දකුණ හෙල්ලෙයි STF වැඩට බසී… පාතාලය දෙදරයි..

December 25, 2017 at 12:00 pm | lanka C news
දකුණ හෙල්ලෙයි STF වැඩට බසී… පාතාලය දෙදරයි..

එදා දකුණේ පාතාලය පුරා භීෂණය වපුරුවාගෙන සිටියේ සූරියවැව රත්නවීර, වම්බොට්‌ටා, පල්ලන්තර ජගත්, ආමි ජිනේ, ලන්දුවත්තේ බාලයා වැනි පාතාල නරුමයන්ය. එදා දකුණේ පාතාල මැරයන් පෝෂණය කළේ දකුණු පළාතෙන් බිහි වූ ප්‍රබලම දේශපාලනඥයන් විසින් ය.

පාතාල අපරාධකාරයන්ට වැඩි ආයුෂ නොමැත යන කියමනක්‌ තිබේ. ඒ කියමන සැබෑවකි. එදා දකුණ හොල්ලාගෙන සිටි මේ පාතාල දාමරිකයන් කිසිවකුත් අද ජීවතුන් අතර නොමැත. ඔවුන් සියලු දෙනා අකාලයේ ජීවිතවලින් සමුගත්තේ තමන් සිදුකළ මහා පාපකර්මවලට මිහිපිටදීම වන්දි ගෙවමින්ය.

දකුණ හොල්ලාගෙන සිටි ඒ පාතාල අපරාධකාරයන් අවසන් ගමන් ගොස්‌ සිටියද දකුණේ පාතාලය තවමත් අවසන් වී නොමැත.

දකුණේ පාතාලය අතීතයට වඩා වර්තමානයේ ම්ලේච්ඡ වී ඇති බව කීවොත් නිවැරැදිය. දකුණේ පාතාලයට එක්‌ව සිටින අපරාධකාරයන් තිරිසනුන් මෙන් හැසිරීම නිසා අහිංසක ජනතාව ජීවත් වන්නේ දැඩි පීඩනයකින් යුතුවය.

දකුණු පළාතට පමණක්‌ නොව මුළු රටටම මහා වින්නැහියක්‌ බවට පත්වෙමින් සිටින පාතාල අළුගෝසුවන් පිරිසක්‌ ඉවක්‌ බවක්‌ නොමැතිව රිසි සේ සිය අපරාධ චාරිකාවේ නිරතව සිටිති.

දකුණ භීතියට පත්කරගෙන සිටින මේ පාපතරයන් අතර මුල් තැනට පත්ව සිටින්නේ කඹුරුපිටියේ මධුෂ් නමැති අපරාධකාරයාය. දෙවුන්දර මධුෂ්, කුඩු මධුෂ් යන නම්වලින් ද හඳුන්වන මේ පාපතරයා සිටින්නේ ඩුබායි දේශයේ ය. විශේෂත්වය වන්නේ මේ පාතාල නරුමයා ශ්‍රී ලංකාවේ පාතාල ලෝකය මෙහෙයවන්නේ ඩුබායි දේශයේ සිට වීමය. පසුගිය කාලය පුරා දකුණේ සිදු වූ මිනිස්‌ ඝාතන රැසක්‌ පිටුපස කඹුරුපිටියේ මධුෂ් සිටින බව නොරහසකි.

මුළු රටටම මහා පිළිලයක්‌ බවට පත් වෙමින් සිටි මේ පාතාල මැරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ජාත්‍යන්තර රතු නිවේදනයක්‌ පවා නිකුත් කර තිබුණ ද මොහු ඉන්නා තැනක්‌ පවා සොයා ගැනීමට මෙතෙක්‌ සමත් වී නැත.

