දිවිනැගුම සේවකයන්ට ජනාධිපති අතින් පත්වීම් ලිපි..

December 6, 2016 at 2:04 am | lanka C news
දිවිනැගුම සේවකයන්ට ජනාධිපති අතින් පත්වීම් ලිපි..

දිවිනැගුම සේවකයන්ට මෙතෙක් පැවැති පත්වීම් ලිපිය පිළිබඳ ගැටළුව නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයන් 75 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍ර‍ධානය කළේය.

සෙනසුරාදා ( 03) පොළොන්නරුවේදී පැවැති ආබාධ සහිත වුවන්ගේ ජාත්‍යන්තර දින සැමරුම් ජාතික උත්සවය අවසානයේදී සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා මෙසේ එම පත්වීම් ලිපි ප්‍රදානය කළේය.

2014 දී ශ්‍රීලංකා සමෘද්ධි අධිකාරිය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව බවට පත්කිරීමේදී සේවකයන් හට විශ්‍රාම ගැනීමේ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට එක්වීම සඳහා ක්‍ර‍ම විධි යෝජනා වූ අතර රුපියල් ලක්ෂ 10 ක වන්දියක් හා සේවා අර්ථසාධක අරමුදල් සහිතව සේවයෙන් ඉල්ලා අස්වීම, අර්ථසාධක අරමුදල් ලබාගෙන නව සේවකයින් ලෙස දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍ර‍හණය වීම හා පැරණි සේවා කාලය ද සහිතව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍ර‍හණය වීම එම ක්‍ර‍ම විධි අතර විය.

එසේ හඳුන්වා දුන් ක්‍ර‍ම විධි ඔස්සේ අළුතෙන් ස්ථාපිත කරනු ලැබූ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට එක්වූ සේවකයන් හට විධිමත් පත්වීම් ලිපියක් නිකුත් කරනු ලැබ නොතිබූ හෙයින් සේවකයන් බොහෝ පිරිසකට ගැටළු රාශියකට මුහුණ පාන්නට සිදුවී තිබුනි.

විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ ගැටළුව, අර්ථසාධක අරමුදල් ලබා ගැනීමට ඇති ගැටළුව,වැන්දඹු අනත්දරු අරමුදල් ලබා ගැනීමේ ගැටළු ඉන් ප්‍ර‍ධාන වූ අතර මේවාට විසඳුම් ලබා ගැනීම සඳහා කීප අවස්ථාවක දිවිනැගුම සේවකයෝඋද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට පවා යොමු වූහ.

එහෙත් පසුගියදා අයවැය විවාදයේදී සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශ වැය ශීර්ෂයට පෙර දිවිනැගුම ඒකාබද්ධ වාත්තිකයින්ගේ සංගමය හා මුදල් අමාත්‍යාංශ බලධාරීන් අමාත්‍ය එස්.බී.දිසානායක මහතා හා මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් පැවැති සාකච්ඡාවකදී ගැටළු බොහොමයක් විසඳාගැනීමට හැකි වූ බව පසුව පැවැති මාධ්‍ය හමුවකදී සාකච්ඡාවලට සහභාගිවූ දෙපාර්ශවයම ප්‍ර‍කාශ කළහ.

– සංජය දසනායක

2,071 Viewers

One Comment to “දිවිනැගුම සේවකයන්ට ජනාධිපති අතින් පත්වීම් ලිපි..”

  1. හිරවා says:

    මේ මිනිස්සු මේ දේශද්‍රෝහියාට වදින්නේ ඇයි ? ඔහු පිදිය යුත්තෙක් නොවේ ගෞරව කල යුතු පුද්ගලයෙක් ද නොවේ ..දැනට අපේ රට ජාතියට ආගමට කර ඇති විනාශය ගැන හිතන්න …රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට දේශපාලකයින් බැදී සිටිනවා
    ජන්දේ දීලා බලයට පත් කරපු දේශපාලුවන්ට වදින්නේ කුමකටද ? මෝඩයෝ වගේ හැසිරෙන්න එපා

Main News