පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.4%යි.. එය වැඩි කල යුතුයි..

February 16, 2017 at 2:05 am | lanka C news | ලංකා සී නිවුස්
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.4%යි.. එය වැඩි කල යුතුයි..

වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පාර්ලිමේනතුවේ කාන්තා නියෝජනය බෙහෙවින්ම අඩු බවත් එය වර්තමානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන් 13 දෙනෙකු දක්වා අඩු වී තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස 5.4% ක් බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.

ඉන්දියාව, බංගලිදේශය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් බොහොමයක පාර්ලිමේන්තුවල කාන්තා නියෝජනය සැළකිය යුතු අගයක් පෙන්නුම් කරන බවත් ශ්‍රී ලංකා වේද එවැනි තත්වයක් ඇතිකර ගත යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.

පසුගිය වසර 10 ක කාලය තුළ මෙරට පාර්ලිමේනතුවේ, පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනයට හිමි කෝටා එක වැඩිකරගැනීමට යෝජනා වූ අතර ඒවා ක්‍රියාත්මක නොවු බවත් කාන්තා කටයුතු අමාත්‍යවරිය ලෙසටද එය ඉටුකිරීමට තමන් දැඩි උත්සාහයක් ගත්තද එය ක්‍රියාත්මක නොවූ බවත් සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25% දක්වා වැඩිකිරීමට වත්මන් ආණ්ඩුව මගින් කටයුතු කළ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් තම ප්‍රනාමය පුදකරන බවද සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළාය.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ කොළඹදී ආරම්භ වූ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන් හා තරුණ පරම්පරාව අරමුණු කරගෙන දියත් කරනු ලබන උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබව සාකච්ඡා කෙරෙන දෙදින වැඩමුළුව ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමිණි.

තිරසර සංවර්ධන ඉලක්ක සාර්ථකව කරගැනීමේදී කාන්තාවන් හා තරුණ පරම්පරාව ඊට එක්කරගැනීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය.

“තිරසර සංවර්ධන අරමුණු 17 ක් වෙනුවෙන් මුළු ලෝකයම එක් වැඩසටහනකට යොමුවෙලා තිබෙන තත්වයක් යටතේ කාන්තාවන් හා තරුණයින් ඒ වගේම දරුවන් වෙනුවෙන් විශේෂ අවධානය යොමුකිරීම සඳහා මෙවැනි දෙදින වැඩමුළුවක් සංවිධානය කිරීම ඉතාම වැදගත්.

තිරසර සංවර්ධනයක් ලෝකයටම අද අවශ්‍ය වී තිබෙනවා. ඒ බව ලෝකයේම රාජ්‍ය නායකයින් පිළිගෙන තිබෙනවා. සංවර්ධනය අවශ්‍යයි. නමුත් තිරසර සංවර්ධනයක් නොමැතිව සිදුකරන සංවර්ධන ව්‍යාපෘති මගින් නිසි ප්‍රයෝජන ලබාගන්න අමාරුයි.

අද මෙතනට පැමිණිලා සිටින රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන්ට නියෝජිතයින්ට තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමේදි කාන්තාවන්ට, තරුණයින්ට, ළමුන්ට දැක්විය යුතු අවධානය මුළු රටටම ගෙනයාමට කටයුතු කිරීමට හැකි වූ වොත් එය ඉතාම වැදගත්.

ලෝකයේ ඉදිරි වසර 15ක කාලය තුළ සියළුම දෙනාට පොදුවේ සමෘද්ධිය සහ පැවැත්ම යහපත්ව සිදුකරගෙන යාම සඳහා ලෝකයම එක්වී ඇතිකරගත් එකඟතාවයක් අනුව ක්‍රියාත්මක තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම අප සියලුම දෙනාට ඉතා වැදගත්වේ.

  1. දිළිදුකම තුරන් කිරීම.
  2. කුසගින්න පිටු දැකීම.
  3. යහපත් සෞඛ්‍ය හා නිරෝගී පැවැත්ම.
  4. ගුණාත්මක අධ්‍යාපනය.
  5. ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව.
  6. සැමට පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂාව තහවුරු කිරීම.
  7. පුනර්ජනණීය බල ශක්ති උත්පාදනය.
  8. ඉහළ ආර්ථික වර්ධනය හා සෙවා වියුක්තිය අවම කිරීම.
  9. නව නිපැයුම් හා යටිතල පහසුකම් සංවර්ධනය.
  10. සමානාත්මතාවය වර්ධනය.
  11. තිරසර නගර සංවර්ධනය.
  12. තිරසර සම්පත් පරිභෝජනය.
  13. මිහිතලයේ සුරක්ෂිතභාවය.
  14. සාගර සම්පත් සුරක්ෂිතභාවය.
  15. වනසම්පත සුරැකීම.
  16. නීතිය සහ සාමය සුරැකීම.
  17. තිරසර සංවර්ධනය සඳහා ගෝලීය දායකත්වය.