කොස්‌ගොඩ සුජී දකුණේ පාතාල කෙලිකාරයන් අතර සිටින තවත් නරුමයෙකි. සිත්පිත් නැති මිනිස්‌ ඝාතන සිදු කිරීම මහා පරිමාණ හෙරොයින් ජාවාරම, සංචාරක හෝටල්වලින් කප්පම් මුදල් ලබාගැනීම වැනි අපරාධවල නිරත වී සිටි කොස්‌ගොඩ සුජී මේ වන විට සිටින්නේ ඩුබායි දේශයේ ය. කොස්‌ගොඩ සුජී රටින් පලා ගියේ ඔහුට එල්ල වී තිබූ ජීවිත තර්ජන නිසා ය. පසුගිය කාලයේ දකුණේ සිදු වූ කොන්ත්‍රාත් මිනීමැරුම් රැසකට වගකිව යුත්තා වුණේ කොස්‌ගොඩ සුජීය. ඩුබායි දේශයේ සිට දකුණේ මිනිස්‌ ඝාතන කොන්ත්‍රාත් ලබා ගන්නා කොස්‌ගොඩ සුජී තම ගෝල බාලයන් යොදවා ඒවා ක්‍රියාත්මක කරනු ලබයි.

කොන්ත්‍රාත් ඝාතන වලට අමතරව තම ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් ඝාතනය කරමින් ලෙයට ලෙයින් පළිගැනීමේ කාර්යය ද කොස්‌ගොඩ සුජී විසින් සිදු කරන්නේ දකුණු පළාතම භීතියට පත් කරමින් ය.

හික්‌කඩුව, කොස්‌ගොඩ, අම්බලන්ගොඩ, බළපිටිය වැනි වෙරළාසන්න ප්‍රදේශවල මහා පරිමාණ ඉඩම් විකිණීමක්‌ සිදු වුවොත් ඉන් සියයට දහයක කොටසක්‌ කොස්‌ගොඩ සුජීට හිමි විය යුතුය.

තම කොටස නොලැබුණොත් ඉඩම් හිමියාට එක්‌කෝ සිදුවන්නේ ඉඩම අතහැර යැමටය. එහෙමත් නැත්නම් ජීවිතයෙන් සමුගෙන යැමටය.

දකුණේ පාතාලයේ රජ කරගෙන සිටින අනෙක්‌ මිනීමරුවා වන්නේ පොඩි ලැසී ය. රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝඡ් මෙන්ඩිස්‌ ඝාතනය ඇතුළු දකුණේ සිදු වූ මිනීමැරුම් රැසක්‌ සිදු කළ පොඩි ලැසී නමැති නරුමයා මේ වන විට සිටින්නේ ගාල්ල බන්ධනාගාරයේ ය.

ගාල්ල බන්ධනාගාරය පොඩි ලැසීට ආරක්‍ෂිත නිවස්‌නයක්‌ බවට පත් වී හමාරය. සියලු සැප පහසුකම් භුක්‌ති විඳිමින් ගාල්ල බන්ධනාගාරයට වී සිටින පොඩි ලැසී තම ගෝල බාලයන් යොදාගෙන දකුණ හොල්ලන අපරාධ සිදු කරමින් සිටියි.

තමන්ට අවශ්‍ය පුද්ගලයන් ඝාතනය කිරීමට පොඩි ලැසීට ගත වන්නේ සුළු කාලයකි. ඒ තරමටම ඔහුගේ පාතාල ජාලය ශක්‌තිමත්ය. ලැසීගේ ගෝලබාලයන් කොස්‌ගොඩ, අම්බලන්ගොඩ, හික්‌කඩුව, රත්ගම ප්‍රදේශවල සැඟවී සිට විවිධ අපරාධවල නිරත වෙති.

පසුගිය නොවැම්බර් මාසය දකුණේ පාතාලය ගිනියම් වූ මාසයක්‌ විය. කොස්‌ගොඩ සුජීගේ කල්ලිය සහ කඹුරුපිටියේ මධුෂ්ගේ පාතාල කල්ලිය අතර කාලයක පටන් පවතින වෛරය පළිගැනීම අවස්‌ථා කීපයකදීම පුපුරා ගියේය.

කොස්‌ගොඩ ඌරගහ ප්‍රදේශයේදී කොස්‌ගොඩ සුජීගේ සමීපතම සගයා වූ තාරුක ඇතුළු කල්ලියක්‌ විසින් එකම දිනයකදී පුද්ගලයන් සිවුදෙනෙක්‌ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් දකුණේ පාතාලය හිටි හැටියේම ගිනි ගත්තේය.

