තවත් නම් නෑ කියනු බෑ.. හම්බන්තොටින් අක්කර 15,000ක් දෙන බවට ලිඛිත සාක්ෂි මෙන්න..

January 18, 2017 at 3:25 am | lanka C news | ලංකා සී නිවුස්
තවත් නම් නෑ කියනු බෑ.. හම්බන්තොටින් අක්කර 15,000ක් දෙන බවට ලිඛිත සාක්ෂි මෙන්න..

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

හම්බන්තොටින් අක්කර 15,000ක් දෙන බවට සාක්ෂි මෙන්න

ආණ්ඩුවේ හැමෝම කියන්නේ ඒකාබද්ධ විපක්ෂය බොරුවට කලබල වෙලා. අක්කර 15,000ක් හම්බන්තොටින් දෙන්නේ නෑ. හම්බන්තොට, රත්නපුර, මොණරාගල, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සියල්ලෙන්ම දෙන ඉඩම් ප්‍රමාණය තමයි අක්කර 15,000ක්වෙන්නේ කියලාඅගමැතිතුමත් කිව්වා. මේ කතාව ඇමතිවරු විතරක් නොවේ ජනාධිපතිත් කිව්වා. ජනාධිපතිතුමන් කියනවා තාම තැන තීරණය කර නැත. හම්බන්තොටට එපානම් පොළොන්නරුවට ගරු අගමැතිතුමනි ලබාදෙනු මැන කියලා. එහෙම කියද්දිනම් ප්‍රශ්න දෙකක් මතුවෙනවා. පොළොන්නරුවෙත් වරායක් තියෙනවද කියලා. ජනපතිතුමන් දන් නැතුව ඇති වරායක් ආශ්‍රිතව තමයි මේ කර්මාන්ත ගොඩ නගන්න යන්නේ. නමුත් එතුමන් නියෝජනය කරන පොළොන්නරුව තියෙන්නේ රට මැද.දෙවෙනි කාරණය තමයි රටේ විධායක බලය ජනතාව ලබා දුන්නේ අගමැතිට නෙමෙයි ජනපතිට. නමුත් ජනපතිතුමන් අගමැතිතුමන්ගෙන් ඉල්ලනවා. කොහොම නමුත් අපේ අතේ ලිඛිත සාක්ෂි තියෙනවා මේ සම්බන්ධව.“හම්බන්තොටින් අක්කර 15,000ක් චීන තානාපති ඉල්ලුවා. අපි දැනටමත් ඒ සඳහා අක්කර 17,000ක් නැති නම් හෙක්ටයාර් 6,800ක් හඳුනා ගෙන තිබෙනවා“ කියලා අගමැති ලේකම් ඊඑම්එස්බී ඒකනායක මහතා භාණ්ඩාගාර ලේකම්ට ලිපියකින් දැනුම් දෙනවා. ලිපියේ යොමු අංකය PMO/01/ASP/2016/01 . ලිපියේ දිනය 19.09.2016. ඒ කියන්නේ මීට මාස හතරකට කලින් ඉඩම් හඳුනා ගෙන ඉවරයි. ජනතාවගේ විරෝධතා නිසා තමයි දැන් ආණ්ඩුව රිවර්ස් ගියර් දාගෙන ඉන්නේ.

මේ ලිපිය ඉංග්‍රිසියෙන් යැවූ නිසා ජනාධිපතිට තේරෙන්නේ නෑ කියලා අගමැති හිතුවා ද දන්නේ නෑ. එහෙමත් නැතිනම් මාස හතරක්ම මේක පත්තරේ පල වුණේ නැති නිසා ජනාධිපති දන්නේ නෑ කියලා අගමැති හිතුවා ද දන්නේ නෑ. මේක ෆොක්ස්වැගන් වගේම අතේ පත්තු වෙන බොරුවක්.

වරාය අධිකාරිය හම්බන්තොට වරාය විකිණීමට විරුද්ධයි.

ජාතියේ වාසනාවකට අපේ රටේ තවමත් කොන්ද පන ඇති රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය වරාය ගැන අවබෝධයක් ඇති නිලධාරීන් විදිහට, හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමට ගත හැකි දායකත්වය ගැන අවබෝධයක් තියෙන නිලධාරීන් විදිහට, ආණ්ඩුවේ නිල මතය වන හම්බන්තොට වරාය චීනයට විකිණීමට විරෝධය පල කරලා තියෙනවා. අපේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කල මුලික අයිතිවාසිකම් පෙත්සමේදී වරාය අධිකාරිය වෙනුවෙන් පුද්ගලිකව නීතිඥයෙක් බදවාගෙන තිබුනේ. ඒ නීතිඥයා අපට පක්ෂවයි කරුණු දැක්වීම සිදුකලේ.

