නිසියාකාරව රාජකාරි නොකරන වනජීවී නිලධාරීන් ගැන කඩිනමින් විනය පියවර..

December 15, 2017 at 2:05 am | lanka C news
නිසියාකාරව රාජකාරි නොකරන වනජීවී නිලධාරීන් ගැන කඩිනමින් විනය පියවර..

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසියාකාරව රාජකාරි නොකරන ඇතැම් නිලධාරීන් ගැන තොරතුරු ලැබෙමින් පවතින බවත් ඒ ගැන සොයාබලා අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් විනය පියවර ගැනීමට කටයුතු කරන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මෙම ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ගම්මාන රැසක මිනිසුන් අසරණවී සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වාදෙයි.

මෙම නිලධාරීන් ගැන සොයා බලා විෂයභාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සමග සාකතච්ඡා කර අදාළ විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

නියෝජ්‍ය අමාත්‍යධුරය භාරගත් අවස්ථාවේ සිට අමාත්‍යවරයාත් තමාත් ඉතා සහයෝගයෙන් කටයුතු කරන බවත් එවැනි තත්වයකදීවත් අදාළ නිලධාරීන්ගේ සහාය උපරිම ආකාරයෙන් නොලැබෙන්නේනම් එය බරපතල තත්වයක් බවත් මේ තත්වය නැති කිරීමට ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ ද අවධානය කඩිනමින් යොමුවෙතැයි අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

විවිධ දුෂ්කරතා අපහසුතා මධ්‍යයේ වුවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් නිලධාරීන් තම රාජකාරි කටයුතු නිසිපරිදි සිදුකිරීම අගය කරන බවත් ඔවුන්ගේ ගැටළු හා දුෂ්කරතා වෙනුවෙන් ලබාදිය හැකි උපරිම විසදුම් හා සහන ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ඔවුන් කරන්නේ නිහඬ සේවයක් මිස තානාන්තර ලබාගන්නා සේවයක් නොවන බව තමා අත්දැකීමෙන් දන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

දිවි හිමියෙන් රාජකාරි කටයුතු කරන නිලධාරීන් ද වනජවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිටින බවත් ඔවුන් වෙනුවෙන් නිසි ඇගයීමක් සිදුනොකර අනවශ්‍ය නිලධාරීන් වෙනුවෙන් ඇගයීම් සිදුකරන බවට එල්ලවෙන චෝදනා ගැනද තම අවධානය යොමුවී තිබෙන බවත් එවැනි තත්වයක් පවතිනවා නම් එයද කඩිනමින් නිවැරදි කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

වන අලින් ගම්වැදී මිනිසුන්ට සිදුකරන හිරිහැර සම්බන්ධයෙන් ක්ෂණිකව වනජීවී නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව තිබුණත් ඇතැම් නිලධාරීන් ඒ ගැන අවධානය යොමු නොකරන බවත් එවැනි හදිසි තත්වයකදී ඇතැම් නිලධාරීන් තමාටවත් දුරකථනයෙන් සම්බන්ධකරගැනීමට අපහසු බවත් මේ ගැන තමාගේ දැඩි අවධානය යොමු වී තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

විවිධ ප්‍රදේශවලින් වන අලි තර්ජන එල්ලවී ඇති බවට ජනතාව දැනුවත් කිරීම් කරන විට ඒ ගැන කඩිනමින් අවධානය යොමුකිරීම සඳහා වනජීවී නිලධාරීන් දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ කර ගැනීම ඉතා අසීරු වී ඇති බවත් ඇතැම් නිලධාරීන් හිතාමතාම ජංගම දුරකථනයට ප්‍රතිචාර දැක්වීම මඟ හරිනවාද කියා සැකයක් මතුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

ඇතැම් නිලධාරීන් හිතාමතාම ජංගම දුරකථන ක්‍රියා විරහිත කර ඒ ගැන පසුව විමසූ විට තමා කැළැබද ප්‍රදේශයක සිටි නිසා දුරකථන ක්‍රියා නොකරන බවට කරනු ලබන ප්‍රකාශ ගැනද තොරතුරු ලැබී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.

සමහර නිලධාරීන් ඇත්තටම කැළැබද ප්‍රදේශවල රාජකාරි කටයුතුවල නිරතවීම නිසා ජංගම දුරකථන ක්‍රියානොකරන අවස්ථා තිබෙන බවත් එවැනි නිලධාරීන්ට තමා චෝදනා නොකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

මෙසේ වගකීමෙන් රාජකාරි කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් තමන් සොයාබලන බවද ඊට අමතරව ඒ ගැන සොයාබලා අවශ්‍ය පියවර ගන්නා ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම්දී තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කර සිටී.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවට 1200 කගේ පමණ සේවක හිඟයක් පවතී. මෙම පුරප්පාඩු කඩිනමින් පිරවිය යතු බවට තමා කොතෙක් අදාළ බලධාරීන්ට දැනුම් දුන්නද තවම එය සිදුවී නොමැත. මෙම පුරප්පාඩු කඩිනමින් පිරවීම අත්‍යවශයි. එය දැනට සිටින නිලධාරීන්ට තම රාජකාරි කටයුතු සිදුකිරීමට පහසුවක් වනු ඇත. මේ ගැන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යතුමිය ප්‍රකාශ කරයි.