ඝාතනයට ලක්‌ වුණේ ජනමුණි මහින්දරාජා ද සොයිසා, ඔහුගේ පුත්‍රයන් දෙදෙනා සහ කපිලරත්න නමැති අයෙකි.

මහින්දරාජා බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි. කොස්‌ගොඩ ලොකුවා නමැති පාතාල මැරයා ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියක්‌ මහින්දරාජාට සහ ඔහුගේ දරු දෙදෙනාට ජීවිත අහිමි වීමට හේතු වී තිබුණේය. කොස්‌ගොඩ ලොකුවා මධුෂ්ගේ පාතාල කල්ලියේ ප්‍රබලයෙකි. ලොකුවා සහ කොස්‌ගොඩ සුජි අතර කලක පටන් වෛරයක්‌ පැවතුනේය. ඒ වෛරයේ ප්‍රතිඵලයක්‌ ලෙස කොස්‌ගොඩ සුජී සිය ගෝලයන් යොදවා ලොකුවා ඝාතනය කරන්නේ ඇල්පිටිය ප්‍රදේශයේදීය.

ලොකුවාගේ ඝාතනයට ඔත්තු සැපයූ බවට චෝදනා ලැබ සිටි මහින්ද රාජා කොස්‌ගොඩ සුජීගේ ප්‍රධානම සගයා වන තාරුක අතින් ඝාතනයට ලක්‌ වුණේ ඉකුත් සැප්තැම්බර් මාසයේදීය.

මහින්දරාජාගේ නිවසට කඩාවැදුණු තාරුක ඇතුළු මැරයන් ඔහුගේ ජීවිතය පමණක්‌ නොව නිදි යහනේ සිටි දරුවන් දෙදෙනාගේ ද ජීවිත අවසන් කර පලා ගියේ පාතාල ලෝකයේ අමනුෂ්‍යයන්ට මනුස්‌සකම් නොමැති බව රටටම පෙන්වමින්ය.

මෙම සිවු මිනිස්‌ ඝාතන සිද්ධිය දකුණේ පාතාලය මෙන්ම මුළු රටම හෙල්ලුම් කෑ සිද්ධියක්‌ විය. මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක්‌ වැඩි දවසක්‌ නොගොස්‌ සිදුවන බව පොලිසිය මෙන් ම දකුණු පළාතම හොඳින් දැන සිටියහ. ඒ නිසාම දකුණේ ආරක්‍ෂාව තර කිරීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළේය.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර් ලතීෆ්, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වරුණ ජයසුන්දර මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දකුණු පළාත පුරා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් පුළුල් ආරක්‍ෂක මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.

පොලිස්‌ දෙපාර්තමේන්තුවද දකුණු පළාතේ ගිනියම් වූ ප්‍රදේශයේ ආරක්‍ෂාව තර කිරීමට කටයුතු කළේ තවත් වැඩි දවසක්‌ ගත වන්නට පෙර පාතාල සමූහ ඝාතනයක්‌ සිදුවන බව ඉර හඳ මෙන් විශ්වාස කළ නිසාය.

ගාල්ල දිස්‌ත්‍රික්‌ භාර නියෝජ්‍ය පොලිස්‌පති චන්දන අලහකෝන්, ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නිහාල් තල්දූව මහත්වරුන් විසින් පුළුල් ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ සකස්‌ කළේ ගිනි ගෙන තිබෙන පාතාල ගැටුම් මර්දනය කිරීම සඳහාය.

පොලිස්‌ මාර්ග බාධක, ක්‍ෂණික මෙහෙයුම්, අපරාධකරුවන්ගේ නිවාස වැටලීම ඇතුළු තවත් ක්‍රමවේදයන් රැසක්‌ අනුගමනය කරමින් කොස්‌ගොඩ අම්බලන්ගොඩ ප්‍රදේශ පුරා ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කළහ.

