දිල්ලි ක‍්‍රිකට් පිටියේ දුම ශ‍්‍රී ලංකාවටත්.. හැමෝටම ඔක්සිජන් ටැංකි..

December 21, 2017 at 8:02 am | lanka C news
දිල්ලි ක‍්‍රිකට් පිටියේ දුම ශ‍්‍රී ලංකාවටත්.. හැමෝටම ඔක්සිජන් ටැංකි..

නවදිල්ලියේදී පැවති ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ක්‍රිකට් ක්‍රිඩකයින්ට විෂදුමෙන් බලපෑම් සිදු වූ බවත් මෙම පාරිසරික අවදානම් තත්වය ගැන මීට වඩා අප සියලුම දෙනාගේ අවධානය යොමුවිය යුතු බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.

ක්‍රිඩකයින් ක්‍රිඩාකරන විට පිරිසිදු වාතය ස්වසනය කිරීම ඉතාම වැදගත් කරුණකි. නමුත් මුඛවාඩම් දමාගෙන ක්‍රිඩා කිරීමට සිදුවේනම් එය මොනතරම් අභාග්‍ය සම්පන්න තත්වයක්ද කියා ප්‍රශ්න කරන නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරන්නේ දිගින් දිගටම පරිසර දූෂණය සිදු වුවහොත් තව නොබෝදිනකින් ශ්‍රී ලංකාව තුළද මෙවැනි තත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි. එම නිසා තිරසර සංවර්ධනයක් වෙනුවෙන් කැපවීමට දැන් සිටම මුළු රටම අධිෂ්ඨාන කරගතයුතු බවද සුමේධා ජී. ජයසේන මහත්මිය පෙන්වා දුන්නාය.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා මොණරාගලදී පැවති තිරසර සංවර්ධනය පිළිබඳ මොණරාගල දිස්ත්‍රික් වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය. “තිරසර සංවර්ධනය ගැන කතාකරනන අපි මේ රැස්වෙලා ඉන්න අවස්ථාවේදී අපේ අසල්වාසී රටවල් දෙකක ප්‍රධාන පරිසර ගැටළුවක් මතුවෙලා.

ඉන්දියාවේ දිල්ලි නුවර ඇතැම් ප්‍රදේශවල මිනිස්සුන්ට නිවාස වලින් එලියට බහින්න එපා කියල අනතුරු අඟවලා. ඒ තරමටම වායු දුෂණයක් සිදුවෙලා. දිල්ලිවල සාමාන්‍යයෙන් මනුස්සයෙක් හුස්මගන්නකොට දවසකට දුම්වැටි 44ක් උරාබිව්වා වගේ තත්වයක්ලු තියෙන්නේ.

ඉන්දියාවේ දිල්ලියේ දුෂණය දුම්වැටි 44කට සමානයි කියන්නේ මොනතරම් භයානක තත්වයක්ද. පාසැල් වහලා දාලා රැකියා කරන්න යන්න විදියක් නැහැ. කුඩා දරුවන් අසනීප වෙනවා. දිල්ලි නුවර පැවති ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා, ඉන්දිය ක්‍රිඩකයන් ක්‍රිඩා කළේ මුඛවාඩම් පැළඳගෙන. පාකිස්ථානයේත් ඇතැම් ප්‍රදේශවල තත්වයත් මේකමයි.

චීනයේ ඇතැම් නගරවලත් මේ තත්වය ඇතිවෙමින් යනවා. මෙහෙම ගියොත් ජංගම දුරකථන අතේ තියෙනවා වාගේ කුඩා ඔක්සිජන් ටැංකියක් පිටේ බැඳගෙන හැමෝටම යන්න සිදුවෙන දිනය වැඩි ඈතක නොවෙයි.

ලෝකයේ ඇතැම් රටවල නගරවල ඇවිදිනකොට කෘතිමව ඔක්සිජන් ලබාගත යුතුයි යන නිර්දේශය ළඟදීම ඉදිරිපත් වේවි. දැනටමත් ඇතැම් නගරවල ඊට ආසන්න තත්වයන් තිබෙනවාලු.

මෙවැනි තත්වයන් අපි දැක්කේ ඇතැම් බටහිර චිත්‍රපටිවල පමණයි. නමුත් දැන් දැන් ඒවා සැබෑ වෙමින් පවතිනවා.

දළදා සමිදුන් වැඩසිටින ‍ඓතිහාසික මහනුවර නගරයේත් දැඩිලෙස වායු දූෂණය වන බව පරිසර වේදීන් පෙන්වා දෙනවා. රථවාහනවලින් පිටකරන විෂදුම් මීට ප්‍රධාන හේතුවයි.

එම නිසා දැන් සිටම මහනුවර නගගරය බේරාගැනීම සඳහා අපගේ අවධානය යොමුවිය යුතුයි. දැනටමත් ආණ්ඩුව ඒ සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. මෙවර අය වැයෙන්ද පරිසර හිතකාමී තත්වයක් ඇතිකිරීම සඳහා යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙන්නේ මේ ගැන අවධානය යොමුකරලා.

