දළ පූට්ටුවා ඝාතනයට රිමාන්ඞ් කර සිටි හය දෙනාම ඇප මත නිදහස්.. DNA වාර්තා නෑ..

March 2, 2018 at 1:20 pm | lanka C news
දළ පූට්ටුවා ඝාතනයට රිමාන්ඞ් කර සිටි හය දෙනාම ඇප මත නිදහස්.. DNA වාර්තා නෑ..

දළ පූට්ටුවා ඝාතනය කිරීමේ විමර්ශනයට අදළ ඞී.එන්.එ්. වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන නොමැති බැවින් වහාම ඒ සඳහා ක‍්‍රියා කරන ලෙසට මහව අතිරේක මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරච්චි මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් මෙතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි සැකකරුවන් හය දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළේය.

මෙහි පළමු වෙනි හා දෙවැනි විත්තිකරුවන් සඳහා එක් අයකුට රුපියල් පනස් දහසක් බැගින්වූ මුදල් මුදල් ඇපයක්ද 3, 4, 5 සහ 6 වෙනි විත්ති කරුවන් වෙනුවෙන් එක් අයකුට රුපියල් 25000 ක් බැගින්වූ මුදල් ඇපයක්ද නියම කළ අතර සියලූම විත්තිකරුවන් වෙනුවෙන් එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුන බැගින් ද නියම කෙරිණි.

මෙම ඇප කරුවන් විත්තිකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවත් ඔවුන්ගේ පදිංචිය අදාළ කොට්ඨාසයේ ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් සනාථ කළ යුතු බවත් එසේම සැකකරුවන් සතියේ සෑම ඉරු දිනකම මහව මූලස්ථාන පොලිසියේ පෙනී සිටිය යුතු බවත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

ගල්ගමුව දල පූට්ටුවා නමැති ඇතා ඝාතනය කොට උගේ ඇත් දළ යුගල හා තවත් කොටස් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි සැකකරුවන් 6 දෙනා යළිත් අධිකරණට ඉදිරිපත් කළ අවස්ථාවේදී අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.

මෙසේ ඇප නියම කෙරුණේ නිකවැව මොරගොල්ලාගම ලිපිනයේ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ අසංක සෙනරත් බණ්ඩාර, ගල්ලෑව ගල්ගමුව ලිපිනයේ පදිංචි රත්නමලල ඉරුගල් බණ්ඩාරලාගේ රුවන් නිරෝෂණ රතනවංශ, සියඹලාව මොරගොල්ලාගම ලිපිනයේ පදිංචි ලොකුවංශලාගේ අජන්ත අමරජීව, සියඹලාව මොරගොල්ලාගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ නිලන්ත පුෂ්ප කුමාර, පොහොරවත්ත මොරගොල්ලාගම පදිංචි කේ.පී. මංජුල ප‍්‍රදීප් ජයසිංහ සහ සියඹලාව මොරගොල්ලාගම පදිංචි හේරත් මුදියන්සේලාගේ අරවින්ද බණ්ඩාර හේරත් යන විත්තිකරුවන් සඳහාය.

ඉහත මුදල් හා ශරීර ඇපවලට අමතරව විත්තිකරුවන් සතුව විදේශ ගමන් බලපත් ඇත්නම් ඒවා අධිකරණ භාරයේ තැබීමටත් විත්තිකරුවන්ගේ විදේශ ගමන් වළකාලමින් ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා විසින් අධිකරණ රෙජිස්ටාර්වරයාට දැනුම් දුන්නේය.

සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු වලදී සාක්ෂි කරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා විසින් විත්තිකරුවන්ට මෙහිදී දැඩි ලෙස අවවාද කෙළේය.

පළමු සහ දෙවන සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ලක්මාල් රත්නායක 3, 4, 5 සහ 6 යන සැකකරුවන් වෙනුවෙන් නීතිඥ මනෝජ් පොල්ගම්පොළ සමග නීතිඥ සඳගිරි බණ්ඩාර යන මහත්වරුන් පෙනී සිටි අතර සමග පරිසර සංවිධාන වෙනුවෙන් නීතිඥ බන්දුල දසනායක මහතා හා තවත් නීතිඥවරියකද පෙනී සිටියාය.

මාර්තු මස 28 වෙනි දින යළිත් මෙම නඩුව කැදවීමට නියමිතය.

– Rivira

8,532 Viewers

2 Comments to “දළ පූට්ටුවා ඝාතනයට රිමාන්ඞ් කර සිටි හය දෙනාම ඇප මත නිදහස්.. DNA වාර්තා නෑ..”

  1. Amda says:

    දැනගත්තා ඔය ටික වෙයි කියලා.
    නීතියෙන් ගැලවුනත් මේ පවෙන් ගැලවෙන්න බෑ.

    මේ අපරාධය කරපු, කරවපු හැම එකාමත්, උන්ව බේරගත්ත සහ ඊට සහය දීපු හැම එකාමත්, ඒ වෙනුවෙන් නීතිය නවපු, නොදැක්ක වගේ අහක බලාගෙන හිටපු හැම එකාමත්, බලය අතේ තිබියදී මේව වෙනුවෙන් බලය පාවිච්චි නොකරන හැම එකාමත්…..දිට්ඨධම්ම වේදනීය කර්මයට ගොදුරුවේවා! ! !
    එමගින් පව සහ එහි විපාක රටටම දැකීමට ලැබේවා. …!!

  2. These bastards have no appreciation for such truly Sri Lankan exotic specimens of our animal community. May the traditional Gods in this country strike the dirty six and all their godfathers with thunder and lightening for the unfathomable crime they committed.

Main News