මේක දැන ගෙන අගමැතිතුමා වරාය අධිකාරිය නීතිපතිගේ සේවය ලබා ගත යුතුයැයි නියෝග කළා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව කටයුතු කළ යුතු යැයි වරාය අධිකාරියට නියම කළා. ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින ආණ්ඩුවේ නිළධාරින්ට ආණ්ඩුවේ ප්‍රතිපත්තියට පටහැනිව කටයුතු කළ බවට දොස් පැවරුවා. නමුත් වරාය අධිකාරිය නීතිපතිගේ සේවය ගැනීමට බැඳී නෑ.කැමති නම් නීතිපතිගේ සේවය ගන්න පුළුවන්. නැතිනම් පෞද්ගලික නීති සේවයක් ගන්න පුළුවන්. නීති පති ගැන තමුන්නාසේලාත් දන්නවා ව්‍යවස්ථාදායක මණ්ඩලය පක්ෂග්‍රාහී විදිහට පත්කරගත් නීතිපතිවරයෙකුයි ඉන්නේ. පොලිස්පතිවගේම. අපි අගමැතිතුමන්ට කියනවා වරාය අධිකාරිය කියන්නේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් නෙමෙයි. සංස්ථාපිත ආයතනයක්. අවිච්චින්න වු පැවැත්මක් තියෙනවා ඒ ආයතනයට.

හම්බන්තොට වරායේ වටිනාකම දන්නා නිසා තමයි වරාය අධිකාරිය මේක විකිණීමට විරුද්ධ වෙන්නේ. විකුණන්නෙත් යහපාලන මූලධර්ම අනුව නම් නොවේ. විවෘත මිළ ගණන් කැඳවීමක් නෑ. චීන තානාපති තමයි සමාගම් දෙකක් දෙන්නේ. ඒක හරියට එකම පුද්ගලයාට යෝජනා දෙකක් ඉදිරිපත්කරන්න කිව්වම ඔහු ඔහුගේම දකුණත හා වමත ඉදිරිපත්කරනවා වගේ වැඩක්. චීන තානාපතිතුමන්ම ඉදිරිපත්කරන චීන ආණ්ඩුවේම සමාගම් දෙකක් අතර තරගයක් තියෙනවද නෑ. ඒ පිලිබඳ අගමැති ලේකම්ගේ 2016.09.24 ලිපියේ සඳහන් වෙනවා. මෙය ජනපතිතුමන් අනුමතකරන ලද රාජ්‍ය ප්‍රතිපත්තිය කියලයි අගමැතිතුමන්ගේ ලේකම් මෙම ලිපියේ කියනවා. සමහර විට ජනපතිතුමන්ව අමාරුවේ දාන්න හිතලද දන්නෑ. ඒ සමාගම් දෙකෙන් අඩුම වාසි ලැබෙන සමාගමට දෙන්නයි ලේකම්වරු නිර්දේශ කරන්නේ. චයිනා මර්චන්ට් පෝට් කියන සමාගමයි ලේකම් වරුන් නිර්දේශ කරන්නේ. ඒ නිර්දේශය වැරදියි කියලා වරාය අධිකාරිය ගණන් හදලා පෙන්වලා තිබෙනවා. මහචාර්ය ලලිත් ප්‍රසන්න පෙරේරාගේ සභාපතිත්වයෙන් තිබෙන කමිටුව ගණන් හදලා පෙන්වනවා තෝරා ගත්තු සමාගමෙන් ඩොලර් බිලියන දෙකක් පාඩු වෙනවා කියලා. මේ ඩොලර් බිලියන දෙක කාගේ සාක්කුවට ද? අපි මේ ලිපි ලබාගන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයට ඊයේ රෑ හොරෙන් පැනලා නෙමෙයි. දේශප්‍රේමී නිලධාරීන් සිය රැකියාව විතරක් නෙමේ පණ කෙන්දත් අවදානමට තියලයි මේ ලිපි ලේඛණ අපට ලබාදුන්නේ.

