දුමින්දට එරෙහිව දුන් තීන්දුව සිය දහස්වරක් කියෙව්වත් වරදකරු කළේ ඇයි දැයි තේරුම් ගැනීම අපහසුයි…

September 9, 2018 at 3:50 pm | lanka C news
දුමින්දට එරෙහිව දුන් තීන්දුව සිය දහස්වරක් කියෙව්වත් වරදකරු කළේ ඇයි දැයි තේරුම් ගැනීම අපහසුයි…

කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉතා ප්‍රබල දේශපාලන චරිතයක් වූ දුමින්ද සිල්වා පිළිබඳව මේ දිනවල නැවත කතා බහට ලක්ව තිබේ. ඒ ඔහු වෙත පනවන ලද මරණ දණ්ඩනයට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කර තීන්දුව ප්‍රකාශ කිරීමට ඉතිරිව ඇත්තේ තව දින කිහිපයක් පමණක් වන බැවිනි.

ජනතාවාදී දේශපාලනය තුළින් විශාල ජනප්‍රියත්වයක් ලබා සිටි දුමින්ද සිල්වා තමා ඉදිරිපත් වූ සෑම ඡන්දයකින්ම ඉතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය. ඡන්දයකට පමණක් සීමා නොවූ ඔහුගේ ජනප්‍රියත්වය කොළඹ දිස්ත්‍රික්කයේ බාල, මහලු, දුප්පත්, පොහොසත් සෑම දෙනා අතරම සමව බෙදී ගියේය. වෙනස් ආරක දේශපාලන ගමනක නිරත වූ දුමින්ද සිල්වා දුප්පතුන්ගේ අවශ්‍යතා වෙත අවධානය යොමු කරමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කළේය. පාසල් දරුවන් වෙනුවන් පාසල් උපකරණද, ආබාධිතයන්ට අවශ්‍ය ආධාරක උපකරණද, නිවාස නොමැති අයට නිවාස තනාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍යද, ස්වයං රැකියාවල යෙදෙන්නන්ට ඒ සඳහා අවශ්‍ය ආධාර සහ අමුද්‍රව්‍යද ආදී නොයෙකුත් දේද ලබාදුන්නේය.

දුප්පතුන්ට ලබාදෙන නියං සහනාධාර, සෙවිලි තහඩු වැනි දේ පවා සොරකම් කරන සමහර දේශපාලනඥයන් සිටින යුගයක, දුමින්ද සිල්වාගේ මේ මානවහිතවාදී දේශපාලනය සමහරකුට ඉවසුම් නොදෙන්නට විය. මෙවැනි කරුණු හේතු කොටගෙන ඔහුගේ දේශපාලන ගමන වළකන්නට සමහර දේශපාලනඥයෝ මාන බලමින් සිටියෝය. මේ නිසාම ඔහුගේ ජනප්‍රියත්වය ඡන්දයේදී ඔහුට වැඩි මනාප ලබාදුන්නා සේම දේශපාලන පිටියේදී සතුරන් බිහි කරන්නටද හේතු වූ අතර, ඔවුහු ඔවුන්ගේ පටු දේශපාලන අභිප්‍රායන් ඉටු කර ගැනීමට දුමින්දගේ චරිතය ඝාතනය කරන්නට දැඩි පරිශ්‍රමයක් දැරුවෝය.

2011.10.08 දින පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී දුමින්ද සිල්වාට බලාපොරොත්තු නොවූ අයුරින් වෙඩි ප්‍රහාරයකට ලක්වීමට සිදුවිණි. එයින් හිසෙහි ඇති වූ මරාන්තික තුවාල සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර ප්‍රතිකාර ලබන කාලය තුළ පවුලේ අය හැර වෙනත් කිසිවකුට රෝගියා බැලීමට අවස්ථාව නොලැබුණේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත තුවාලවලට විසබීජ ඇතුළුවීමේ අවදානම අවම කිරීම සඳහාය. මේ අවස්ථාව මාධ්‍යටද නිරාවරණය නොවූ හෙයින් බොහෝ බොරු ප්‍රචාරවලට අවස්ථාව ලැබිණි. මෙය අවස්ථාවක් කරගත් දුමින්ද සිල්වාගේ විරුද්ධවාදීන්ට හිතවත් මාධ්‍ය සහ වෙබ් අඩවි මඟින් විශාල ලෙස මඩ ව්‍යාපාර දියත් කෙරිණි.

2011 නොවැම්බර් 2 වැනි දින වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යනු ලැබූ අතර වසර එකහමාරක කාලයක් එහිදී විශේෂඥ වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර කෙරිණි. රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් පවතිද්දී ඔහු ලංකාවට පැමිණියේ ලංකාවේදී ලඝු නොවන උසාවියේ නඩුවලට පෙනී සිටීමට අවශ්‍ය නිසා බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව තිබූ අතර ලංකාවට පැමිණි වහාම රෝහල්ගත කළ යුතු බවද එහි සඳහන්ව තිබිණි. මේ අනුව නවලෝක රෝහලට ඇතුළත් කළ අතර ඔහුට ප්‍රතිකාර ලබන්නට වූයේ රිමාන්ඩ් රැඳවියකු ලෙසිනි. ඉන් අනතුරුව ලඝු නොවන උසාවියේදී මෙම නඩුව විභාගයට ගැනිණි. පසුව මෙම නඩුව මහාධිකරණය වෙත යොමු කෙරුණු අතර ඉන් අනතුරුවද නැවැත සාක්ෂි කැඳවමින් නඩුව විභාග කෙරිණි.