තමා අලි තර්ජන ගැන දැනුවත් කිරීමට හදිසියේදී දුරකථනයෙන් කථා කළ බොහෝ අවස්ථාවලදී ඊට ප්‍රතිචාර දැක්වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකම එක නිලධාරියෙක් පමණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

තමාගේ ජංගම දුරකථනය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර ඕනෑම කෙනෙකුට තමාව සම්බන්ධ කරගෙන හැකි බවත් වනඅලි තර්ජන සම්බන්ධයෙන් මධ්‍යම රාත්‍රියේද තමාටද දුරකථන ඇමතුම් ලැබෙන බවත් පෙන්වාදෙන නියෝජ්‍ය අමාත්‍යවරිය කියා සිටින්නේ ඇතැම් නිලධාරීන් එසේ ක්‍රියා නොකරන්නේ ඇයිද කියායි.

වන අලි මිනිස් ගැටුම වළක්වා අලි මිනිස් සංහිදීයාව වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කළ තණමල්විල හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා එම ස්ථානයෙන් උතුරු පළාතට මාරුකිරීම ගැන තමා දැඩි ලෙස විරෝධය පළකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

තණමල්විල ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම අවම කිරීමට ගම්මුන්ගෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ නිලධාරීන්ගේ සහයෝගය ලබාගෙන උපරිම ආකාරයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මකවූ එම සහකාර පොලිස් අධිකාරීවරයා මාරු නොකරන ලෙසට තමා ඉල්ලා සිටියද එම ඉල්ලිමද නොතකමින් එම මාරුවීම සිදුකළ බවත් ඒ ගැන තමා දැඩි කළකිරීමකින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.

2017 අප්‍රේල් සිංහල අලුත් අවුරුද්ද දිනයේදී තණමල්විල මීගස්වැව ප්‍රදේශයේ තිදෙනෙකු වන අලි ප්‍රහාරයෙන් මියගිය බවත් ඒ අවස්තාවේදී තමා එම ගම්මානට ගොස් මේගැන සොයා බැලු බවත් එහිදීද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ නිලධාරීන් කඩිනමින් සම්බන්ධකරගැනීමට නොහැකි වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරිය සිහිපත් කරයි.

මේ අතර දළ ඇතුන් සැලසුම් සහගතව ඝාතනය කිරීමේ ජාවාරමක් සිදුවන නිසා ආරක්ෂක අංශවලට අමතරව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද දැනට වඩා ඉතා හොඳ අවධානයෙන් සිටියයුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

එම අවධානය ඉහළම නිලධාරීන්ගේ සිට පහළම නිලධාරියා දක්වා සෑම කෙනෙකු තුළම තිබිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වාදෙයි.
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ හිටපු ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල මහතා එම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් මාරු කිරීමට දළ පුට්ටුවාගේ ඝාතනය හෝ කිසිදු නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධව නොමැති බවට තමාට ඉතා වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවද සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.
අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධයෙන් පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා හේතුවෙන් ඔහු මානසික පීඩනයකට ලක්වෙන්නට ඇති බවත් නීතිගරුක පරිපාලන නිලධාරියෙකුට එසේ කිරීම තමා අනුමත නොකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.
දළ පූට්ටුවාගේ ඝාතනයට අදාළ සියලුම වැරදිකරුවන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් පැමිණවිය යුතු බවත් එමගින් මෙවැනි ඛේදවාචක මින් මතු අත්නොවීමට සමාජයට ප්‍රබල පණිවිඩයක් ලබාදිය යුතු බවටද නියෝජ්‍ය අමාත්‍යවරිය යෝජනාකරයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාටත් තමාටත් චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බවත් එවැනි නිලධාරීන්ට එරෙහිව දැඩිව විනයානුකුලව කටයුතු කිරීමට අමාත්‍යවරයා පියවර ගනු ඇතැයි කියා තමා අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.

වනජීවී සම්පත අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂාකර ගැනීමට අප සියලුම දෙනා කැපවිය යුතුයි. දෙස් විදෙස් සංචාරකයින් පැමිණිමෙන් ජාතික උද්‍යානවලින් දිනකට රුපියල් මිලියන 20ක පමණ ආදායමක්ද ලැබේ. වනජීවී සම්පත සුරකිමින් සංචාරක කර්මාන්තයද දියුණු කරමින් කරමින් රටට තවත් ආදායම් වැඩිකරගැනීම සඳහා අවශ්‍යව ඇත්තේ අප සියලුම දෙනාගේ කැපවීමයි.