යන ඉලක්ක 17 ක් මෙම තිරසර සංවර්ධනයට ඇතුළත් වේ. මෙම ඉලක්ක 17 ජයගැනීම අප සියලුම දෙනාගේ අභිප්‍රාය විය යුතුයි.

තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමේදී සත්වයින් හා පරිසරය සමග කෙරෙන සම්බන්ධයද ඉතාමත් වැදගත්. සාගර සම්පත් සුරක්ෂිතතාව 14වැනි ඉලක්කය වශයෙන් හදුන්වාදී තිබේ. වනජීවීන් ඇතුළු වන සම්පත් රැකගැනීම 15වැනි ඉලක්කය වශයෙන් හදුන්වාදී ඇත. තිරසර සංවර්ධනයේදී සතා සිවුපාවාට හා පරිසරයට දක්වා තිබෙන අවධානය එමගින්ම පෙන්නුම් කෙරෙනවා.

අපගේ අමාත්‍යංශය තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරි වසර 15 තුළ  ශ්‍රී ලංකාව තුළ ජය ගැනීමේ සුවිසල් අභියෝගය වෙනුවෙන් ක්‍රියාත්මක වේ. ලෝකයේ රටවල් 193ක ප්‍රධානීන් 2015 සැප්තැම්බර් මාසයේ දී නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ එක්වී තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ලෝකයට එළිදක්වනු ලැබීය. අපගේ අතිගරු ජනාධිපතිතුමාද ඊට එක්වීම අපේ රටට ගෞරවයක්.

තිරසර සංවර්ධන පරිණාමයේ දී කාන්තාවන් හා ගැහැණු ළමුන් විශේෂයෙන් අන්තර්ගත වියයුතුයි. මනා ඉලක්ක ගත සේවාවන් ඔස්සේ කාන්තාවන්ගේ හා ඔවුන්ගේ පවුල් වල සෞඛ්‍ය සහ ආරක්ෂාව වැඩි දියුණු  කිරීමට හැකි වන අතර ඵලදායි නොවන හා දෛනික කාර්යයන් වෙනුවෙන් කාලය වැය කරනු වෙනුවට සමාජ ආර්ථික හා දේශපාලන කටයුතු වල නිරත වීමට නිදහස ලබාදීමට තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ සහභාගීත්වය ඇතුළු තවත් ප්‍රතිලාභ ලබා ගත හැකිය.

මෙම ඉලක්ක 17න්, හතරවෙනි සහ පස්වෙනි ඉලක්ක කාන්තාවන්ට ළමයින්ට දැඩි සම්බන්ධකමක් දක්වනවා. හතරවෙනි ඉලක්කයෙන් කියන්නේ සියල්ලන් ඇතුළත් කරගන්නා සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම. පස්වෙනි ඉලක්කයෙන් කියන්නේ ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කරගැනීම සහ සියළු කාන්තාවන් හා ගැහැනු දරුවන් බලගැන්වීම.

අධ්‍යාපනයේ ඉලක්ක නිවැරදිව සපුරාගැනීමට හැකිවූවහොත් 2030 වසර වන විට සමාජයේ පවතින ගැටළු රැසකට විසඳුම් ලැබෙනවා. දැනටමත් අපේ රටේ අධ්‍යාපන මටිටම ලෝකයේ ඕනෑම රටක් පිළිගන්නවා. අපේ රටේ විද්වතුන් රැසක් ලෝකයේ විවිධ රටවල හා සංවිධානවල ප්‍රබල තනතුරු හොබවනවා.

නමුත් ගුණාත්මක අධ්‍යාපනයේ අඩුපාඩු සපුරාගතහොත් එය මේ රටේ දිළිදුකම මුළුමනීන්ම පිටුදැකීමට ලොකු ශක්තියක්.

ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කරගැනීමේදී දේශපාලනයේ, ආර්ථිකයේ සහ ජන ජීවීතයේ තීරණගැනීමේදී සෑම මට්ටමකම කාන්තාවන්ගේ පුර්ණ සහ ක්‍රියාකාරී සහභාගීත්වය සහ නායකත්වය සඳහා සමානාත්මතාවය තහවුරු කීරීමට ලැබීම හොඳ අවස්ථාවක් වනවා.

අතිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා ගියවසරේදීත් මේ වසරේදීත් ප්‍රකාශ කළේ තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ වැදගත්කමයි.

මිනිසා සත්වයා හා පරිසරය අතර පවතින සම්බන්ධය වඩාත් හිතකර ආකාරයෙන් ලෝකයේ පැවැත්ම හා අනාගතය වෙනුවෙන් ගොඩනැගීමේ අරමුණෙන් ජනතාව පෘථිවි තලය හා සමෘද්ධිය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම මෙ රට තුළ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ගරු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අප අමාත්‍යංශයට හිමිවීම ගැන සතුටු වෙමි.