නව රජය පත්වීමත් සමඟම නැවැතත් මෙම නඩුව දිනපතා අසන ත්‍රිපුද්ගල මහාධිකරණයක් වෙතට යොමු කෙරිණි. එම නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි රාශියක් කැඳවූ අතර විත්තියේද 5-6 දෙනකුගේ සාක්ෂි කැඳවිණි. මෙසේ විත්තියෙන් කැඳවන සාක්ෂිකරුවන් බොහෝමයක් රජයේ සේවයේ නියුතු වී සිටි නිල සාක්ෂිකරුවෝ වූහ. මේ වන විට නව රජයේ දේශපාලනමය වශයෙන් ඉතාමත් ප්‍රබල ස්ථානයක පසුවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අදෘශ්‍යමාන හස්තය යම් යම් බලපෑම් කරන්නට විය. දුමින්ද සිල්වාට වෙඩි වැදීම බොරුවක් ලෙස හුවා දක්වමින් ඔහු ලබාදුන් සාක්ෂිද හාස්‍යයට ලක්වන අන්දමේ කතා දේශපාලන වේදිකාවේත්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලත්, අන්තර්ජාල හා සමාජ මාධ්‍යවලත් ප්‍රචලිත කරන්නට විය. එසේ වුවද සත්‍ය තත්ත්වය වූයේ දුමින්දට වෙඩි පහර දෙකක් නළලට වැදී මොළය පසාරු කරගෙන ගොස්, ශල්‍ය කර්මවලින් ඉවත් කළ නොහැකි යකඩ කැබැලි තවමත් හිස තුළ ඇති වූවෙන් ඔහුගේ මොළයට වූ කම්පනය හා සංඝටන හානිය නිසා එම සිද්ධිය වූ ආකාරය ඔහුගේ මතකයෙන් ගිලිහී ගොස් තිබීමයි. මොළයට දැඩි අනතුරක් ඇතිවූ විට මතකය නැති වී යෑම බොහෝ අවස්ථාවලදී වෛද්‍ය විද්‍යාවෙන්ද තහවුරු වී තිබෙන අතර, දුමින්ද සිල්වාගේ මෙම තත්ත්වය වෛද්‍ය වාර්තාවලද පිළිගෙන ඇත. මෙම පැවැසීම් ඉත්තකු කරගත් ඔහුගේ විරුද්ධවාදීහු මතක නැති වීම අපහාසයට හා උපහාසයට ලක් කළහ. රෝගී තත්ත්වයකට උසුළු විසුළු කරන අද සමාජයේ නූගත් සුළුතර කොටසක් දුමින්ද සිල්වාට මුලින්ම වෙඩි තබා ඔහුව ඝාතනයට තැත් කොට ඇති බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් තවමත් මතක නැති කතා ඉස්මතු කරෙමින් එය බොරුවක් යැයි සමාජගත කරන්නට හදන්නේ නොදැනුවත්කම නූගත්කම කෙනෙහිලිකම නිසා දැයි යන්න මේ සමාජය තෝරාගත යුතුව ඇත.

2015 සැප්තැම්බර් 8 වැනි දින ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවන් තුනෙන් දෙදෙනකුගේ මතය මත දුමින්ද සිල්වාට මරණ දණ්ඩනය නියම විය. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු වූ ශිරාන් ගුණරත්න මහතා දුමින්ද සිල්වා ඇතුළු අනෙක් විත්තිකරුවන් සියලු වැරදිවලින් නිදහස් කොට අපක්ෂපාතී තීන්දුව ලබාදුන්නේය. ඒ අවස්ථාවේදී ඒ මහතාටද විවිධ වෙබ් අඩවි මඟින් විවිධ මඩ ප්‍රහාර එල්ල කරන ලද්දේ එම විරුද්ධවාදී පාර්ශ්වයන්ගේ මෙහෙයවීම මතයි. අධිකරණයේ ඉදිරිපිට පොල් ගැසීම, උද්ඝෝෂණ පැවැත්වීම වැනි හිරුණිකා මාධ්‍ය සංදර්ශන නිසාත් නඩු තීරණවලින් පසු තමාගේ බඹරේ වැල්ලේ කැරකෙන බව සහ තමාගේ කටේ බලය නිසා මෙම තීන්දුව ලැබුණු බව පැවැසීමෙන් හා අධිකරණයට අභූත චෝදනා කරමින් ඔවුන් අපහසුතාවට පත් කරමින් යම් බලපෑම් කිරීමට තැත් කිරීමෙන් අධිකරණය අපහාසයට ලක් කර ඇත.

ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව අවසානයේදී සියලු දෙනා වැරදිකරුවන් ලෙස නම් කරමින් පද්මිණී රණවක විනිසුරුවරිය ප්‍රකාශයට පත් කළ තීන්දුවද ශිරාන් ගුණරත්න මහතා විසින් සියලුදෙනාම නිදහස් කරමින් ප්‍රකාශ කරන ලද තීන්දුවද දීර්ඝ ලෙස විග්‍රහ නොකොට තුන්වැනි විනිසුරු මොරායස් මහතා “පද්මිණී රණවක මහත්මියගේ තීන්දුවට හේතු රහිතව මම එකඟ වෙමි” යැයි සටහන් තැබීමෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ව්‍යවස්ථාවෙන් රට වැසියන්ට ලබාදී ඇති නීතියේ සාධාරණත්වය විත්තිකරුවන්ට මුළුමනින්ම උල්ලංඝනය වනු ඇති බවද ඒ නිසාම මෙම නඩු තීන්දුව නීත්‍යනුකූල නොවනු ඇති බවට ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉදිරියේ ජනාධිපති නීතිඥවරු නීති සංග්‍රහයේ වගන්ති උපුටා දක්වමින් පැහැදිලි කළහ.