දරුණු ගණයේ වන අලි පුනරුත්ථාපනය කිරීම සඳහා දැනට ඇත්තේ අනුරාධපුර, හොරොව්පතාන වන අලි පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය පමණි ඊට අමතරව හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් වන අලි පුනරුත්ථාපනය කිරීමේ කලාපයක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් වයඹ පළාතේ වන අලි පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයන් ඇතිකළයුතු බවටද නියෝජ්‍ය අමාත්‍යවරිය යෝජනා කරයි.

මේ වන විට මොණරාගල දිස්ත්‍රික්කයේ මිනීමරු වන අලි 10 දෙනෙකු අල්ලාගෙන ගොස් හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගෙනයාමට හැකි වූ බවත් මේ නිසා මිනිස් ජීවීත හා දේපළ රැසක් බේරාගැනීමට හැකිවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

හඳපානාගල, බලහරුව ඇතුළු මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පවතින වන අලි තර්ජන මැඩලීමට ආරක්ෂිත විදුලි වැටවල් යොදා අවශ්‍ය පියවර ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරයි. මීට අමතරව රටපුරා ප්‍රදේශ රැසක ආරක්ෂිත විදුලි වැටවල් ඉදිකිරීමට හා පවතින විදුලි වැටවල් අලුත්වැඩියා කිරීමට පියවර ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

සයිටීස් 2019 ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව හිමිවීම අප රටම ලැබූ ජයග්‍රහණයකි. ඒ වෙනුවෙන්ද අප මීට වඩා කැපවියයුතුයි. තිරසර සංවර්ධන ඉලක්ක 2030 වනවිට සාක්ෂාත් කරගැනීමද අප හමුවේ ඇති තවත් අභියෝගයකි. මේ සියලු අභියෝග ජයගෙන වනජීවී සම්පතද රැකගෙන සාර්ථක ගමනක් ඉදිරියට යාමට අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු ඇමතිතුමා ඇතුළු සියලුම දෙනාගේ සහයෝගය හිමිවෙතැයි අපේක්ෂා කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය කියා සිටී.

– ප්‍රසාද් මංජු

1,253 Viewers

2 Comments to “නිසියාකාරව රාජකාරි නොකරන වනජීවී නිලධාරීන් ගැන කඩිනමින් විනය පියවර..”

  1. love nature says:

    –වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය -ඔබේ ප්‍රකාශය අපි අගය කරමු ..එහෙත් එය ක්‍රියාකිරීමේ වගකීම හරියට `සිදුවේදැයි ඔබතුමිය පුද්ගලිකව සොයාබලන්න …අපේ වන සතුන්ට ආරක්ෂාව ලැබේවා

  2. love nature says:

    විල්පත්තුව යනු වනජීවී වාසස්‌ථාන හා ගංගාවන් ගේ ජල පෝෂක ප්‍රදේශයක්‌ පමණක්‌ නො ව අති දැවැන්ත පුරා වස්‌තු සම්භාරයක්‌ සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ් ව පවතින ධන නිධානයකි එය විනාශකරමින් පවතී 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළු වී මාර්ග ඉදි කිරීම, වනජීවී වාසස්‌ථාන විනාශ කිරීම, ස්‌ථිර පාලම් ඉදි කිරීම, ගස්‌ කපා ඉවත් කිරීම, පස්‌ ලබා ගැනීම සඳහා විශාල වළවල් කැණීම, වනාන්තර ඉඩම් මායිම් කණු සිටුවා වෙන් කිරීම යන සියලු ක්‍රියාකාරකම් සිදු කෙරෙයි. එහෙත් ඊට එරෙහි ව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත. නීති රීති සියල්ල ම උල්ලංඝනය කරමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ හා වටා ප්‍රදේශයේ මහ පරිමාණ, අනවසර සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කෙරෙයි.
    රක්‌ෂිත වනාන්තර පියවරෙන් පියවර මෙසේ වනසද්දී වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යංශය මෙසේ නිහඬ ව සිටින්නේ මක්‌ නිසා දැයි යන්න විශාල ප්‍රශ්නයකි. ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යාන සංකීර්ණය වන විල්පත්තුවට සිදු කෙරෙමින් පවතින සියලු හානිකර ක්‍රියා වහා ම නතර කිරීමට පියවර ගන්නා ලෙස අපි අදාළ වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටිමු. අදාළ අංශ කඩිනමින් ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප විශ්වාස කරමු.

Main News