පාතාල ක්‍රියාකාරකම්වලින් ගිනියම් වු ප්‍රදේශ පුරා දැඩි ආරක්‍ෂාවක්‌ යොදා තිබුණද, දකුණේ පාතාල අපරාධකරුවන් නතර කිරීමට එය ප්‍රමාණවත් නොවන බව පසක්‌ කරමින් තවත් අමානුෂික පාතාල ප්‍රහාරයක්‌ එල්ල විණි. මහින්දරාජා ඇතුළු සිවුදෙනා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ කොස්‌ගොඩ තාරුකගේ මාමා ඇතුළු දරුවන් පාතාල අළුගෝසුවන්ගේ ප්‍රහාරයකට ලක්‌ වුණේ නොසිතූ මොහොතකය.

කොස්‌ගොඩ බටපොල ප්‍රදේශයේදී මෝටර් රථයක යමින් සිටි තාරුකගේ මාමා ඔහුගේ දරු තිදෙනා සහ ගරාඡ් හිමියකු කොස්‌ගොඩ සුජීගේ ගෝලයන්ගේ ප්‍රහාරයට ලක්‌වූහ.

මේ ප්‍රහාරය සඳහා පැමිණ සිටියේ පොඩි ලැසිගේ ගෝලයකු වන කරුණාරත්න සහ තවත් අයෙකි. කලක්‌ කොස්‌ගොඩ සුජී සහ පොඩි ලැසී වෛරකාරයන් බවට පත්ව සිටියද මොවුන් දෙදෙනා මේ වන විට මිතුරන් බවට පත්ව සිටියි.

කොස්‌ගොඩ සුජී ඩුබායි දේශයේ සිට පොඩි ලැසීගෙන් කළ ඉල්ලීමකට අනුව මේ ප්‍රහාරය ක්‍රියාත්මක වී තිබූ බව පසුව අනාවරණය විය.

කෙසේ වෙතත් පොඩි ලැසී මෙහෙයවූ ප්‍රහාරය වැරදුනේය. තාරුකගේ මාමා දරුවන් තිදෙනා ඇතුළු සිව්දෙනා මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබුවද ඔවුන්ට ජීවත් වීමේ වාසනාව හිමි වී තිබිණි.

දකුණේ පාතාල භීෂණය ඉතාම දරුණු අන්දමින් ක්‍රියාත්මක වීම මුළු රටටම බරපතළ ප්‍රශ්නයක්‌ බවට පත්වෙමින් තිබුණේය. පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා මේ පාතාල ක්‍රියාකාරකම් මර්දනය සඳහා පෞද්ගලිකවම මැදිහත් වුණේ ඇති වෙමින් තිබෙන බරපතළ තත්ත්වය හොඳින් තේරුම් ගැනීම නිසාය

කොස්‌ගොඩ සුජී, පොඩි ලැසී, කොස්‌ගොඩ තාරුක, කඹුරුපිටියේ මධුෂ් නමැති පාතාල නායකයන්ගේ ඥාතින් මෙන්ම හිතවතුන් බොහෝමයක්‌ පදිංචිව සිටියේ කොස්‌ගොඩ, ඇල්පිටිය, අම්බලන්ගොඩ, හික්‌කඩුව, බළපිටිය වැනි ප්‍රදේශවලය.

පාතාල ක්‍රියාකාරීන් පවුල් පිටින් මරා ගැනීම ආරම්භ කිරීමෙන් පසුව මේ පාතාල නායකයන්ගේ ඥාති හිතවතුන් බොහොමයක්‌ ගම් බිම් අතහැර ආරක්‍ෂක ස්‌ථාන කරා යන්නට පටන් ගත්තේ තම ජීවිත ආරක්‍ෂා කර ගැනීම සඳහාය.

කොටින්ම මේ ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව පවා ජීවත් වුණේ දැඩි භීතියෙන් යුතුවය. අඳුර වැටෙද්දී කිසිවකුත් නිවෙස්‌වලින් පිට වී නොයන තත්ත්වයකට මේ ප්‍රදේශය පත්ව තිබුණේය.