මහාධිකරණ නඩු තීන්දුව අවසානයේදී ත්‍රිපුද්ගල විනිසුරුවරුන් ඇමතූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සඳහන් කළේ, මෙම නඩු තීන්දුව නීතියේ සාධාරණත්වයට පිටුපා ඇති බවත් මෙපමණ උෟනතාවන් හා පරස්පරතා පෙන්වා දී තිබියදීත් සාක්ෂිකරුවන්ගේ අවංකභාවයක් නොමැති බව පෙන්වා දී තිබියදීත් නීතිඥවරුන් මෙපමණ මහන්සි වී නීතිමය ප්‍රතිපාදන ඉස්මතු කරමින් හා මීට පෙර සනාථ කර ඇති ශේ‍ර්ෂ්ඨාධිකරණ නඩු තීන්දු තම වාචික හා ලිඛිත දේශනාවලින් සාධාරණ නාමයෙන් ඉදිරිපත් කර තිබියදීත් ඒවා ගැන කිසිම තැකීමක් හෝ අවධානයක් යොමු නොකරමින් සියලු නීතිමය පිළිගැනීම්වලට පටහැනිව, නීතිපති දෙපාර්තමේන්තුවේ සියලු ඉදිරිපත් කිරීම් පිළිගෙන, කිසිම විග්‍රහයකින් තොරව නඩු තීන්දුව පද්මිණී රණවක විනිසුරුවරිය ප්‍රකාශ කිරීම කනගාටුවට කාරණයක් පමණක් නොව නීතියේ සාධාරණත්වයට කර ඇති විශාල හානියක් නිසා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ සාධාරණත්වය පතා ඇපෑලක් ඉදිරිපත් කරන බවය.

මේ ආකාරයෙන් දෙන ලද අනපේක්ෂිත තීන්දුව කෙරෙහි සෑහීමට පත් නොවූයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයෙහි අභියාචනයක් ගොනු කරන ලද්දේ ත්‍රිපුද්ගල අධිකරණයක් මඟින් දෙන ලද තීන්දුවක් අභියෝගයට ලක් කළ හැකි එකම ස්ථානය අගවිනිසුරුවරයා විසින් තම ප්‍රධානත්වයෙන් යුතුව නම් කරන ලද පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයකින් සැදුම් ලත් පූර්ණ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයකට පමණක් වන බැවිනි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අලුවිහාරේ, නලින් පෙරේරා සහ විජිත් කේ. මලල්ගොඩ යන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ මෙම පංච පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සමන්විත විය.

දුමින්ද සිල්වා පාර්ශ්වය සහ අනෙක් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ මණ්ඩලයකි.

අභියාචනාධිකරණය ප්‍රථම වරට කැඳවන ලද්දේ 2017 නොවැම්බර් මස 27 වැනි දින එහිදී මූලික කරුණු තහවුරු කිරීම සඳහා නීතිපතිවරයාටත් පෙත්සම් පාර්ශ්වයටත් දින නියම කෙරිණ. මූලික කරුණු තහවුරු කිරීමේ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් මෙම අභියාචනය විභාගයට නොගෙනම ඉවතට දමන ලෙස කරන ලද යෝජනාව විනිසුරු මඬුල්ල විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

මේ අනුව පුරා දින 4ක් මූලික කරුණු විමර්ශනය හා පුරා දින 14ක් අභියාචනා විභාගයද පවත්වන ලදී. ජූලි 25 යන දින වාචික නඩු විභාගය අවසන් කෙරුණු අතර ලිඛිත දේශනය ලබාදීම අගෝස්තු මස 10 වැනි දින අවසන් විය.

ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරිය ලියා නිකුත් කොට ඇති නඩු තීන්දුවෙහි දුමින්ද සිල්වා වැරදිකරු ලෙස නම් කිරීම හුදෙක් මෙම නඩුවේ සාක්ෂි සහ සත්‍ය තොරතුරු පදනම් කරගෙන නොව දුමින්ද සිල්වා වැරදිකරු ලෙස පූර්ව නිගමනය කර යම් යම් පාර්ශ්වයන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ලියන ලද්දක් බව දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනිල් සිල්වා මහතා විසින් පෙන්වා දෙන ලදී. දුමින්ද සිල්වා මහතා පිළිබඳව තීන්දුවේ සඳහන්ව ඇති ප්‍රකාශ තුළින් මෙහි පක්ෂග්‍රාහිත්වය පිළිබිඹු වන බවත්, යම් විනිසුරුවරයකු හෝ විනිසුරුවරියක තම මධ්‍යස්ථභාවය පිළිබිඹු වන අයුරින් තම ප්‍රකාශ නිකුත් කිරීමට වගබලා ගතයුතු බවද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළ්ය. මේ නඩු තීන්දු වාර්තාව සිය දහස් වරක් කියවුවත් දුමින්ද සිල්වා වැරදිකරු ලෙස නම් කළේ කුමන පදනමක් මතදැයි තේරුම් ගැනීම ඉතා අපහසු බවද ඔහු සඳහන් කළේය. මෙම නඩුවේ සමහර සාක්ෂි පසුව එකතු කර ඇති බවද සෑම පොලිස් නිලධාරීයකුගෙන්ම මුලින් ලබාගත් ප්‍රකාශන 3-4ට අමතරව පසුව නිර්මාණය කළ අලුත් සිද්ධීන් ඇතුළත් කර ඇති බවත් පසුව ඇතුළත් කළ මෙම සියලුම සාක්ෂි පොලිස් නිලධාරීන්ට හදිසියේ එක්වරම මතක් වීම දේව වරමක් දැයි නීතිඥවරු ප්‍රශ්න කළහ.