ලෝකයේ බොහෝ රටවල දැඩි ලෙස පරිසරය විනාශවන්නේ කර්මාන්තශාලාවලින්. චීනයේ බීජිං නගරය හොඳම උදාහරණයක්. අපේ රටේ වායුව දූෂණය වන්නේ රථවාහනවලින්, කර්මාන්ත ශාලාවලින් අපේ රටේ පරිසරයට විශාල බලපැමක් තවමත් ඇතිවෙන්නේ නැහැ.

කැළැ විනාශ කිරීම පරිසරය විනාශ කිරීම සතුන් දඩයම් කිරීම ඇතුළු සිද්ධි නිසා තමයි අපේ රටේ පරිසරයට ප්‍රබල බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ.

ඔක්සිජන් ටැංකි පිටේ බැඳගෙන ඇවිදින්න ඔබ කැමතිද අපි කවුරුවත් කැමති නැහැ. ඒක නිසා එම තත්වයන් ඇතිවීම වළක්වා ගත හැක්කේ අපට පමණයි. එම නිසයි මුළු ලෝකයේම රටවල නායකයින් එකතුවෙලා තිරසර සංවර්ධන වැඩසටහන 2030 වසර ඉලක්ක කරගෙන ආරම්භ කරලා තියෙන්නේ ඒ සඳහා අප සියළුම දෙනා කැපවිය යුතුයි.

තිරසර සංවර්ධනයක් වෙනුවෙන් මුළු ලෝකයම කැපවිය යුතුව තිබුණේ මීට වසර 40කට 50කට පෙර. නමුත් දැන් ප්‍රමාද වැඩියි. ප්‍රමාද වෙලා හෝ මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීම ඉතා හොඳයි.

තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද තිරසර සංවර්ධනයක් සිදුවුණොත් පමණයි අපට අනාගත පැවැත්මක් තියෙන්නේ කියන පණිවිඩය මුලු මොණරාගල දිස්ත්‍රික්කයටත්, මුලු රටටත් ගෙන යාමට ඔබ සියලුම දෙනාට තිබෙන්නේ දැඩි වගකීමක්.

පරිසරය, සතා සිවුපාවා, ගහ කොළ රැකගෙන සිදුවන සංවර්ධනයට අප යොමුවිය යුතුයි. ඒ සඳහා අද සිට දැඩි ලෙස කැපවිය යුතුයි. මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට, විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, පාසැල් දරුවන්ට ඒ වගේම දේශපාලඥයින් වන අපට විශාල වගකීමක් මෙන්ම යුතුකමක් තිබෙනවා.

මොණරාගල දිස්ත්‍රික්කය කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්. පරිසරය, වන සම්පත හොඳින් තිබෙන දිස්ත්‍රික්කයක්. මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ප්‍රබල වශයෙන් පරිසරයට හානි සිදුවෙලා නැහැ. නමුත් ඉදිරියේදී සමාජයේ අවශ්‍යතාවයන් අනුව සංවර්ධන කටයුතු පුලුල් විය හැකියි. එම නිසා එවැනි සංවර්ධනයකදී තිරසර සංවර්ධනයක් වෙනුවෙන් කැපවිය යුතුයි.

මොණරාගල  දිස්ත්‍රික්කයේ ප්‍රබලව අලි මිනිස් ගැටුම වසර කිහිපයක් තිස්සේම පැවතෙනවා. පසුගිය කාලය තුළ මෙම ගැටුම අවම කිරීම සඳහා සත්ව මිනිස් සංහිඳියාව යන නව වැඩසටහන හදුන්වාදීමට ගරු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා කටයුතු කළා.

ආරක්ෂිත විදුලි වැටවල්වලට අමතරව වන අලින් වනය තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහනක් මීට ඇතුළත්. මොණරාගල දිස්ත්‍රික්කයේ ආරක්ෂිත විදුලි වැටවල් අලුත්වැඩියා කිරීමටත් අලුතෙන් විදුලිවැටවල් ඇති කිරීමටත් දැන් කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතිනවා. මීට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ දරුණු ගණයේ වන අලින් 10 දෙනෙකු පමණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අල්ලාගෙන ගොස් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනගොස් බාරදීලා තියෙනවා.

ලෝකයේ ඉදිරි වසර 15ක කාලය තුළ සියළුම දෙනාට පොදුවේ සමෘද්ධිය සහ පැවැත්ම යහපත්ව සිදුකරගෙන යාම සඳහා ලෝකයම එක්වී ඇතිකරගත් එකඟතාවයක් අනුව ක්‍රියාත්මක තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම අප සියලුම දෙනාට ඉතා වැදගත්වේ.

තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමේදී සත්වයින් හා පරිසරය සමග කෙරෙන සම්බන්ධයද ඉතාමත් වැදගත්. සාගර සම්පත් සුරක්ෂිතතාව 14වැනි ඉලක්කය වශයෙන් හදුන්වාදී තිබේ. වනජීවීන් ඇතුළු වන සම්පත් රැකගැනීම 15වැනි ඉලක්කය වශයෙන් හදුන්වාදී ඇත. තිරසර සංවර්ධනයේදී සතා සිවුපාවාට හා පරිසරයට දක්වා තිබෙන අවධානය එමගින්ම පෙන්නුම් කෙරෙනවා.

අපගේ අමාත්‍යංශය තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරි වසර 15 තුළ  ශ්‍රී ලංකාව තුළ ජය ගැනීමේ සුවිසල් අභියෝගය වෙනුවෙන් ක්‍රියාත්මක වේ. ලෝකයේ රටවල් 193ක ප්‍රධානීන් 2015 සැප්තැම්බර් මාසයේ දී නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ එක්වී තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ලෝකයට එළිදක්වනු ලැබීය. අපගේ අතිගරු ජනාධිපතිතුමාද ඊට එක්වීම අපේ රටට ගෞරවයක්.

තිරසර සංවර්ධන පරිණාමයේ දී කාන්තාවන් හා ගැහැණු ළමුන් විශේෂයෙන් අන්තර්ගත වියයුතුයි. මනා ඉලක්ක ගත සේවාවන් ඔස්සේ කාන්තාවන්ගේ හා ඔවුන්ගේ පවුල් වල සෞඛ්‍ය සහ ආරක්ෂාව වැඩි දියුණු  කිරීමට හැකි වන අතර ඵලදායි නොවන හා දෛනික කාර්යයන් වෙනුවෙන් කාලය වැය කරනු වෙනුවට සමාජ ආර්ථික හා දේශපාලන කටයුතු වල නිරත වීමට නිදහස ලබාදීමට තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ සහභාගීත්වය ඇතුළු තවත් ප්‍රතිලාභ ලබා ගත හැකිය.

මෙම ඉලක්ක 17න්, හතරවෙනි සහ පස්වෙනි ඉලක්ක කාන්තාවන්ට ළමයින්ට දැඩි සම්බන්ධකමක් දක්වනවා. හතරවෙනි ඉලක්කයෙන් කියන්නේ සියල්ලන් ඇතුළත් කරගන්නා සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම. පස්වෙනි ඉලක්කයෙන් කියන්නේ ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කරගැනීම සහ සියළු කාන්තාවන් හා ගැහැනු දරුවන් බලගැන්වීම.

අධ්‍යාපනයේ ඉලක්ක නිවැරදිව සපුරාගැනීමට හැකිවූවහොත් 2030වසර වන විට සමාජයේ පවතින ගැටළු රැසකට විසඳුම් ලැබෙනවා. දැනටමත් අපේරටේ අධ්‍යාපන මටිටම ලෝකයේ ඕනෑම රටක් පිළිගන්නවා. අපේ රටේ විද්වතුන් රැසක් ලෝකයේ විවිධ රටවල හා සංවිධානවල ප්‍රබල තනතුරු හොබවනවා.

නමුත් ගුණාත්මක අධ්‍යාපනයේ අඩුපාඩු සපුරාගතහොත් එය මේ රටේ දිළිදුකම මුළුමනීන්ම පිටුදැකීමට ලොකු ශක්තියක්.

ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කරගැනීමේදී දේශපාලනයේ, ආර්ථිකයේ සහ ජන ජීවීතයේ තීරණගැනීමේදී සෑමමට්ටමකම කාන්තාවන්ගේ පුර්ණ සහ ක්‍රියාකාරී සහභාගීත්වය සහ නායකත්වය සඳහා සමානාත්මතාවය තහවුරු කීරීමට ලැබීම හොඳ අවස්ථාවක් වනවා.

අතිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා ගියවසරේදීත් මේ වසරේදීත් ප්‍රකාශ කළේ තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ වැදගත්කමයි.

මිනිසා සත්වයා හා පරිසරය අතර පවතින සම්බන්ධය වඩාත් හිතකර ආකාරයෙන් ලෝකයේ පැවැත්ම හා අනාගතය වෙනුවෙන් ගොඩනැගීමේ අරමුණෙන් ජනතාව පෘථිවි තලය හා සමෘද්ධිය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම මෙ රට තුළ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ගරු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අප අමාත්‍යංශයට හිමිවීම ගැන සතුටු වෙමි.” යනුවෙන්ද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ, තිරසර සංවර්ධන උපදේශක උචිත ද සොයිසා, අතිරේක ලේකම්(තිරසර සංවර්ධන) එම්. එම්. එස්. බී. යාලේගම, අධ්‍යක්ෂ (තිරසර සංවර්ධන) ප්‍රදීප් සපුතන්ත්‍රි, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී. එස්. පද්මකුලසූරිය, ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පති, මොණරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසැල් විදුහල්පතිවරුන්, මොණරාගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම තිරසර සංවර්ධන දිස්ත්‍රික් වැඩමුළුවට සහභාගී වූහ.

– ප්‍රසාද් මංජු

10,866 Viewers
Main News