ඇතිවෙමින් තිබෙන බරපතළ තත්ත්වය මර්දනය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ කාර්ය භාර ගත්තේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායයි.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දිවා රාත්‍රි නොබලා, වෙහෙස වෙමින් පුපුරා යැමට ආසන්නයේ තිබෙන පාතාල බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන්නට වූහ.

කොස්‌ගොඩ ඌරගහදී මහින්දරාජා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීම, එම සිද්ධිය වූ දිනම කොස්‌ගොඩ මැණික්‌ ගම්මානය ප්‍රදේශයේදී කපිලරත්න නමැත්තා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ විමර්ශන ක්‍රියාත්මක කළහ.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නිහාල් තල්දූව මහතාගේ පූර්ණ අධීක්‍ෂණයෙන් යුතු පොලිස්‌ කණ්‌ඩායම් දකුණු පළාතම පීරමින් සිටි මිනිස්‌ ඝාතනයට සම්බන්ධ කොස්‌ගොඩ තාරුක ඇතුළු මැරයන් සොයන්නට වූහ.

කොස්‌ගොඩ තාරුක අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය. ඔහු ජංගම දුරකථන 20 ක්‌ පමණ පාවිච්චි කරන බවත් නිතරම දුරකථන සිම් කාර්ඩ්පත් වෙනස්‌ කරන බවත් හෙළිවිය.

අන්තර්ජාලය හරහා වයිබර් සහ ඉමෝ ක්‍රමයට දුරකථන ඇමතුම් ලබා ගැනීම නිසා තාරුක සැඟවී සිටින ස්‌ථානයන් සොයා ගැනීම අපහසු කටයුත්තක්‌ විය. කෙසේ වෙතත් කොස්‌ගොඩ සිවු මිනිස්‌ ඝාතනයට සම්බන්ධ එක්‌ පුද්ගලයකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

සිවු මිනිස්‌ ඝාතනය සඳහා යොදා ගත් යතුරුපැදිය සහ ගිනි අවිය ද පොලිසිය අත්අඩංගුවට ගත්තේය. එහෙත් මහින්දරාජා ඇතුළු සිව්දෙනා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන කොස්‌ගොඩ තාරුක අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් සමත් වී නැත.

මේ අතර බටපොල දී තරුකගේ මාමා ඔහුගේ දරු දෙදෙනා සහ තවත් පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් විමර්ශන පවත්වමින් සිටියහ.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොඩි ලැසීගේ ගෝලබාලයන් කීපදෙනෙකු සහ ඊට යොදාගත් ගිනි අවියද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

පොලිසිය ඒ ආකාරයට සිය විමර්ශන ක්‍රියාත්මක කරගෙන යද්දී පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් ද සිය රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කරමින් සිටියහ.

දකුණු පළාත හොල්ලා ගෙන සිටින මධුෂ් පොඩි ලැසී සහ සුජීගේ පාතාල කල්ලිවලට සම්බන්ධ වූ සියලු අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් විශේෂ කාර්ය බළකාය විසින් ඉතාම සූක්‍ෂම අන්දමින් ක්‍රියාත්මක කරන්නට වූහ.

මේ මෙහෙයුම්වල ප්‍රතිඵලයක්‌ ලෙස කොස්‌ගොඩ සුජීගේ සමීපතම ගෝලයකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායට හැකිවිය. උදය කුමාර නොහොත් පොඩි පෝල් දකුණේ සිදු වූ මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූ අයෙකි. හික්‌කඩුව ප්‍රදේශයේ සැඟ වී සිටි පොඩි පෝල් සතුව තිබූ පිස්‌තෝලයක්‌ සහ අත් බෝම්බයක්‌ ද සොයා ගන්නට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත් වූහ.

අනිල්සිරි ද සිල්වා නොහොත් වැලි සැන්ඩ්‍රා කොස්‌ගොඩ සුජීගේ තවත් සමීපතම ගෝලයකු විය. මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධවල නිරත වූ වැලි සැන්ඩ්‍රා පොලිසිය මඟහරිමින් සැඟව සිටි පුද්ගලයෙකි.