දුමින්ද සිල්වාට වෙඩි වැදීමත් භාරතගේ මරණ සිද්ධියත් සිදුවූයේ කොටිකාවත්ත මුල්ලේරියා පළාත් සභා ප්‍රදේශයේ හිඹුටානේදීය. ඔහු උදේ 6.30 සිට දහවල් 2.30 දක්වා (පැය 7 1/2) කොළොන්නාව නගර සභා ඡන්ද ප්‍රදේශයේ තමිල්නාඩු ප්‍රදේශයේ රැඳී සිටීමත් නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව නඩු විභාගයේදී තැත් කර ඇති බවත් එවැනි චෝදනාවක් චෝදනා පත්‍රයේ නොමැති අවස්ථාවකදී මහාධිකරණ විනිසුරුවරිය එය සනාථ කිරීමද පුදුම සහගත බවත් නීතිඥවරු සඳහන් කළහ. ඡන්ද මධ්‍යස්ථානය නිරීක්ෂණය කරමින් යනවිට රාහුල විද්‍යාලයට සෙනඟ එකතුවී සිටිනු දැක එහි නැවැතී, ඇයි ඉන්නේ? ඡන්දය දාලා ඉවරද? කාටද ඡන්දය දැම්මේ? කියා ඇසීමටද නීති විරෝධී රැස්වීමක් ඇති කරන කණ්ඩායමක සාමාජිකයන්ගේ ක්‍රියාවක් ලෙස චෝදනා නඟමින්, සොලංගාරච්චිගේ බිරියගේ සාක්ෂිවලින් අෑට කිසිදු තර්ජනයක් වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කළ බවට සඳහන් නොකළද ඇයට තර්ජනය කළා යැයි චෝදනා පත්‍රයේ තවත් සඳහනක් කිරීමත්, අලුතෙන් තුවක්කුවක් පොලිස් නිලධාරියකු අතට දුන්නා යැයි කියන සිද්ධිය සියලුම සාක්ෂිදුන් පොලිස් නිලධාරීන්ට සාක්ෂි සටහන් 3-4 කට පසුව හා දින 6-7 කට පසු එක්වරම මතකයට පැමිණීමත්, චෝදනා එල්ල කිරීමේ චේතනාවෙන් සාක්ෂි ඇමිණීමට තැත් කරමින් චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීම කුමන්ත්‍රණයක් යැයි නීතිඥ මහත්වරුන් සාක්ෂිවල පරස්පරතා සහ නීතිපති දෙපාර්තමේන්තුව සටහන්ද උපුටා දක්වමින් පෙන්වා දුන්නේය. මෙම නඩුවේ චෝදනා ගොනුකර තිබුණේ “ඡන්දදායකයන්ට අවි පෙන්වා බිය ගැන්වීමේ” පොදු අරමුණක් මත මෙහි විත්තිකරුවන් කටයුතු කළ බව හුවා දක්වමින්ය. ඒවා සනාථ කිරීමට පිළිගත හැකි කිසිදු සත්‍ය සාක්ෂියක් නැති බවද විත්තියේ නීතිඥවරු ප්‍රකාශ කළහ. එසේම රාහුල විද්‍යාලය අසලදී සෝලංගාරච්චිගේ බිරියට හා විශේෂ කාර්ය බළකායේ පොලිස් නිලධාරියකුට තර්ජනය කළ බවට චෝදනා එල්ල වී තිබුණද එම චෝදනා සම්බන්ධයෙන් කිසිම පොලිස් පැමිණිල්ලක් නොතිබුණු අතර පොලිස් නිලධාරීන් විසින් ඒ අසල වූ ඡන්ද මධ්‍යස්ථානයේ හෝ ඔවුන්ගේ සාක්ෂි සටහන් පොත්වල සටහනක් තබනු නොලැබීම මඟින්ම මෙම චෝදනාද පොලිසිය විසින් පසු අවස්ථාවක ගොතන ලද, සාක්ෂි මත පදනම් වූ අසත්‍ය චෝදනා බව ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලදී. තවද නීති විරෝධී කණ්ඩායමක් ස්ථාපිත වූ බවට කිසිම පිළිගත හැකි ක්‍රියාවකින් තහවුරු වී නොමැති බවත් නීති විරෝධී කණ්ඩායමක් යනුවෙන් නම් කිරීමට අවශ්‍ය සෑහීමකට පත් විය හැකි පොදු අරමුණක් ඔප්පු වී නැති බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි සියලු ජනාධිපති නීතිඥවරු පෙන්වා දුන්හ.

මෙහි සාක්ෂි සියල්ලම භාරතගේ පාර්ශ්වයෙන් දුමින්ද සිල්වාට පළමුවෙන්ම වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම වසන් කොට, දුමින්ද සිල්වා රෝහලට ගෙන යෑමට ඉවත් කළ පසු ඇතිවූ වෙඩි හුවමාරුවක් නිසා සිදුවූ භාරතගේ මරණයට, දුමින්ද සිල්වා වරදකරු කිරීමට ගොතන ලද කතාන්දර පෙළක් බව විත්තියේ නීතිඥවරු සාක්ෂි සහිතව පෙන්වා දුන්හ. සිද්ධීන්වල සත්‍ය විස්තර අධිකරණය හමුවේ පෙන්වීමට නොහැකි වන පරිදි වඩා වැදගත් සාක්ෂි ඉදිරිපත් කළ හැකි සාක්ෂිකරුවන් සාක්ෂි දීමට කැඳවීම නීතිපති දෙපාර්තමේන්තුව හිතාමතා මඟහැර ඇති බවද නීතිඥවරු පෙන්වා දුන්හ.

