ප්‍රාථමික කර්මාන්ත වෙනුවෙන් සම්මේලනයක්…

May 20, 2017 at 2:29 am | lanka C news
ප්‍රාථමික කර්මාන්ත වෙනුවෙන් සම්මේලනයක්…

ප්‍රාථමික කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින සංවිධාන සහ පුද්ගලයින් එක්ව සම්මේලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවක් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද ඇමති දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

අමාත්‍යංශයේ ලේකම් බන්දුල වික්‍රමාරච්චි, ක්ෂේත්‍රයේ නියුක්තිකයින්, රාජ්‍ය නිලධාරීන් හා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් ද ඊට එක් වූ අතර, ඔවුන්ගේ අදහස් හා යෝජනා එහිදී සාකච්ඡාවට බඳුන් විය.

එම අවස්ථාවේදී ඇමති ගමගේ පවසා සිටියේ, එවැනි සම්මේලනයක් පිහිටුවා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම හරහා ප්‍රාථමික කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් රජයට බලපෑමක් එල්ල කිරීමේ හැකියාව ලැබෙන බවයි.

එහි අරමුණ වනු ඇත්තේ, තාක්ෂණය, නව්‍යකරණය ක්ෂේත්‍රයට හඳුන්වා දී, එහි නිෂ්පාදනවල අගය දාමය වැඩි කොට, ඒවාට හොඳ වෙළෙඳපොලක් සොයා දීම බවත්, ඊට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ සහාය හා මූල්‍යාධාර ද ලැබෙන බවත් ඔහු කීය.

අනෙක් රාජ්‍ය අමාත්‍යංශ හා සලකා බලන විට අඩු සේවක මඩුල්ලකින් යුත් තම අමාත්‍යංශය එහි සේවාව නිසි සැලසුමකින් යුක්තව සාර්ථකව ඉටු කරන්නේ, 2020දී අපනයන ආදායම දෙගුණ කර ගැනීමේ ඉලක්කය ඇතිව බව හෙතෙම කියා සිටියේය.

ජන සවියෙන් යැපෙන පවුල් ඉන් මුදවා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම ද ලෝක බැංකුවේ ආධාර ඇතිව තම අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ව්‍යාවසායකත්ව වැඩසටහනෙහි අරමුණ බව ගමගේ මහතා පැවසීය.

– ජෝර්ජ් පෙරේරා

1,933 Viewers
Main News