දකුණේ පාතාල මට්‌ටු කිරීමේ මෙහෙයුම්වලට එක්‌ව සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් වැලි සැන්ඩ්‍රාට ගැලවීමක්‌ ලැබුණේ නැත. අම්බලන්ගොඩ ප්‍රදේශයේ සැඟවී සිටියදී මේ අපරාධකාරයා ද අත්අඩංගුවට පත් වන්නේ දකුණේ පාතාලයේ තවත් අපරාධකාරයකු ආණ්‌ඩුවේ බෝඩිමට ගාල් කරමින්ය.

මේ අතර පොඩි පෝල්ගේ බිරිඳ අවි ආයුධත් සමඟ කොටුකර ගන්නට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත් වූහ. පිස්‌තෝල, ගල්කටස්‌ තුවක්‌කු සහ හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පොඩි පෝල්ගේ බිරිඳ බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර දකුණේ පාතාලයේ තවත් කුලී මිනීමරුවන් දෙදෙනකු වූ දසුන් රාජකරුණා සහ රනිල් රාජකරුණා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ පිස්‌තෝල දෙකක්‌ ද සමඟය. මොවුන් දෙදෙනා ද කොස්‌ගොඩ සුජීගේ සමීපතම ගෝලයන් වූ අතර මීටියාගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවිධ අපරාධවල නිරත වූවන් බව විමර්ශනවලින් හෙළි වුණේය.

පදුමන් යනු දකුණේ පාතාලයේ තවත් කෙරුම්කාරයෙකි. කොස්‌ගොඩ සුජී සමඟ එක්‌ව විවිධ අපරාධවල නිරත වූ පදුමන් පොලිස්‌ ඇසට වැලි ගසමින් සැඟවී සිටි පුද්ගලයෙකි. එහෙත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් පදුමන්ට ගැලවීමක්‌ ලැබුණේ නැත. පිටිගල ප්‍රදේශයේ ආරක්‍ෂිත ස්‌ථානයක සැඟ වී සිටි පදුමන් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත කොටුවන්නේ රිවෝල්වරයක්‌ සහ ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බයක්‌ ද සමඟය.

කඹුරුපිටියේ මධුෂ් සිය පාතාල බලය ව්‍යාප්ත කර ගැනීම සඳහා දකුණේ විවිධ ප්‍රදේශවල තම සාමාජිකයන් යොදවා සිටියේය. නාගොඩ ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදවා සිටි ප්‍රදීප් රංගන සහ මාලිංග නමැති අපරාධකරුවන් දෙදෙනා මධුෂ්ගේ කල්ලියේ ප්‍රබලයන් වූහ.

මොවුන් දෙදෙනාටද පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් ගැලවීමක්‌ ලැබුණේ නැත. මධුෂ්ගේ පාතාල සගයන් දෙදෙනා පොලිසියට කොටුවන්නේ පතරොම් තුවක්‌කුවක්‌ ද සමඟය.

මේ අතර මීටියාගොඩ ප්‍රදේශයේ සිදුකළ තවත් මෙහෙයුමකදී පොඩි ලැසී නමැති පාතාල මැරයාගේ සමීපතමයන් දෙදෙනකු වූ ඉන්දිකරත්න සහ ජානක අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත් වූහ.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් තම රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කරද්දී ඔවුන් වෙත පාතාල අපරාධකාරයන් පිළිබඳ තොරතුරු දිගින් දිගටම ගලා එන්නට විය.

කොස්‌ගොඩ ඌරගහ ප්‍රදේශයේ සැඟවී සිටි උපුල් නමැති පාතාල අපරාධකාරයා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට කොටුවන්නේ මිලි මීටර් 3.8 වර්ගයේ පිස්‌තෝලයක්‌ ද සමඟය. කොස්‌ගොඩ සුජීගේ සමීපතම සගයකු වන උපුල් විවිධ අපරාධ රාශියක්‌ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවී සිටි අයෙකි.

