ත්‍රිකුණාමලය ඊළඟ දියාගෝ ගාර්සියාව කර ගන්න ඇමෙරිකාව සූදානම්..

July 5, 2017 at 11:20 am | lanka C news
ත්‍රිකුණාමලය ඊළඟ දියාගෝ ගාර්සියාව කර ගන්න ඇමෙරිකාව සූදානම්..

දියාගෝ ගාර්සියා දූපතේ පවත්වාගෙන යන තම හමුදා කඳවුර 99 අවුරුදු බදු කාලය අවසන් වීම හේතුවෙන් මේ වසරේ ඉවත් කර ගත යුතු බැවින් ඇමෙරිකා එක්සත් ජනපදය එම කඳවුර ත්‍රිකුණාමලයේ පිහිටුවා ගැනීමට කුරුමානම් අල්ලමින් සිටින බවත් එයට එකා පිට එකා මළත් කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඊයේ(03) ත්‍රිකුණාමලය නගර සභා පිටියේ පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ දැවැන්ත ජන රැලිය ආමන්ත්‍රණය කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මරණයේ අවතාර හොල්මන් කරපු මේ භූමිය, වෙඩි හඬ හැර වෙන කිසිම හඬක් නොඇහුණු මේ භූමිය බේරගත්තු නායකයා තමයි පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. ඊට පස්සේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ කට හඬවල් ඇහෙන්න පටන් ගත්තා. මේ භූමියේ වගා බිම් යළි වගා කර අස්වනු නෙළන්න පටන් ගත්තා. නගරය යළි පිබිදෙන්න පටන් ගත්තා. නගර පමණක් නොවෙයි රට පුරාම වේගයෙන් නවීකරණය වෙන්න පටන් ගත්තා. එහෙම ගමනක් තමයි 2015 ජනවාරි 08 වැනිදා ආපසු හරවනු ලැබුවේ. ඉන්දියාවේ සහ බටහිර බලවතුන්ගේ උවමනාව අනුව ඒ ප්‍රබෝධවත් ගමන සිරිසේනලා – වික්‍රමසිංහලා ආපසු හරවනු ලැබුවා.

මේ අය ජාතියේ ඉදිරි ගමනයි ආපසු හරවනු ලැබුවේ. ඔබ සිංහල, දෙමළ, මුස්ලිම් කවර ජාතිකත්වයකට අයත් වුවත් බෞද්ධ, කිතුණු, ඉස්ලාම්, හින්දු කවර ආගමකට අයත් වුවත් ඔබගේ දරුවන් වෙනුවෙන් මේ මව් පොළොව රැක ගත යුතුයි. රනිල් – සිරිසේන දෙන්නා මළ ගෙදරක ‘බූරු ගහන්න’ එක්ක යන්න, නිදි මරන්න කියාපු ජෝඩුව. දැන් රටට සිදුවෙලා තියෙන්නේ දෙන්නාගේම කයිය අහගෙන ඉන්න. ‘කයි ඔන්ලි’, වැඩ නැහැ.(ජනතාවගේ සිනා)

දැන් ත්‍රිකුණාමලයට නියඟය ඇවිල්ලා වගාවට ජලය නැහැ. ඒ ගැන අහපුවාම මේ අය කියනවා, ‘රාජපක්‍ෂ පාලනය කාලේ වැඩිපුර වස්සගෙන තිබෙනවා. ඒ නිසා දැන් වහින්නේ නැහැ’ කියා. පොහොර සහනාධාරය කැපුවේ සිංහල ගොවියාගේ පමණක් නොවෙයි, දෙමළ, මුස්ලිම් ගොවියාගෙත් පොහොර සහනාධාරය කැපුවා. ආර්ථිකය හතර ගාතෙන් වැටෙන කොට සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු දෙනාගේ ආර්ථිකය බිඳ වැටෙනවා. ඒ නිසා ආගම කුමක් වුවත් ජාතිකත්වය කුමක් වුවත් මුළුමහත් ජාතියම මේ මහා ව්‍යසනයට අද ගොදුරු වෙලා ඉවරයි.

