දුෂිතයන් සමග ආණ්ඩු හදන කතා යහපාලනයට ද්‍රෝහී වීමක්..- එජාපයෙන් නිල කණේ පාරක්

January 31, 2018 at 3:50 pm | lanka C news
දුෂිතයන් සමග ආණ්ඩු හදන කතා යහපාලනයට ද්‍රෝහී වීමක්..- එජාපයෙන් නිල කණේ පාරක්

යහපාලන ආණ්ඩුවට ලබාදුන් ජනවරමට පයින් ගැසීම හෝ එයට පිටුපා කටයුතු කිරීම එම ජනවරම ලබාදුන් ජනතාවට කරනු ලබන බරපතලම ද්‍රෝහිකමක් බවත් යහපාලන ආණ්ඩුකරුවන් ශක්තිමත් කළ යුත්තේ ජයග්‍රාහී ජනතා අභිලාෂයන් මිස පරාජයට පත් කර කුණු බක්කියට දැමූ ජනතා ද්‍රෝහීන්ගේ අභිලාෂයන් නොවන බව එජාප මහලේකම්වරයා තම නිවේදනය මගින් අවධාරණය කරයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

“2015 ජනවාරි 08 දින සහ එම වසරේම අගෝස්තු මස 18 යන අවස්ථා දෙකෙහිදී හැට දෙලක්ෂයක ජනතාව විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නායක දෙපලගේ ප්‍රධානත්වයෙන් යුත් යහපාලන ආණ්ඩුවට ලබාදුන් ජනවරමට පයින් ගැසීම හෝ එයට පිටුපා කටයුතු කිරීම එම ජනවරම ලබාදුන් ජනතාවට කරනු ලබන බරපතලම ද්‍රෝහිකමක් වේ.

යහපාලන ආණ්ඩුකරුවන් විසින් ශක්තිමත් කළ යුත්තේ ජනවරම මගින් ප්‍රාර්ථනා කළ අභිලාෂයන් මිස එම ජනවරම මගින් පරාජයට පත්කොට දේ ශපාලන කුණු බක්කියට ඇද දැමූ ජනතා ද්‍රෝහීන්ගේ අභිලාෂයන් නොවේ.

ඉහත දැක්වූ අවස්ථා දෙක මගින් ප්‍රකාශ කළ ජනවරම මගින් ජනතාව ඉල්ලා සිටියේ රාජපක්ෂ පාලනය යටතේ ගොඩ නැගුණු ආඥාදායක රාජාණ්ඩු පාලන ක්‍රමය නැති කොට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය යළි ස්ථාපිත කරන ලෙසය. විනාශ කර දමා තිබූ නීතියේ ආධිපතිත්වය යළි පිහිටුවන ලෙසය. වාර්ගික අන්තවාදය සහ ආගමික අන්තවාදය මගින් විනාශ කර තිබූ ජනවාර්ගික සංහිඳියාව ගොඩ නැගීම සඳහා පියවර ගන්නා ලෙසය. විනාශ කරදමා තිබූ ආර්ථීකය යළි ගොඩ නගමින් ජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කරන ලෙසය.

අභියෝග මධ්‍යයේ වූවද පසුගිය තෙවසර තුළ ක්‍රමානුකූලව දේදුනු විප්ලවයේ ජනවරම මගින් අපේක්ෂා කළ ජනතා අභිප්‍රායන් යථාර්ථයක් කරගැනීම උදෙසා යහපාලන රජය විසින් පියවර රාශියක්ම ගෙන ඇත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරනය යළි ස්ථාපිත කිරීමට දැවැන්ත පියවරක් ගනු ලැබූ අතර එම පියවර තවදුරටත් ශක්තිමත් කොට තිරසාර ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය මේ රට තුළ තහවුරු කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය මූළික පියවරවල් මේ වනවිට ගෙන තිබේ. 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ජනතා අදහස් විමසීමක් නොකළද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේදී යහපාලන ආණ්ඩුව විසින් කළ ප්‍රථම කාර්යය වූයේ මහජන අදහස් විමසීමේ කමිටුවක් පත්කොට සමස්ථ රටේම ජනතාවගේ අදහස් ලබා ගැනීමය. අනතුරුව පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පරිවර්තනය වී පත් කරනු ලැබූ අනුකමිටු හයේ නිර්දේශ පරිදි සකස් කළ අතුරු වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එයට ජනතා නියෝජිතයින් දක්වන ප්‍රතිචාර විමසන ලදි.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ශක්තිමත් කිරීම සඳහා යහපාලන රජය ගත් තවත් වැදගත් පියවරක් ලෙස නීතියේ ආධිපතිත්වය තහවුරු කරමින් අධිකරණයේ නිදහස සහ ස්වාධීනත්වය තහවුරු කිරීම පෙන්වා දියහැක. මෙම තත්ත්වය කොතරම් හොඳින් තහවුරු වී තිඛෙනවාද යන්න පෙනී යන්නේ අද අධිකරණය ජනාධිපතිවරයාගේ අභිප්‍රායන් වලට එරෙහිව පවා තීන්දු දීමට ක්‍රියා කිරීම නිසාය.

ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහාද රජය මේ වනවිට පියවර රැසක් ගෙන තිබේ. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම, උතුරු නැගෙනහිර ඉඩම් ගැටළුව විසඳීම, ජාතික සංහිඳියාව පිළිබඳ කාර්යාලය පිහිටුවීම ඒවා අතුරින් වැදගත් වේ. මෙම ව්‍යාපෘති හරහා නැති වී ගොස් තිබුන ජාත්‍යන්තර විශ්වාසය යළි දිනා ගැනීමට රජය සමත් වී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව රජයට දක්වන සහයෝගය නොසිතූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය සතියක වැනි ඉතාමත්ම කෙටි කාළයක් තුළදී ජපානයේ විදේශ ඇමතිවරයා, සිංගප්පූරු ජනරජයේ අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපතිවරයා යන ලොව පිළිිගත් රාජ්‍ය තාන්ත්‍රකයින් තිදෙනෙක් නිල සංචාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ අද අන්තර්ජාතික සමාජය තුළ අපේ රට කොතරම් ගෞරවයකට හා පිළිගැනීමකට ලක්ව තිබෙනවාද යන්නය. මෙම රාජ්‍ය තාන්ත්‍රකයින් අපේ රට සමග අත්සන් කළ ද්විපාර්ශ්වික ගිවිසුම් මගින් මෙරට ආයෝජන ව්‍යපෘති රාශියක් ආරම්භ කිරීමට එකඟ වී සිටින අතර එහි ප්‍රතිඵලය ලෙස නුදුරු අනාගතයේදී රැකියා රැසක් උත්පාදනය වනු ඇත.

මෙම ජනතාවාදී වැඩ පිළිවෙල් ඔස්සේ අනුක්‍රමයෙන් යහපාලන රජය දේශපාලන වශයෙන් ස්ථාවර වනවිට එය නොරිස්සන ආණ්ඩු විරෝධී ප්‍රතිගාමී කොටස් උත්සාහ ගන්නේ කෙසේ හෝ මේ රජය පෙරළා දමා පැරණි ආඥාදායක රාජාණ්ඩු පාලන ක්‍රමය රට තුළ යළි ස්ථාපිත කිරීමටය. එසේ කිරීමට තරම් ශක්තිමත් අවි ආයුධ දැන් ඔවුන්ට නැත. ඇත්තේ වර්ගවාදය, ආගම්වාදය, බටහිර කුමණ්ත්‍රන, ඩොලර් වලින් පෝෂණය වන රාජ්‍ය නොවන සංවිධාන වල රහස් ව්‍යාපෘතීන් වැනි මලකඩ කෑ පැරණි අවි ආයුධය. මෙම අවි ආයුධ වලින් මේ රජය පෙරළා දැමීමට කිසිසේත්ම නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතුය.

ගම හා නගරය සංවර්ධනය කිරීමේ මාවත දැන් පැහැදිලිව විවෘත වී ඇත. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ “බලගතු ශ්‍රී ලංකාවක්“ යන්න තව දුරටත් අභියෝගයක් නොවේ. ඒ සඳහා අවශ්‍ය අත්තිවාරම දැන් දමා ඇත. ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ ටික නිම කිරීම සඳහා දැන් ඔබේ සහාය අපට අවශ්‍ය වේ. එය කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂය තව තවත් ශක්තිමත් කිරීමෙන් පමණි. එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී සියලුම පළාත් පාලන සභාවල බලය එක්සත් ජාතික පක්ෂයට හිමිකර දෙන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි. ඒ සඳහා දැන් මුලු රටම පෙළගැසී ඇත. එය ආපසු හැරවිය නොහැක. එක්සත් ජතික පක්ෂයේ ජනරැලි වලට සහභාගි වන ලක්ෂ සංඛ්‍යාත ජන ගඟෙන් පෙන්නුම් කරන්නේ එම යථාර්තයයි.“

කබීර් හෂීම්
මහ ලේකම් – එක්සත් ජාතික පක්ෂය

6,944 Viewers

3 Comments to “දුෂිතයන් සමග ආණ්ඩු හදන කතා යහපාලනයට ද්‍රෝහී වීමක්..- එජාපයෙන් නිල කණේ පාරක්”

  1. Niru says:

    Yako karapu wedak kiyaplla

  2. Dr Attigala says:

    ගම හා නගරය සංවර්ධනය කිරීමේ මාවත දැන් පැහැදිලිව විවෘත වී ඇත.එය බොරුවෙන් ආපසු හැරවිය නොහැක.ඒ සඳහා දැන් මුලු රටම පෙළගැසී ඇත.රාජපක්‍ෂයනු ජාතික ආගමික නායකත්වයක් නිවැරදිව රටට සැපයු ප්‍රතාපවත් නායකයෙකි .

  3. duminda says:

    ekata ekwee ekata kaabee-ekata sathapeela……

Main News