත්‍රීක්කයේ යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීහු විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටියහ.

විරෝධතාවයට එක් වූවන් කියා සිටියේ ,

‘ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී උතුරේ වැසියන් වශයෙන් මානව හිමිකම් වැඩිම ප්‍රමාණයක් උල්ලංඝනය වී ඇත්තේ යුද්දයෙන් අතුරුදහන් වූවන්ට බැවින් මේ පිළිබඳව ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට හෝ ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවටත් යුද්දය අවසන් වී වසර 9 ක් ගතවී ඇතත් යුද්දයෙන් අතුරුදහන් වූළුන් වෙනුවෙන් රජය පිළිගත හැකි විසඳුමක් මෙතෙක් නොදීම හේතුවෙන් මේ සමබන්ධයෙන් ජාත්‍යන්තරය හෝ මැදිහත් වී විසඳුමක් ලබා දීමට පියවර ගන්නා ලෙසට විරෝධතා කරුවන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.

විරෝධතාව අවසානයේදී මුලතිව්හිදී පිහිටුවා ඇති අතුරුදහන් වූවන්ගේ කාර්යාල නියෝතයින් හට විරෝධතා කරුවන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශයක්ද භාර දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

883 Viewers
Main News