අපි වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට කියන්නේ ඔබ ලංකාවේ ලොකුම සම්පත චීනයට විකුණලා ද්‍රෝහීන් විධියට ඉතිහාසයට එකතු වෙනවා ද නැතිනම් ඒ තීරණයට එරෙහිව ඔබ ගෙන යන අරගලය දිගටම ඉදිරියට කර ගෙන ගොස් වීරයින් විධියට ඉතිහාසයට එකතු වෙනවාද කියා ඔබම තීරණය කරන්න. 1580 දී ලංකාව ඔප්පුවකින් පෘතුගීසි රජුට තෑගි කළ දොන් ජුවන් ධර්මපාල රජතුමා අදටත් ජනතාව සිහි කරන්නේ ද්‍රෝහියෙකු විධියටයි. ඒ නිසා අගමැතිගේ තර්ජන හමුවේ මේ පින්බිම රැක ගන්න සටන් කරන වරාය අධිකාරියට අපේ ප්‍රණාමය පුද කරනවා.

ඇමෙරිකාව සහ ඉන්දියාව නිහඬ ඇයි?

පෝට් සිටි නැතිනම් කොළඹ වරාය නගරය හදන විට චීනය ලංකාව ගිල ගන්නවා කියා ඒකට විරුද්ධ වුණු ඉන්දියාව ඒ නිසාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න කටයුතු කළ ඉන්දියාව හම්බන්තොටින් අක්කර 20,000ක් චීනයට දෙන විට නිහඬයි. මුළු කොළඹ නගරයම වර්ග කිලෝමීටර් 37යි. ශ්‍රී ලංකාවේ අගනුවර කෝට්ටේ වර්ග කිලෝමීටර් 14 යි. නමුත් මෙතන වර්ග කිලෝමීටර 67 ක්. කොළඹ වගේ දෙගුණයක භූමි කලාපයක් තමයි මේ චීනයට අයිත් වෙන්නේ. ලංකාව ඇතුලේ පුංචි චීනයක් හැදෙනවාට නිහඬයි. තමන් බලයට ගෙනා තමන්ගේ සුරතලා තමන්ගේ පිලිකන්න චීනයට දෙන විට ඉන්දියාව නිහඬ ඇයි? ඇමෙරිකාව නිහඬ ඇයි? විශේශයෙන්ම තමන් බලයට ගෙනාපු සුරතලා තමන්ගේ පිළිකන්න සතුරට දෙද්දි ඉන්දියාවෙන් මිසක් සද්දයක් නෑ.

අපිට පේන්නේ චීනයට හම්බන්තොට දීම විතරයි. නමුත් දිගුකාලීන සැලැස්ම ඒ අය දන්නවා. ත්‍රිකුණාමලය ඉන්දියාවටත් කොළඹ වරාය ඔස්ට්‍රේලියානු සමාගමක් හරහා ඇමෙරිකාවට දෙන්නත් ආණ්ඩුව එකඟ වී ඉවරයි. නමුත් අපේ රටේ ඇමරිකාවට හා ඉන්දියාවට එරෙහි විරෝධයක් තියෙනවා. ඒ නිසා තමයි මේ අය මුලින්ම චීනය දැම්මේ. ආණ්ඩුවත් බටහිර බලවතුනුත් හිතුවේ චීනය අපේ යාළුවා නිසා චීනයට හම්බන්තොට දීමට අපි විරුද්ධ වෙන එකක් නෑ. ඒක පූර්වාදර්ශය කර ගෙන ඉන්දියාවට ත්‍රිකුණාමලයත් ඇමෙරිකාවට කොළඹත් දෙන්න පුළුවන් කියලා. ඉන්දියාවයි ඇමෙරිකාවයි ඉවසීමෙන් බලා ගෙන ඉන්නේ චීනය කපන පාර දිගේ ඇවිත් ලංකාවම ගිල ගන්න. නමුත් යාළුවා වුණත් රට හානි කර දෙයක් කරන්න අපි ඉඩ තියන්නේ නෑ. කඩුව රත්තරන් වුණත් ඇන්නොත් මැරෙනවා.

අපි සරල උදාහරණයක් ගමු. මගේ දුව ඉගෙනීමට දක්ෂයි. උසස් පෙල සමත් වී වෛද්‍යවරියක වෙලා අපේ පවුලම දුප්පත් කමෙන් මුදා ගැනීමට පුළුවන් එයාට විතරයි. දැන් මගේ හොඳම යාළුවා ඇවිත් කියනවා. දුව එයාට බන්දලා දෙන්න කියලා. හොඳම යාළුවා අමනාප කර ගන්න බෑ කියලා මුළු පවුලේ ම බලාපොරොත්තුව විනාශ කරන්න පුළුවන් ද? බෑනේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් වුණේ වරාය නිසා. ඒ වගේම ලංකාව සංවර්ධිත රටක් කර ගන්න තිබෙන ලොකුම සම්පත තමයි හම්බන්තොට වරාය. ඒක බිලි දෙන්න අපි එකඟ නෑ.