‘ත්‍රිකුණාමලයට අත තියන්න ජාත්‍යන්තර බලවතුන්ට ඉඩ දෙන්නේ නැහැ’

සිංහල වුවත් දෙමළ හා මුස්ලිම් වුවත් අපි සියලු දෙනා ලක්මාතාවගේ දරුවොයි. ඒ නිසා මේ රටේ ජාතික සම්පත් සම්බන්ධයෙන් අපට ලේ උරුමයක් තිබෙනවා. ත්‍රිකුණාමලය වරාය කියන්නේ, සිරිසේන ජනාධිපතිවරයාගේ හෝ වික්‍රමසිංහ අගමැතිවරයාගේ අම්මාගේ, අප්පාගේ දේපොළක් නොවෙයි. ත්‍රිකුණාමල වරාය කියන්නේ ලෝකයේ විශාලතම ස්වාභාවික වරායන් අතර දෙවැනි තැන ගන්නා වරාය. මේ ජාතික සම්පත අපේ මුතුන් මිත්තන් චිරාත් කාලයක් පුරා රැක ගත්තා. දැන් ඒක ඉන්දියාවට කොල්ල කාගෙන යන්න දෙන්න හදනවා. ඒ විතරක් නොවෙයි ත්‍රිකුණාමලයට ඇමෙරිකානු යුද හමුදා කඳවුරකුත් පටලවන්න හදනවා. 99 අවුරුදු බද්දට ගත්තු දියාගෝ ගාර්සියා දූපතෙන් බදු කාල සීමාව අවසන් වීම නිසා ඇමෙරිකාවට මේ අවුරුද්දේ ඉවත් වෙන්න සිදු වෙනවා. ඒ අය කුරුමානම් අල්ලන්නේ ත්‍රිකුණාමලයට එන්න. ත්‍රිකුණාමලය ජාත්‍යන්තර බලවතුන්ගේ යුද තිප්පොළක් බවට පත් කිරීමට තමුන්නාන්සේලා ඉඩ දෙනවාද? (‘නැහැ‘ ජනතාව හඬ නඟමින් කියති.) ‘සිරිසේන – වික්‍රමසිංහ මහත්වරුනි, අපි එකා පිට එකා මළත් ත්‍රිකුණාමලය ජාත්‍යන්තර බලවතුන්ගේ යුද තිප්පොළක් බවට පත් කිරීමට ලක්මාතාවගේ දරුවෝ ඉඩ දෙන්නේ නැහැ’ කියා සපථ කොට කියා සිටිනවා.

‘විකිණිල්ලේ ඉවරයක් නැහැ’

මේ ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණිල්ලේ ඉවරයක් නැහැ. ත්‍රිකුණාමල වරාය පමණක් නොවෙයි, ත්‍රිකුණාමල තෙල් ටැංකි ටිකත් ඉන්දියාවට දීමට හොර රහසේ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයත් ඉන්දියාවට දෙනවා. අද හම්බන්තොට වරාය දෙනවා චීනාට. මත්තල ගුවන්තොටුපළත් චීනාට දෙන්න හදනවා. නුවරඑළියේ ඉපැරණි තැපැල් කන්තෝරුව, මහනුවර දුම්රිය ස්ථානය, ගාල්ල දුම්රිය ස්ථානය ආදී තැන් ඉන්දියන් සමාගම්වලට තෝස කඩ දාන්න දෙනවා. ඒ කාලයේ අපට ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කියා දීපු අයියලා අද හොයාගන්නත් නැහැ. (ජනතාවගේ හූ හඬ) මේ යන විදියට මේ රටේ සෑම ආර්ථික මර්මස්ථානයක්ම මේ ආණ්ඩුව විකුණාවි. මේ පරගැති ආණ්ඩුව මේ විදියට විකුණා දමන්නේ අපේ උපනූපන් අනාගත පරපුරට අයිති සම්පත් ටිකක්. ඊට ඉඩ දී නිහඬව සිටිය හැක්කේ කාටද? ලක්මාතාවගේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු සුජාත දූ පුතුන් මීට එරෙහිව පෙරට ආ යුතුයි.