දකුණේ පාතාලය සුන්නද්ධූලි කිරීමේ කාර්ය භාරගෙන සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් වෙත පසුගිය 21 වැනිදා ඉතාම වැදගත් තොරතුරක්‌ ලැබුණේය.

කඹුරුපිටියේ මධුෂ් නමැති පාතාල මැරයාගේ සමීපතම ගෝලයකු වන චානක නොහොත් අලබෝලයා ඇතුළු පාතාල කල්ලියක්‌ කටාන මීගමුව ප්‍රදේශවල කරක්‌ ගසමින් සිටින බවට ලැබුණු තොරතුර ඉතාම වැදගත් විය.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මීගමුව කටාන ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍ෂණික මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළේ මධුෂ්ගේ ගෝලබාලයන්ට පලායැමට ඇති සියලු අවස්‌ථා මඟහරිමින්ය.

කටාන දාගොන්න ප්‍රදේශයේ පාළු ඉඩමක රැඳී සිටි මධුෂ්ගේ ගෝලබාලයන් අටදෙනෙක්‌ කොටුකර ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත්වූහ.

පාතාල කල්ලිය සතුව තිබූ අත්බෝම්බ, රිවෝලර්, කඩු කිනිසි, කේරල ගංජා හෙරොයින් ඇතුළු තවත් තහනම් භාණ්‌ඩ රැසක්‌ සොයා ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකි විය.

මධුෂ්ගේ ගෝලබාලයන් කටානට පැමිණ සිටියේ ඉදිරි මැතිවරණය සඳහා දේශපාලනඥයන් කීපදෙනකුට සහාය වීම සඳහාය.

මුළු රටටම පිළිලයක්‌ බවට පත්ව සිටින මේ පාතාල අපරාධකාරයන් බිහිකරන්නේ ද ඔවුන් පෝෂණය කරන්නේ ද මේ දහදුරා දේශපාලනඥයන් විසින්මය. දකුණේ පාතාලය වර්ධනය කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ගෙන යන නිහඬ කාර්යය සුළුපටු නොවේ.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. ආර්. ලතීෆ්, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වරුණ ජයසුන්දර ප්‍රමුඛ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පාතාලය මර්දනයට ගෙන යන වෙහෙසට සහ කැපවීමට මුළු රටේම උත්තමාචාරය හිමිවනු නියතය.

– Divaina

39,813 Viewers

5 Comments to “දකුණ හෙල්ලෙයි STF වැඩට බසී… පාතාලය දෙදරයි..”

  1. Nilantha says:

    පාතාලයට වඩා විනාශයක් මේ රජය ජනතාවට කරනවා..
    වරාය විකිණීම.
    මහා බැංකු මංකොල්ලකෑම්
    අනෙකුත් රාජ්ජ සම්පත් විකිණීම
    බුද්ධ ආගමට කරන විනාශ
    වන විනාශ
    නිදන් මංකොල්ල
    රණ විරුවෝ සිරගත කිරීම
    දෙමල ඩයස් පෝරාවට ඕන විදියට කටයුතු කිරීම

    තව ගොඩාක් තියෙනවා..

  2. MJ says:

    Policiye saha STF eke hapankama wenne allapu welawe muniwarayak karanam witharai. ekata onatharam krama thiyenawa. Muntika allala thawa masa ganaking eliyata dammahama mokada wenne . mun allannaa giya mahajana mudal aparade.

  3. Asa says:

    කොච්චර පාතාලේ හිටියත් ගාල්ලේ දකුණේ උනුත් අරුන්ගෙන් කෑවානෙ?

  4. Sampath says:

    Dakune.pathale patan gathe Dana rthu redda Bella wate ellagena pansal Yana dkinen bihiwecha lankawa nombara eka hora deshapalanaya Paul wisinma thamai

  5. lion says:

    2015 ජනවාරි 8 වෙනිදා පසු පිටරට සිටිය පාතාලයන්ට යමපාලනය නැවත රටට එන්න විසා ලබාදුන්නා එකේ ප්‍රතිපල

Main News