අහම්බෙන් සිදුවූ බහින්බස් වීමකින් අවසන් වන්නට තිබූ ආරවුල මරණීය ඛේදවාචකයක් දක්වා වර්ධනය වූයේ “භාරතව ඉවතට තල්ලු කර දුමින්ද ආපසු හැරී යද්දී” භාරතගේ ආරක්ෂක ගාමිණී නමැත්තා විසින් දුමින්ද සිල්වා වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාර දෙක නිසා බව ජනාධිපති නීතිඥවරුන් සාක්ෂි සහිතව හුවා දැක්වූ අතර නීතිපතිවරයා නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මහතාද එම කරුණ සත්‍යයක් බව පංචපුද්ගල විනිශ්ච මණ්ඩලය හමුවේ පිළිගැනීම මෙම නඩුවෙහි විශේෂත්වයකි.

භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී මුලින්ම දුමින්ද සිල්වාගේ හිසට වෙඩි පහර එල්ල කිරීමත් සමඟම දුමින්ද සිල්වා මළ කඳක් මෙන් සිහිමූර්ඡා වී ඇදවැටුණු බවත් ඔහු ක්ෂණයකින්ම එතැනින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන ගිය අතර ඉන්පසු සිදුවූ කිසිදු සිදුවීමක් සම්බන්ධව දුමින්ද සිල්වාට කිසිදු වගකීමක් නොමැති බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් පෙන්වා දෙන ලදී. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඔහුට ශල්‍යකර්මයක් කළ අතර ඔහුගේ නළල හරහා මොළය පසාරු කරමින් වෙඩි උණ්ඩ දෙකක් එල්ල කර ඇති බවද වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබූ අතර ඔහුගේ හිසෙහි විශාල කැබැල්ලක් ඉවත් කිරීමට සිදුවීය.

සාක්ෂිකරුවන් 62 කගේ සාක්ෂි ඇතුළුව ඉදිරිපත් වූ සාක්ෂි අතරෙන් දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන්ට වෙඩි තැබූ බවක් හෝ ඒ සඳහා සැලසුම් සකස් කළ බවක් හෝ ඔහුගේ ආරක්ෂකයන් ඒ සඳහා කිසිදු ක්‍රියාවකට සහභාගි වූ බවක් හෝ පෙනී නොයන බවද ජනාධිපති නීතිඥවරු තරයේ කියා සිටියහ.

මහාධිකරණ නඩු විභාගයේදී 27 වැනි සාක්ෂිකරු වූ සංජීව ප්‍රසාද්, දුමින්ද සිල්වාට ප්‍රථම භාරත ලක්ෂ්මන්ට වෙඩි වැදුණු බව ප්‍රකාශ කිරීම සාවද්‍ය ප්‍රකාශයක් බවත් එය සිද්ධියෙන් දින 6 කට පසුව පැමිණිලි පාර්ශ්වය වාසි ලබාගැනීමට හිතා මතා ගොතන ලද්දක් බවත් ජනාධිපති නීතිඥවරු පෙන්වා දුන්හ. එපමණක් නොව භාරතට සියලු වෙඩි වැදී ඇත්තේ ඔහුගේ පිටුපසට බවත් එය ඔහු දුමින්ද සිල්වා ඝාතනය කිරීමට වෙඩි තබා බිම හෙළුවාට පසු, ආපසු දුවමින් සිටින විට විය යුතු බවත් සියලු වෛද්‍ය වාර්තාවලින් හා සාක්ෂිවලින් ඔප්පු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන් අතර දුමින්ද සිල්වා වෙඩි වැදී රෝහලට ගෙන යන අතරතුරද, පසුද දෙපාර්ශ්වයෙන්ම තබන ලද වෙඩි හුවමාරු වන හඬ ඇසුණු බව සෙසු පැමිණිල්ලේ සාක්ෂිවලින්ම පෙනී යන බවත් පෙන්වා දී ඇත. මෙම සාක්ෂිකරු දිගු කලක් තිස්සේ භාරත ලක්ෂ්මන්ගේ පවුලට සම්බන්ධව, ඔවුන්ගේ උදවුවෙන් වරාය අධිකාරියේ රැකියාවක්ද ලබාගෙන පවුලේ සියලු කටයුතුවලට සම්බන්ධව ක්‍රියා කරන නිසා මෙලෙස සාවද්‍ය ප්‍රකාශ උසාවියට ලබාදී ඇති බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පැවැසුවේය.

විනිසුරුවරිය දෙන ලද තීන්දුවේදීත් 27 වැනි සාක්ෂිකරුගේ සාක්ෂිය වැදගත්කමක් නොමැති ලෙස දක්වා ඇත්තේ මහාධිකරණය විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දීගත නොහැකිව විත්තිය ඉදිරිපත් කළ සාධක ප්‍රතික්ෂේප කළ නොහැකිව නිශ්ශබ්දව බලා සිටි නිසා බවද ඔවුහු තවදුරටත් කියා සිටියහ. එය එසේ වුවද විනිසුරුවරිය දුමින්ද සිල්වා වැරදිකරු ලෙස තීන්දුව ලබාදීමට 27 වැනි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි හා භාරත ලක්ෂ්මන්ගේ සමීප හිතවතකු වන ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිය වන නිලංකා මධුෂානි නමැති අයගේ උෟනතාවන් හා පරස්පරතා බහුල සාක්ෂිද යොදා ගැනීම ඉතාමත් අසාධාරණ බව ජනාධිපති නීතිඥවරු අවධාරණය කළහ.