‘නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අනතුර’

ඒ විතරක් නොවෙයි, මේ පරගැති හවුල බටහිර ජිනීවා න්‍යාය පත්‍රයට අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව උපයෝගී කරගෙන හදලා ඉවරයි. දැන් රනිල් වික්‍රමසිංහ – චන්ද්‍රිකා කුමාරතුංග ජෝඩුව පාරම්බානවා ‘අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙනවා’ කියලා. අපි මේ අවස්ථාවේ දණ නමා ආචාර කරනවා ‘සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ ගරුතර නායක ස්වාමීන්වහන්සේලාට. උන්වහන්සේලා මේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ඇත්ත අනතුර පැහැදිලිව දැකලා ඊට තම බලවත් විරෝධය පළකර තිබෙනවා.

මේ රටේ ඒකීයභාවය රැක ගත්තේ රණවිරුවන් තමන්ගේ ජීවිත පුදලායි. මේ රට පුරා එකම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ සියල්ල වෙනස් කරන්න මේ නව ව්‍යවස්ථාවෙන් උත්සාහ කරනවා. මේ පළාතට පළාත් සභාවක් ලැබුණේ ඒකාබද්ධ කොට තිබූ උතුරු – නැඟෙනහිර පළාත් වෙන් කරවා ගැනීමට අපි එදා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය නිසයි. එදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා උතුරු පළාතින් නැඟෙනහිර පළාත වෙන් කිරීමට. ඒ තීන්දුව නොලැබුණා නම් අද ‘නැඟෙනහිර පළාත් සභාව කියලා එකක් නැහැ. දැන් මේ නව ව්‍යවස්ථාවෙන් හදන්නේ, යළි උතුර සහ නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කරලා හැදෙන පළාත් සභාවට පොලිස්, ඉඩම් බලතල, පරිපාලන බලය හා නීති හැදීමේ බලය, මුදල් බලය ලබා දීමටයි. එවිට මධ්‍යම ආණ්ඩුවට කුමක්ද ඉතිරි වෙන්නේ? කිසිම දෙයක් නැහැ. ඒ විදියට මේ රටේ පළාත් ආණ්ඩු 7 – 8ක් හදන්නයි මේ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ. එහෙම වුණොත් මේ රට පිස්සන් කොටුවක් වෙනවා. එතකොට එක පළාතක එක නීතියක්, අනෙක් පළාතේ තවත් නීතියක්. මේ රට පුංචි රටක්. කෑලිවලට කඩලා මේ රට හදන්න බැහැ. බටහිරට ඕනෙ මේ රට කෑලිවලට කඩන්න. එවිට ඒ අයට මේක ගිලගන්න ලේසියි.

‘මේ ආණ්ඩුව හදන සහජීවනයක් නැහැ’

අද මේ වික්‍රමසිංහ – සිරිසේන ජෝඩුව කරන්නේ පිටරැටියන්ට දුන්නු පොරොන්දු ඉටු කරන එක විතරයි. මේ රටේ ජනතාවට දුන්නු කිසිදු පොරොන්දුවක් ඉටු කරන්නේ නැහැ. 2015 ජනාධිපතිවරණයට කලින් මේ අය කීවා, ‘මහින්ද රාජපක්‍ෂ පාලනය එක සේනාවක් මුස්ලිම් ජනතාවට එරෙහිව උසි ගන්වනවා’ කියලා. ‘එහෙම නම් දැන් ඒ සේනා උසිගන්වන්නේ කවුද?’ කියලා මුස්ලිම් ජනතාව වටහාගත යුතුව තිබෙනවා. මුස්ලිම් සමාජය තුළ අන්තවාදී කල්ලි හදන්නෙත් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස සිංහල සමාජය තුළ අන්තවාදී කල්ලි හදන්නෙත් මේ ආණ්ඩුව බලයට ගෙන ආ විදෙස් ඔත්තු සේවා විසිනුයි. එවැනි අන්තවාදී කල්ලි හදලා අපිව එක එකා කොටවලා මේ රට බෙදන්න හා රටේ සම්පත් ටික විකුණන්න මේ ආණ්ඩුව හදන්නේ.

