තණමල්විල මිනීමරු වන අලින් දෙදෙනා අල්ලන්න මෙහෙයුමක්..

April 18, 2017 at 2:05 am | lanka C news
තණමල්විල මිනීමරු වන අලින් දෙදෙනා අල්ලන්න මෙහෙයුමක්..

තණමල්විල ප්‍රදේශයේ සැරිසරන මිනීමරු වන අලින් දෙදෙනා කඩිනමින් අල්ලාගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත බවත් මේ වනවිට ඌව, මධ්‍යම කලාප වනජීවී පශු වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායම එම මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාතය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.

මීගස්වැව, නිකවැව, කිවුල්ආර, නෙළුවයාය යන ප්‍රදේශවලදී පසුගිය 12 සහ 14 යන දිනවලදී වන අලි දෙදෙනෙක් එල්ලකළ  ප්‍රහාරවලින් තිදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇත. එක් වන අලියෙකු මත්තල ප්‍රදේශයේ සිට සුරියවැව හරහා මෙම ප්‍රදේශවලට පැමිණ ඇති බව වාර්තාවේ.

ඉතා දරුණු වන අලින් දෙදනෙකු වන මෙම අලි දෙදෙනා මිනිසුන් ලුහුබැදගොස් ප්‍රහාරයන් එල්ලකරන බවටද තොරතුරු වාර්තාවේ. මෙම වන අලින් දෙදෙනා අල්ලා ගැනීමට සහ මෙම ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරගැනීම සම්බන්ධයෙන් සාක්ච්ඡාවක් පසුගිය දා තණමල්විල  සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැත්වුණේ සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙනි.

මෙම අලි දෙදෙනා අලිලාගැනීම සදහා කටයුතු කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදෙන ලදී. සුරියවැව  ප්‍රදේශයේ දැනට ඉදිකෙරෙන ආරක්ෂිත විදුලිවැටවල් කඩිනමින් ඉදිකර අවසන් කරන ලෙසටද නියෝජ්‍ය අමාත්‍යවරිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදුන්නාය.

ඊට අමතරව ගම්මානවල ආරක්ෂාව සදහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය යොදවන ලෙසටද නියෝජ්‍ය අමාත්‍යවරිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියාය.

මෙම වන අලි ප්‍රහාරවලින් මියගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 05 බැගින් වන්දි ලබා දීමට කටයුතු කරන බවද සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය  ප්‍රකාශ කළාය. ඊට අමතරව වන අලි ප්‍රහාර වලින් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සමගද නියෝජ්‍ය අමාත්‍යවරිය සාකච්ඡා කළාය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි, ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි, තණමල්විල සහකාර පොලිස් අධිකාරී සිසිර හේරත් යන මහත්වරු, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– ප්‍රසාද් මංජු

1,803 Viewers
Main News