තවද භාරතගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් භාරතගේ රියැදුරු සමන් නොහොත් බෝලේ සාක්ෂි දීමට නොකැඳවූයේ හිතා මතා සත්‍ය වසන් කිරීමට බව අධිකරණය ඉදිරියේ පිළිගැනීමට සිදුවන බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් පෙන්වා දෙන ලදී. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමන් ශේ‍ර්ෂ්ඨාධිකරණයට එවිට ප්‍රකාශ කළේ ඔහු සාක්ෂි දීමට අකැමැති බව දිවුරුම් ප්‍රකාශයක් මඟින් සඳහන් කර ඇති බවය. එවැනි දේ පමණක් දිවුරුම් ප්‍රකාශයේ ලබා දුන්නා යැයි සිතිය නොහැකි අතර එවැනි අවස්ථාවලදී සාක්ෂි දෙන ලෙස ඔහුට බලකිරීමට නීති ප්‍රතිපාදන ඇති බවද පිළිගත යුතුව ඇත. එසේ නම් මෙම දිවුරුම් ප්‍රකාශය අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යුතුව තිබූ අතර එය ගැන මෙතෙක් සඳහන් නොකිරීමම සැකයට තුඩුදෙන දෙයකි.

මෙම නඩුවට අදාළ විමර්ශන කටයුතු කරගෙන යෑමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පක්ෂග්‍රාහීව ක්‍රියාකොට ඇති බවද ජනාධිපති නීතිඥවරුන්ගේ අවධානයට ලක් වී තිබේ. මෙම නඩුවේ 3 වැනි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන 2011 ඔක්තෝබර් 13 වැනි දින පිටුවහල් කරනු ලැබ ඇත. සාමාන්‍යයෙන් සිදුවන්නේ එවැනි පුද්ගලයකු ගුවන් යානයේ කපිතාන්වරයා විසින් ගුවන් තොටුපොළ බලධාරීන් වෙත ඔහුගේ ගමන් බලපත්‍ර සහ අදාළ ලියකියවිලි ද සමඟ භාර දීමයි. නමුත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 3 වැනි සැකකරු කටුනායක 18 කණුව අසලදී අත්අඩංගුවට ගත් බවට සටහන් තබා ඇත. ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, මෙම නිලධාරීන් එසේ කිරීමට හේතුව ලෙස සඳහන් කළේ චෝදනාවට අදාළ ආයුධ ඔහු ළග තිබී සොයා ගත් බවට කරුණු දැක්වීම සඳහා අවශ්‍ය පසුබිම් කතාව සැකසීම සඳහා බවය.

3 වැනි විත්තිකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගෙන් බලහත්කාරයෙන් අස්සන් ගත්තා යැයි කියන හිස් කොළවලට ඇතුළු කර ඇති තොරතුරු මත ඔහුගේ කුලියට දී ඇති නිවෙසේ වතුර ටැංකියේ එක් ගිනි අවියකුත් එම නිවෙසේ කුස්සියට යාර කිහිපයකට එහා ලෑල්ලක් යට තිබී තවත් ගිනි අවියකුත් සොයා ගත් බව සඳහන් වුවද එම නිවෙසේ කුලියට සිටින අයකු හෝ එම ආයුධ සොයා ගත් පොලිස් සැරයන්වරයකු හෝ සාක්ෂි සඳහා කැඳවා නොතිබීමෙන් පෙනී යන්නේ මෙම කතාව ඉහත කී අරමුණ වෙනුවෙන් ගොතන ලද්දක් බව ජනාධිපති නීතිඥවරයා පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ප්‍රකාශ කළේය.

මෙම නඩුවේ මිනීමැරුම් චෝදනාවලට අදාළව සාක්ෂි විග්‍රහ කිරීමේදී භාරත පාර්ශ්වය හා දුමින්ද පාර්ශ්වය හිඹුටානේදී හමුවීම කිසිවකු අපේක්ෂා නොකළ අහඹු සිදුවීමක් බවත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙන්වා සිටියේය. එසේම දුමින්ද සිල්වාට එම අවස්ථාවේදී ගාමිණී විසින් මුලින් වෙඩි තැබුවද කිසිවකු අපේක්ෂා කළ තත්ත්වයක් නොවන බවද එසේම පොදු අරමුණ පිහිටා විත්තිකරුවන් වරදකරුවන් කළ නොහැකි බවද ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන් අතර මුලින්ම දුමින්ද සිල්වාට වෙඩි වැදීම පැමිණිල්ල වෙනුවෙන්ද පිළිගෙන තිබීම මෙහිදී වැදගත් කරුණක් විය.

භාරතගේ ආරක්ෂක ගාමිණී නමැත්තා දුමින්ද සිල්වාගේ හිසට පළමුවෙන්ම වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධව ඉතා පැහැදිලි සාක්ෂි තිබියදීත්, දුමින්ද සිල්වා වැරැදිකරු කොට මරණ දඬුවම නඩු තීන්දුවෙන් නියම කොට තිබීම පමණක් නොව එම නඩු තීන්දුවේම ගාමිණී නමැත්තාට විරුද්ධව දුමින්ද සිල්වාට වෙඩි තැබීම සම්බන්ධව නඩු කටයුත්තක ඇති බවට සාවද්‍ය සටහනක් කිසිම සාක්ෂියක් නොමැතිව සඳහන් කිරීම විස්මය සහගත නිගමනයක් මෙන්ම අධිකරණය නොමඟ යැවීමට දැරූ ප්‍රයත්නයක් බවට නීතිඥවරු පෙන්වා දුන්හ.