මේ ආණ්ඩුව හදන සහජීවනයක් නැහැ. සහජීවනය හැදෙනවා නම් ජන කොටස් තුනටම සමානාත්මතාව තිබෙන්න ඕනෙ. එහෙම සමානාත්මතාවයක් නැහැ. මේ ආණ්ඩුව ජාතිවාදී, අන්තවාදී කල්ලිවලට පණ අරන් දෙන ආණ්ඩුවක්. නැඟෙනහිර බෞද්ධ ජනතාවගේ පුරාවස්තු රැක දීම ආණ්ඩුවේ වගකීමක්. නමුත් ඒවා විනාශ වෙන්න හැරලා මේ ආණ්ඩුව ජාතිකත්ව අතර මරාගැනිල්ලකට පොට පාදමින් සිටිනවා. මේ ආණ්ඩුව ගෙවී ගිය වසර දෙකහමාර තුළ මේ රටේ කිසිදු ප්‍රශ්නයකට විසඳුම් ලබා දී නැහැ. අපේ පාලන සමය තුළ ගෝඨාභය රාජපක්‍ෂ එවකට ආරක්‍ෂක ලේකම්තුමා කොළඹ කුණු ප්‍රශ්නය විසඳුවා. කොළඹ නගරය දකුණු ආසියාවේ පිරිසිදුම නගරය බවට පත් කළා. මේ ජෝඩුව බලයට ඇවිත් අවුරුදු දෙකෙන් කොළඹ නගරය කුණුවලින්, කුණු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ කුණු ගොඩවල් ගාවට ආපු අගමැතිවරයා මූණ පුළුටු කරගත් පින්තූර පත්තරවල පළ වුණා. ඒ කුණු ප්‍රශ්නය හැදුවෙත්, ඒකට මූණ පුළුටු කර ගෙන ෆොටෝ දාන්නෙත්, ඒ ප්‍රශ්නය අපි විසඳනවා කියන්නෙත් මේ ආණ්ඩුව. අලුතෙන් ප්‍රශ්න වවනවා, හදනවා ඇරෙන්න මේ අයට වෙන දෙයක් බැහැ.

‘මහින්ද රාජපක්‍ෂ ජාතියට පණ දුන්නා ඒත් අද. . .’

අද ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරිලා ඉතිරිලා ගිහිල්ලා. පළාත් පාලන ආයතන අද ක්‍රියාත්මක වුණා නම්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ නගර සභා මන්ත්‍රීවරු හිටියා නම් ඩෙංගු රෝගය මේ විදියට පැතිරෙන්නේ නැහැ. ඩෙංගු රෝගයෙන් මියයන සෑම අයකුගේම වගකීම පළාත් පාලන ඡන්දය කල් දැමූ මේ ද්‍රෝහී ආණ්ඩුව භාර ගත යුතුයි. අද මේ ආණ්ඩුවට ඩෙංගු රෝගයෙන් මිනිස්සු මියයන එක නවත්වන්න බැරි වී තිබෙනවා. නමුත් එදා මහින්ද රාජපක්‍ෂ පාලනය යුද්ධයෙන් මේ රටේ මිනිස්සු මියයන එකත් නතර කළා. රටට සාමය දීලා, යටිතල පහසුකම් වැඩි කරලා, රට සංවර්ධනය කරලා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජාතියට පණ දුන්නා. ඒත් මේ ජෝඩුව බලයට ආපු දවසේ ඉඳලා රටට පැමිණෙන විපත් බහුලවෙලා තිබෙනවා. රටේ එක පැත්තක මහා ගංවතුර එනවා, කුණු කඳු නාය යනවා, තවත් පැත්තක මහා නියඟයක්. මේ ආපස්සට ඇදගෙන යන්නේ අපේ රට. ඒකට ඉඩ දී නිහඬව නොසිට, සිංහල, දෙමළ, මුස්ලිම් අපි සැවොම එකමිටකට එකතු නොවුණොත් අප කාටත් මේ රට අහිමි වෙනවා. එවිට ඉන්දියාව, බටහිර ඇතුළු නොරටුන්ටයි මේ රට හිමි වෙන්නේ. ඒ නිසා මේ පරගැති රූකඩ හවුල එළවන්න අපි සමගියෙන් අත්වැල් බැඳගත යුතුයි.

