නිවුන් දරුවන්ගේ සුහද හමුව..

October 27, 2018 at 2:09 am | lanka C news
නිවුන් දරුවන්ගේ සුහද හමුව..

නිවුන් දරු-දැරියන්ගේ සහභාගිත්වයෙන් සුහද හමුවක් ශ‍්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය සහ එහි මවු ආයතනය වන පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කෙරිණි. එම හමුව බත්තරමුල්ල, ”අපේ ගම” පරිශ‍්‍රයේ දී පැවැත්විණි.

නිවුන් දරුවන් වෙනුවෙන් සංවිධානය කළ චිත‍්‍ර හා රචනා තරගවලින් සමන්විත වූ මෙම උත්සවය, ජනප‍්‍රිය නිවුන් යුගලක් වන සජානා හා සජීව් ගේ ගායනයකින් මෙන් ම ඉතා සිත් ඇදගන්නා සුලූ මැජික් සංදර්ශනයකින් ද අලංකාරවත් විය. මෙම සුහද හමුවට නිවුන් යුගල 75කට වඩා වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග සහභාගි වූ අතර ජ්‍යේෂ්ඨ මහාචාර්ය නාරද වර්ණසූරිය මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය.

පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් මේ දිනවල කොළඹ හා වවුනියාව දිස්ත‍්‍රික්කවල වාසය කරන නිවුන් දරුවන්ගේ නාමලේඛනයක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් කරනු ලබයි. එම ව්‍යාපෘතිය සහ ඉදිරියේ දී නිවුන් පුද්ගලයන් සම්බන්ධ කර ගෙන කිරීමට නියමිත ව්‍යාපෘති ද නිවුන් දරුවන් සහ ඔවුන්ගේ පවුලේ උදවිය එම ව්‍යාපෘතිවලට සහභාගි වීමට පමණක් නො ව ඒවායේ කොටස්කරුවන් බවට පත් වීමේ ඇති වැදගත්කම පිළිබඳ ව ද මෙහි දී සහභාගි වූ අය ව දැනුම්වත් කෙරිණි.

නිවුන් අධ්‍යයන, විද්‍යාත්මක ව ඉතාමත් දියුණු පර්යේෂණ ක‍්‍රමවේදයකි. එනම් නිවුන් දරුවන් යනු ස්වභාව ධර්මයා, පර්යේෂණ ක‍්‍රමවේදයට පුද කළ මහගු දායාදයකි. ඔවුන් අධ්‍යයනය කිරීමෙන් මිනිස් ගති-ගුණ හා රෝග ආදියට ජාන (පරම්පරාවෙන් පරම්පරාවට ගති ලක්ෂණ ගෙන යන ශරීර කොටස්) සහ පරිසරය දක්වන සාපේක්ෂ බලපෑම අධ්‍යයනය කිරීමට විශාල ඉඩක් ඇත.

– අතුල සුමතිපාල

4,689 Viewers
Main News