මෙම නඩු තීන්දුවේ පවතින තවත් උෟනතාවක් ලෙස ජනාධිපති නීතිඥවරයා පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙන්වා දී ඇත්තේ අනෙක් සියලු සාක්ෂිකරුවන් 100% විශ්වාස කළ නොහැකි බව නඩු තීන්දුවේද සඳහන් කර තිබියදී 12 වැනි විත්තිකරු විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කරන ලද ප්‍රකාශයක් විශ්වාසයෙන් යුතු ප්‍රකාශයක් ලෙස නඩු තීන්දුවේ දක්වා ඇති නමුත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී මෙම ප්‍රකාශය කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ‍ෙදාළොස් වන විත්තිකරු විත්තිකූඩුවේ සිට කරන ලද ප්‍රකාශය වන්නේ තමාගේ ආයුධයෙන් කිසිදු වෙඩිල්ලක් පිටවී නැතැයි ඔප්පුවී ඇති අවස්ථාවක තමා විසින් මෙම වෙඩි තැබීම සිදු කරන ලද බවට පිළිගන්නා ලෙස අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බල කළ බවත් තමා එම වරද නොකළ නිසා එසේ කළ නොහැකි බවත් දැන්වූ පසු ඉන් අමනාප වූ නිලධාරීන් තමා විත්තිකරුවකු කර තමාට එරෙහිව නඩු පැවැරූ බවත්ය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ප්‍රධානත්වය දැරූ ජේ‍යෂ්ඨ මහාධිකරණ විනිසුරුතුමන් විත්තිකරුවන් සියල්ල නි‍ෙදාස් කොට නිදහස් කිරීම මඟින්ද මෙම නඩු තීන්දුවෙහි ඇති අවස්ථාවරභාවය මැනවින් පැහැදිලි වන බවද ජනාධිපති නීතිඥවරු පෙන්වා දුන්හ.
අපරාධ නඩුවක් ඔප්පු කිරීමට නම් ඕනෑම චූදිතයකුට එරෙහිව එම නඩුව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතු බවත් “සැකයක්” මතුවන්නේ නම් එම සැකයේ වාසිය විත්තිකරුට ලබාදී ඔහුව නඩුවෙන් නි‍ෙදාස් කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ මූලික සිද්ධාන්තයක් වුවත් මෙම නඩු තීන්දුවේදී විනිසුරුවරිය එය සැලකිල්ලට නොගෙන ක්‍රියා කොට ඇති බවත් මෙම නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවල උෟනතා හා පරස්පරතා 62ක් සලකුණු කොට ඇතත් එහි වාසිය විත්තිකරුට ලබා නොදෙමින් තීන්දුව ලබාදී ඇති බවත් ජනාධිපති නීතිඥවරු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ජනාධිපති නීතිඥවරුන් ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙන්වා දුන් කරුණු අතර නීතිපති දෙපාර්තමේන්තුවත් එකඟ වූ, වඩාත් වැදගත් කරුණු සාරාංශ ගත කළ විට,

* දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදී ඇති බව,

* භාරත ලක්ෂ්මන් මහතාගේ ආරක්ෂක ගාමිණී විසින් දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කරනු ලැබ ඇති බව,

* මරණීය තුවාල ලබා දුමින්ද සිල්වා මහතා සිහිසුන්ව ඇද වැටුණු බව,

* රෝහල් ගත කිරීම සඳහා ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් දුමින්ද සිල්වා මහතා
රැගෙන ගිය බව,

* දුමින්ද සිල්වා මහතා කිසිදු අවස්ථාවක ගිනි අවි පරිහරණයක් හෝ කිසිවකුට වෙඩි නොතැබූ බව යන කරුණු විශේෂ වේ.

ජනාධිපති නීතිඥවරුන් පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ යළි යළිත් අවධාරණය කර සිටියේ, මෙම සිද්ධියේදී ප්‍රථමයෙන් මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ දුමින්ද සිල්වා බව ඔප්පුවී තිබෙන නිසාත් දුමින්ද සිල්වා මහතා කිසිම අයුරකින් ගිනි අවියක් පාවිච්චි කළ බවට කිසිදු සාක්ෂියකින්වත් ප්‍රකාශ වී නොමැති නිසාත් සිද්ධියට අදාළ කරුණු තුළ උෟනතා සහ පරස්පරතා 62ක් අධිකරණ නඩු විභාගයේදී සලකුණු කර ඇති නිසාත් සිද්ධියෙන් දින 6කට පසුව දෙන ලද පරස්පරතා බහුල, සාවද්‍ය සාක්ෂියක් මත පදනම්වී මෙම තීන්දුව දී ඇති නිසා, විනිසුරුවරිය විසින් ලියා පළ කරන ලද තීන්දුව පක්ෂග්‍රාහී බවින් යුක්ත නිසාත් මෙම නඩු තීන්දුවෙහි දෝෂ සහිත බවයි.

සෝලංගආරච්චිගේ බිරියට නීති විරෝධී කණ්ඩායමක සාමාජිකයකු විසින් තර්ජනය කරනු ලැබ ඇති බවට චෝදනාවක් ඇතත් ඇය එය පිළිනොගැනීම නීතිපතිවරයා හා පොලිසිය විසින් අභූත චෝදනා එල්ල කරන ලද බවත් දුමින්ද සිල්වා වැරදිකරු කිරීමේ අභිලාෂයෙන් ගෙතූ හේතූන් හුවා දක්වමින් චෝදනා පත්‍රය සකස් කර ඇති බවත් නඩු තීන්දුවෙන්ම උපුටා ගත් කියමන්වලින්ම මෙය කුමන්ත්‍රණකාරීව නිර්මාණය කිරීමක් බවත් උගත් නීතිඥවරු පෙන්වා දුන්හ. පළමු දවස් කිහිපය තුළ සාක්ෂි ලබාදුන්නත් ඒවා පසුව වෙනස් කර මෙම නඩුවේ දුමින්ද සිල්වාට විරුද්ධව නිර්මාණාත්මක සාක්ෂි ලබා දුන්නේත්, නව නිර්වාණය කළා යැයි කියන සිද්ධීන් පසුව ලබා දුන්නේත් පොලිස් නිලධාරීන් 5 දෙනකු හා භාරතගේ සගයන් දෙදෙනකුය.