මේ නැඟෙනහිර පොළොව එදා දුටුගැමුණු කුමාරයා සැඟ වී සිට සටන් පෙරමුණට ගිය පොළොවයි, චෝල ආක්‍රමණිකයාට එරෙහිව සටන් වැදුණු මුතුන් මිත්තන්ගේ පොළොවයි, මුළු රාජධානියටම බත සැපයූ පොළොවයි. මේ නැඟෙනහිර පොළොවේ ජීවත් වූ ඔබලාගේ මුතුන් මිත්තන් තමයි ජාතියට අනතුරක් එල්ල වූ සැණින් ඊට එරෙහිව නැඟී සිටියේ. අද බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරනවා. බුද්ධි අංශ අකර්මණ්‍ය කරලා ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා තිබෙනවා. අද අපට එරෙහිව නීතිය කෙලින් කරලා ක්‍රියාත්මක කරනකොට ඇතැමුන්ට නීතිය නමලා ක්‍රියාත්මක කරනවා. පසුගිය කාලයේ තමන් ශ්‍රී ලාංකිකයෙක් කියා ආඩම්බරයෙන් පවසන්න මේ රටේ ජනතාවට හැකියාව තිබුණා. අද ඒක නැත්තටම නැති කරලා දාලා තිබෙනවා.

‘නොබැඳි විදේශ පිළිවෙතක් කාලා දැම්මා’

පෙරේතකමට අර ලොතරැයි මණ්ඩල දෙකත් ගත්තු මේ රටේ විදේශ ඇමති රවී කරුණානායක මහත්තයා, හිටපු ජනාධිපතිතුමන් ඇතුළු අපට පාකිස්ථාන ජාතික ආරක්‍ෂක සරසවියේ පැවති උත්සවයට සහභාගී වීම පිණිස ‘වීසා ලබා දෙන්න එපා’ කියලා පාකිස්ථාන මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබුණා. ‘රවී කරුණානායක මහත්තයෝ ඔයාගේ ඉල්ලීම ඉටු වුණාද?’ (ජනතාවගේ හූ හඬ) ‘දෙන්න එපා!’ කියද්දී අපට වීසා ලැබුණා. පාකිස්ථානයේ පැවැති සාක් සමුළුවට, ඉන්දියාවේ උවමනාවට සහභාගී නොවී සිටීමෙන් මේ ආණ්ඩුව පාකිස්ථානයට රිදෙව්වා විතරක් නොවෙයි, අපි රටක් ලෙස රැක ගෙන ආ නොබැඳි විදෙස් පිළිවෙතත් වනසා දැම්මා. පාකිස්ථානය කියන්නේ අපට මේ කුරිරු යුද්ධය අවසන් කරන්න දැවැන්ත ශක්තියක් දුන් මිත්‍ර රටක්. අද මේ ආණ්ඩුව ඒ මිත්‍රත්වය නැති කර තිබෙනවා.

අපි ත්‍රිකුණාමලය බේරා ගැනීමේ සටනට සූදානම් වෙමු! පරගැති ආණ්ඩුව එළවන සටනට පෙළ ගැසෙමු! මේ පරගැති හවුල එළවලා ජාතියට පණ දෙන යුගයක් මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් සමඟ අරඹමු!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

8,116 Viewers

5 Comments to “ත්‍රිකුණාමලය ඊළඟ දියාගෝ ගාර්සියාව කර ගන්න ඇමෙරිකාව සූදානම්..”

  1. WELL SAID AS ALWAYS HON WIMAL WEERAWANSA…….DESHAPREMI JANATHAWA ALWAYS WITH YOU! JAYA WEWAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA!!!!!!!!

  2. Wijebahu says:

    Ithin kochara hondayda? hirabath kala silence wela hitiya. aye mokkada pissuwak hadigena enawa.

  3. Raawana says:

    janathaawata Anaaweki sapayanna…

  4. lalith says:

    great politician we need more like you to our country

  5. Sanda says:

    Muta hodatama pissu.this Man is the father of conspiracy theory.

Main News