රටේ ශ්‍රම බලකායෙන් කාන්තාවන්, තරුණ පරපුර හිමිකරගන්නේ සුවිශේෂි තත්වයක්. ඒ වගේම අධ්‍යාපනය නිසිපරිදි ලබාදීම, දරුවන්ගේ අයිතීන් සුරැකීම, දරුවන් සියල්ලටම විධිමත් අධ්‍යාපනයක් ලබාදීම, ක්‍රීඩා කුසලතා දියුණු කිරීම, පාසැල් හැර යන තරුණ තරුණියන් වගේම සරසවි වරම් නොලබන තරුණ තරුණියන් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධකරගැනීම සඳහා වෘත්තිය පුහුණු ප්‍රායෝගික පාඨමාලා ඇතුළු විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි.

මෙම කරුණු ගැන නිසි අවධානයක් යොමුකොට තිරසර සංවර්ධන ඉලක්ක නිසි පරිදි ක්‍රියාත්මක කළහොත් කාන්තාවන් හා තරුණ පරපුරෙන් තිරසර සංවර්ධනයට සුවිශේෂි දායකත්වයක් ලබාගන්න පුළුවන්. ඒ සඳහා ඔබ සියළුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

මෙම වැඩමුළුව සංවිධානය කළ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයටත් ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයටත් මාගේ ප්‍රණාමය පුදකර සිටිනවා.”යනුවෙන්ද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළාය.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයයි.

කාන්තාවන් හා තරුණ පරම්පරාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරනු ලබන තිරසර සංවර්ධන වැඩසටහනෙහි උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳ මෙම වැඩමුළුව 14 හා 15 යන දෙදින පුරා පැවැත්වේ.

කාන්තා, ළමා, තරුණ සංවිධාන නියෝජනය කරන රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන රැසක නියෝජිතයෝ මෙම වැඩමුළුවට සහභාගීවෙති.

ශ්‍රි ලංකා පවුල් සැලසුම් සංගමයේ විධායක අධ්‍යක්ෂිකා තුෂාරා රණසිංහ, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ උපදේශක උචිත ද සොයිසා, තිරසර සංවර්ධන අධ්‍යක්ෂ ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්ම මහත්මීහු, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීහු, නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවුහ.

– ප්‍රසාද් මංජු

1,951 Viewers

6 Comments to “පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.4%යි.. එය වැඩි කල යුතුයි..”

  1. edward says:

    I am quite agreed with the idea of Ms Sumeda Jayasena. Sri Lanka needs increasing the representation of women in the parliament. Why didn’t this suggest by EU, which is preaching equality to developing countries

  2. ExFeminist says:

    කවුරුත් බලයට පත් වන්නේ සර්වජන ඡන්ද බලයෙන්. එතනදී ලිංගික වශයෙන් කෝටා දීම අනුමත කරන්න බෑ, එය ප්‍රජාතන්ත්‍ර විරෝධී යි. රටේ බහුතරයක් කාන්තාවන් පවා කැමති පිරිමි විතරක් පාර්ලිමේන්තු යවන්නනම් ඊට ඉඩ දිය යුතුයි. පාර්ලිමේන්තුවේ කාන්තාවන් මදිනම් කරන්න තියෙන්නේ කාන්තාවන්ට කතිරෙ ගහන්න කියල කාන්තාවන්ව දැනුවත් කරන එක. බොහෝ කාන්තාවො එකිනෙකාට ඊර්ෂයි, ඒ නිසා ඔවුන් කැමති පිරිමින්ට කතිරෙ ගහන්න මිසක් කාන්තාවන්ට කතිරෙ ගහන්න නෙමෙයි. ඒක පිරිමින්ගෙ වරදක් ද?

  3. fgh says:

    මුන්ට ලංකාවේ සංස්කෘතිය ඕනේ විලි වහගන්න කොට විතරයි. දේශීය සංස්කෘතියේ පිහිටෙන් පාර්මේන්තුවට ඇවිත් බටහිර සංස්කෘතිය තමන්ගේ වාසියට පමණක් සමාජය මුලා කරන්න , මුන්ගේ ගෞරවය රකින්න පිරිමින් යුතු යෝජනා කරන කපටි කාන්තා කල්ලිවාදය ???

  4. man says:

    13/225 ??? as apercentage 5.7% 😀

  5. rtde says:

    මේගොල්ලන්ට ඕනේ දෙපැත්ත කන්න. තව දුරටත් පිරිමින්ව වරදට පොලඹවන්න , බටහිර සංකල්ප කරපින්නාගෙන, ඒ මදිවට දේශීයත්වයෙනුත් වාසිගන්න දගලනවා . මේවට මුහුණදීමට තරම් විචාර බුද්ධියකින් හෙබි දේශාපලන සංස්කෘතියක් බිහිවීම අවශ්‍යයි.

  6. තව ගොන්නු 25 ක් විතර හොයා ගනින්?

Main News