ඒ විතරක් නෙමෙයි දුව බන්දල දෙන්න හදන අම්මයි තාත්තයි ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ. අපේ පවුල ගොඩ දාන්න ඉන්න අපේ ආදරණීය ලොකු අක්කා විදිහටයි අපි මේ වරාය දකින්නේ. ඒ නිසා අම්මයි තාත්තයි කියලා ඒ දෙන්නට ඕන විදිහට අක්ක දෙන්න නම් අපි ඉඩ තියන් නෑ. ඒ වගේම අපි මතක් කරන්න ඕන 2017 ම මේ ආණ්ඩුව පෙරලන්න ඕන කියලා අපි කියන්නේ තව අවුරුද්දක් මේ ආණ්ඩුව කරගෙන යන්න දුන්නොත් තව කිසි දෙයක් මේ රටේ ඉතුරු වෙන් නෑ. දකින දකින දේ මේ දෙන්නා විකුණනනවා. අපි පාසැල් යන කාලේ හිටියේ ෂොකේමන් සහ සමරසිංහ ප්‍රසිද්ධ වෙන්දේසි කරුවෝ කියලයි. නමුත් අද ඒ දෙන්නා වෙනුවට සිරිසේන සහ වික්‍රමසිංහ ප්‍රසිද්ධ වෙන්දේසි කරුවන් රටේ තියෙන හැම සම්පතම නොරටුන්ට විකිනීම කරගෙන යනවා.ඒ නිසා මේ වෙන්දේසි කරුවන් එලවලා ජනපතිකෙනෙකුයි අගමැති කෙනෙකුයි හදාගැනීමේ වගකීමක් මේ රටේ ජනතාවට තියෙනවා.

ජනපති තරගයට ඒකාබද්ධ විපක්ෂය එන්නේ ඡන්ද බෙදන්න ද?

මා මිත්‍ර ඩිලාන් පෙරේරා ඇමතිතුමා කියනවා. ඒකාබද්ධ විපක්ෂයෙන් ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ එජාපය දිනවන්න ලු. ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් අගමැතිත් ශ්‍රිලනිපයෙන් ජනපතිත් ඉදිරිපත් වෙන බව පේන්නේ. ජනපති මේ ආණ්ඩුවේ ප්‍රධානියා. අගමැති දෙවනියා. මේ ආණ්ඩුව රටට කරන විනාශයට මේ දෙන්නාම එක වගේම වග කියන්න ඕනෑ. විධායක බලය තිබෙන ජනපති වැඩිපුර වග කියන්න ඕනෑ කිසි බලයක් නැති අගමැතිට වඩා. මේ ආණ්ඩුවේ වැඩසටහන හොඳයි කියලා තවමත් හිතන සුළු පිරිස වෙනුවෙන් තමයි මේ දෙන්නාම ජනපතිවරණයට එන්නේ. එතකොට මේ ආණ්ඩුව රට විනාශ කරනවා කියලා හිතන බහුතර ජනතාව වෙනුවෙන් අපේක්ෂකයෙකු කෝ? අන්න එයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. අශ්වයාට කලින් කරත්තය යන සිරිතක් නෑ. 2019 සැප්තැම්බර් මාසයේ දී ජනපතිවරණය ප්‍රකාශ කරන්න ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා. හැමදාමත් වගේම මේ පාරත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නේ ජනපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුවයි. අපි රටම නොවේ ලොවම හොල්මන් වෙන ලොවම හොල්ලන්න පුළුවන් දැවැන්ත චරිතයක් අපේක්ෂකයා විධියට ඉදිරිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

12,447 Viewers

4 Comments to “තවත් නම් නෑ කියනු බෑ.. හම්බන්තොටින් අක්කර 15,000ක් දෙන බවට ලිඛිත සාක්ෂි මෙන්න..”

  1. mp says:

    එයා පෝට් එකත් විකුණනවද…???

  2. karunarathne says:

    කොළඹ මුහුදත් පුරවලා ඉඩම් දශක ගණනකට පෙර සිට කොළඹ ඉඩම් සංවර්ධනය කරල දැන් මුහුදත් ගොඩකරනවා.කොළඹ මිනිසුන්ගේ ඒ සම්පත් භුක්ති විදින්න තම දු දරුවන් සමග ගත කළ යුතු කාලයත් නැතිකරගෙන නිදිමරාගෙන වවුලෝ වගේ දුම්රියේ බස්රියේ එල්ලිලා කොළඹට එන ගම්වල මිනිස්සු තමුන්ගේ ගම් දියුණු කරගන්නේ නැතිව පිස්සු නටනවා. පෙරේතකමක මහත

Main News