ඩෙංගු පරිශ‍්‍ර 22,928ක්.. 956කට නොතීසි.. 56කට නඩු…

September 29, 2016 at 2:08 am | lanka C news
ඩෙංගු පරිශ‍්‍ර 22,928ක්.. 956කට නොතීසි.. 56කට නඩු…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ජාතික මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.

ඒ අනුව සැප්තැම්බර් මස 27 දා සිට ඔක්තෝබර් මස 03 දින දක්වා දීප ව්‍යාප්තව ක‍්‍රීයාත්මක කෙරෙන ජාතික මදුරු මර්දන සතිය සමාරම්භක අවස්ථා දෙකක් යටතේ කොළඹ දී සහ යාපනයේ දී ආරම්භ විය. ඒ සදහා ජනාධිපති කාර්ය සාධන බලකායේ ද සහයෝගය  ලැබී ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 346 ක් වැඩි අවදානම්, අවදානම් සහ අඩු අවදානම් කළාප ලෙස බෙදා කණ්ඩායම් 4500 ක් සහ 20,000 පමණ වන ත‍්‍රීවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, ක්ෂේත‍්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව මෙම වැඩපිළිවෙල ක‍්‍රීයාත්මක කෙරේ.

ඒ අනුව පළමු දින පරිශ‍්‍ර 22,928 ක් පරික්ෂාවට ලක්කරන ලදි. එහිදී මදුරු කීටයින් සහිත ස්ථාන 164 ක් සොයාගෙන ඇති අතර, පරිශ‍්‍ර 2,311 ක් නිවැරදි කිරිමට පියවර ගෙන ඇත. මෙහිදී මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 956 කට නොතීසි නිකුත් කිරීමටත්, 56 කට නඩු පැවැරීමට ද පියවර ගන්නා ලද බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සදහන් කරයි.

එමෙන්ම කොළඹ දිස්ත‍්‍රික්කය තුළ පමණක් පරිශ‍්‍ර 15,519 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මදුරු කීටයින් සහිත ස්ථාන 60 ක් සොයා ගෙන ඇත. මදුරුවන් බෝවිය හැකි පරිශ‍්‍ර 1,331 ක් නිවැරදි කිරීමටත්, 568 කට නොතිසි සහ 33 දෙනෙකුට නඩු පැවැරීමට ද කටයුතු කර ඇත.

මෙම මදුරු මර්දන වැඩසටහනේ දී වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 26 ක් තෝරාගෙන තිෙබි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුරය, මඩකළපුව, යාපනය යන දිස්ත‍්‍රීක්කවල එම වැඩි අවදානම් කලාප දක්නට ලැබෙයි.

මෙම ජාතික මදුරු මර්දන සතියේ දී පාසල් සහ වැඩබිම් දැඩි පරික්ෂාවට ලක් කෙරෙන අතර නිරත දිග මෝසම් වර්ෂාව ඔක්තෝබර් මාසයේ සිට උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට ලැබෙන බැවින්, ඊට පෙර මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

මෙහිදී ජනතාව දැනුවත් කිරිම, ශ‍්‍රමදාන කටයුතු, මදුරුවන් බෝවන පරිශ‍්‍ර පවත්වාගෙන යන නිවෙස් හිමියන්ට නීතිමය පියවර ගැනීම සිදු කෙරෙනු ඇත. චිකන්ගුන්යා, සිකා, වැනි රෝග පාලනය කිරිම ද මෙම මදුරු මර්දන සතියේ මූලික අරමුණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප‍්‍රකාශ කරයි.

2016 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 41,200 ක් සොයාගෙන ඇත.

– නිපුන් ඒකනායක

915 Viewers
Main News