ඩීසල්වලට භූමිතෙල් කවලම් කරයි.. බස්-ලොරිවලට ඩීසල් වෙනුවට භූමිතෙල්.. විශාල කර්මාන්ත ශාලාවලටත් භූමිතෙල්.. රට පුරා භූමිතෙල් අවභාතිවය ඉහල යයි…

March 22, 2018 at 5:30 pm | lanka C news
ඩීසල්වලට භූමිතෙල් කවලම් කරයි.. බස්-ලොරිවලට ඩීසල් වෙනුවට භූමිතෙල්.. විශාල කර්මාන්ත ශාලාවලටත් භූමිතෙල්.. රට පුරා භූමිතෙල් අවභාතිවය ඉහල යයි…

සාමාන්‍ය ජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන මහතා උපදෙස් දී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එහි එක් පියවරක් ලෙස, මින් මතුවට, භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය වහාම අහෝසි කරන බවද, ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් හා එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ සංදේශයට කැබිනට් මණ්ඩල‍‍යේ අනුමැතිය හිමි වූ බවද අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

එම අනුමැතියට අනුව කිසියම් ඉන්ධන පිරවුම්හල් හිමියෙක් නීති විරෝධී ලෙස ඉන්ධන මිශ්‍ර කිරීම හෝ භූමිතෙල් සම්බන්ධ වෙනත් නීති විරෝධී කටයුත්තක් සඳහා සහාය දැක්වීමක් සිදු කොට අනාවරණය වුවහොත් ඔහුගේ පිරවුම්හල් බලපත්‍රය ‍අහෝසි කිරීම සිදු කෙරෙන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මේ බව පැවසුවේ ඉන්ධන අවභාවිතය වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියා මාර්ග සහ නව නීති ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

මේ වන විට ලංකා භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් ලෙස භූමිතෙල් වර්ග දෙකක් වෙළඳ පොළේ විකිණීමට ඇත. මෙයින් කාර්මික භූමිතෙල් යනු මහා පරිමාණ කර්මාන්ත ශාලා සහ මහා පරිමාණ ව්‍යාපාර ඉලක්ක කළ භූමිතෙල් වේ. එය අවර්ණය. එහි එක් ලීටරයක මිල රුපියල් 88කට අලෙවි කෙරේ. අඩුආදායම් ලාභී ජනතාව, ගොවි ජනතාව, ධීවර ප්‍රජාව, සුළු කර්මාන්ත ශාලා සහ සාමාන්‍ය ජනතාව ඉලක්ක කර අලෙවි කරනුයේ ලංකා භූමිතෙල්ය. එම භූමිතෙල් රතු පැහැයෙන් යුක්ත වේ. එහි ලීටරයක මිල රුපියල් 44කි. ශ්‍රී ලංකාවාසී ජනතාවට ආර්ථික සහනයක් ලබා දීමේ අරමුණ ඇතිව එකී ලංකා භූමිතෙල් වර්තමානයේ අලෙවි කරනුයේ එක් ලීටරයකින් රුපියල් 48. 63ක පාඩුවක් ලබමිනි.

සාමාන්‍යයෙන් රටේ සංවර්ධනයට සාපේක්ෂව භූමිතෙල් භාවිතයේ ප්‍රමාණය අඩුවිය යුතුවි යුතු බව පිළිගත් කරුණකි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල භූමිතෙල් වැඩි වශයෙන් භාවිත කරන්නේ නිවාස ආලෝක කිරීමට වේ. නමුත් මේ වන විට බොහෝ දුරට ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිය සපයා ඇති බැවින් ග්‍රාමීය ජනතාවගේ භූමිතෙල් පරිභෝජනය අද වන විට පහත වැටී තිබේ.

කෙසේනමුත් පසුගිය කාලයේ අනපේක්ෂිත ලෙස භූමිතෙල් පරිභෝජනය ඉහළ ගොස් ඇතැයි දැන් අනාවරණ වී ඇත. ‍2014 වර්ෂයේදී ලංකා භූමිතෙල් සමස්ත අලෙවිය කිලෝ ලීටර් 1, 38, 505 කි. 2017 වර්ෂයේදී එය කිලෝ ලීටර් 1, 98, 090 දක්වා ඉහළ ගොස් ඇත. 2018 ජනවාරි සිට පෙබරවාරි 28 වැනිදා දක්වා කාලය තුළ ලංකා භූමිතෙල් කිලෝ ලීටර් 44, 137. 5ක් අලෙවි වී තිබේ.

මේ වැඩි වීමට හේතු ලෙස, ඩීසල්වලට භූමිතෙල් කවලම් කර විකිණීම, බස්රථවලට සහ බවුසර් රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් මහා පරිමාණයෙන් යෙදවීම, මහා පරිමාණ කර්මාන්ත ශාලාවල භාවිතයට කාර්මික භූමිතෙල් වෙනුවෙට ලංකා භූමිතෙල් භාවිත කිරීම හඳුනා ගෙන තිබේ. එය ඍජු ලෙසම මහජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කිරීමකි. එම තත්ත්වය මත 2017 වර්ෂයේදී පමණක් ලංකා භූමිතෙල් අලෙවියෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වූ පාඩුව රුපියල් මිලියන 5,460ක් වේ.

2018 වසරේ ජනවාරි – පෙබරවාරී 28 දක්වා කාලයේදී වුණු පාඩුව රුපියල් මිලියන 2,146කි. ඒ අනුව භූමිතෙල් සහනාධාරය අවභාවිත කිරීම නතර කිරීම සඳහා ඉක්මන් පියවර ගැනීමේ අවශ්‍යාතාව අතිගරු ජනාධිපතිතුමාද පෙන්වා දී ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

අවධාරණය කළේ අතිගරු ජනාධිපතිතුමාගේද ආශිර්වාදය ඇතිව ඒ සඳහා නව නීති සකස් කිරීමට හැකි වූ බවයි. ඉන්ධන අවභාවිතය වැළැක්වීමට මේ වන විට අමාත්‍යාශයේත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේත් C P S T L ආයතනයේත් ඒකාබද්ධ වැටලීම් වැඩි කර ඇතැයිද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

අද පැවැති මාධ්‍ය සාකච්ඡාවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග, එම සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ නීල් ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

– තමීර මංජු

9,841 Viewers

One Comment to “ඩීසල්වලට භූමිතෙල් කවලම් කරයි.. බස්-ලොරිවලට ඩීසල් වෙනුවට භූමිතෙල්.. විශාල කර්මාන්ත ශාලාවලටත් භූමිතෙල්.. රට පුරා භූමිතෙල් අවභාතිවය ඉහල යයි…”

  1. නවින් says:

    අතීතයේ යාපනය දිස්ත්‍රික්කයේ මෙන්ම අනෙකුත් පළාත්වලද භූමිතෙල් යොදා වාහන ධාවනය කල බව අසා තිබෙනවා .
    පැරණි මෝටර් රථයකට පෙට්රෝල් සමග බුමිතෙල් කලවම් කලයුතු අනුපාතය මොකද්ද
    බුමිතෙල් ගඳ එම වලක්වන්න ක්‍රමයක් තියෙනවද ?
    කාර්මික බුමිතෙල් වල දහනය වැඩිද ?
    පෙට්‍රල් එන්ජිම බුමිතෙල් බාවිතය නිසා වන හානිය අවම කරගන්නේ කෙසේද ?
    දන්නා කෙනෙක් සහය දෙන්න

Main News