මහාධිකරණ නඩු තීන්දුව නීතියේ සාරධර්මවලට පටහැනිව ඇති ප්‍රකාශ විග්‍රහ කර ඇති ආකාරය, චෝදනා පත්‍රයේ ඇති චෝදනා හරිහැටි තහවුරු කර ගැනීමට නොහැකි තත්ත්වයන් උඩ අලුත් චෝදනා නඩු තීන්දුවෙන් නිර්මාණය කොට, “කාටද ඡන්දය දැම්මේ” වැනි ප්‍රකාශ ඇසීම තර්ජනයක් ලෙස සලකා නීති විරෝධී කණ්ඩායමක් යනුවෙන් නම් කිරීමම අසාධාරණ බවත් චෝදනා පත්‍රයේ සඳහන් පොදු අරමුණ ඔප්පු කළ නොහැකිවීම නිසා අලුත් පොදු අරමුණු නිර්මාණය කිරීමත්, ඉතා වැදගත් සත්‍ය අනාවරණය කොට සත්‍යය පහදා දියහැකි සාක්ෂිකරුවන් අධිකරණයට කැ½දවීම් හිතාමතාම නීතිපති දෙපාර්තමේන්තුව විසින් මඟහරිනු ලැබීම සම්බන්ධවත් ඉතා මනාව ශේ්‍රෂ්ඨාධිකරණයට දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ඉදිරිපත් කළ අතර ඒවාට විරුද්ධව තර්කානුකූලව නීතිපති දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කළද විත්තියේ නීතිඥවරු නැවත ඉදිරිපත් කිරීමේදී ඒවා නිෂ්ප්‍රභ වෙන අන්දමින් කරුණු ඉදිරිපත් කළහ. තවද විත්තිකරුවන් කිසිම සම්බන්ධයක් නැති මීට පෙර ඡන්ද කාලයේදී වූ සිද්ධීන් ඔවුන් සම්බන්ධ යැයි සිතීමට හැකිවන පරිදි ශේ‍ර්ෂ්ඨාධිකරණයට සඳහන් කිරීමෙන් හා සාක්ෂිකරුවන් ඉදිරිපත් නොකිරීමට දැක්වූ හේතු සාවද්‍ය බව විත්තියේ නීතිඥවරුන් නැවත පෙන්වීම හේතුවෙන් පැමිණිල්ලේ තර්ක බිඳ වැටිණි. මේ හේතූන් මත මෙහි සඳහන් බොහෝ කරුණු සැකකරුවන්ගේ නොහොත් විත්ති පාර්ශ්වයේ කරුණු හෙළි දැක්වීම් බහුලව පෙන්නුම් කර ඇති හෙයින් මෙම වාර්තාව ඒකපාර්ශ්වික බව පෙනුණද ශේ්‍රෂ්ඨාධිකරණයේදී ඉදිරිපත් කිරීම දිග හැරුණේද මෙම පිළිවෙළටම බව ඉතා පැහැදිලිය.

සියලු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ගරු ශේ‍ර්ෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේ මහාධිකරණ නඩු තීන්දුව නිෂ්ප්‍රභ කොට තම සේවාදායක සැකකරුවන් සියලු චෝදනාවලින් නිදහස් කොට නි‍ෙදාස් කරන මෙනි.

– mawbima

30,697 Viewers

10 Comments to “දුමින්දට එරෙහිව දුන් තීන්දුව සිය දහස්වරක් කියෙව්වත් වරදකරු කළේ ඇයි දැයි තේරුම් ගැනීම අපහසුයි…”

  1. Baba says:

    Moo Baba mukuthma karala Naha

    • janith says:

      නැහැ ‌ෙමේ වගේ වැඩක් නැති වුන් ‌ෙබේර ගන්න විමල් මහත්තයාගේ සයිට් ඒක බරටම වැඩ… රටට ආදරය කරන හයියෙන් කෑගහන ‌ෙකෙනා.. ඇත්තටම මමත් රැවටිලා ඡන්දය කිහිපවරක් දීලා තියෙනවා.. මුන් ‌ෙසේරම අපිට හරිම ආාාදරරෙයි..

  2. දුක සැප නිති පෙරලේ – රිය සක ලෙස ලෝකේ says:

    මට එළියට එන්න සප් එක දෙන හැමෝටම දෙනවා කුඩු පැකට් එක ගානේ

    මාව හිර කරන්න හදන හැමෝටම දෙනවා බුල්ට් එක ගානේ

    මීට

    කුඩු දුමියා

    • ratawesiya says:

      dumindage salliwalata katha karana kala kanni lawyersla nodokin. Ranjan kiyanne etta. munta salli denawanam ooneema boru kiya udapaniyi/
      umbalata wada dena ugath nadukarayo theendu dunne.

      duminda maranna epa hebeyi lankawatama kudu beduwe meya. kalakanni, samaja wiridi, balu kudda bawa mema lawyersla dannawa. uge salliwalata pada arinawa. nodokin

  3. Amara says:

    Kuddek neda meya

  4. Kadiya says:

    Yahapalane apu gaman gath palamu billa. Neethiya hariyata kriyathmaka venakota boruwa elivenawa.

  5. lalith says:

    etakota taril at bar eke hitiye boruwo da?

  6. informant says:

    මේ සිද්දියේදී නෑ තමයි. අවුරුදු අටක් ගිහිල්ලත් එතන හිටිය වුන් කියන්නේ භාරත තමයි මුල් ෂොට් එක තිබ්බේ කියල.

    ගාමිණී තමයි භාරත පැත්තේ බිලි බෝයි.

  7. Lapaya says:

    Mayilwaganam me gana mokada kiyanne.

  8. BUDDHADASA says:

    තව ටික දවසකින් දුමින්ද එතනට ගිහිල්ලත් නැත, එතන ඉඳලත් නැත
    කියල ශාක්ෂි ඉදිරිපත් වුනත් මම පුදුම නොවෙ මි!!!!!!

Main News