පුදන කොටම කාපි යකා.. නව ව්‍යවස්ථාව පිළිබඳ අතුරු වාර්තාව පටන් ගන්නේ ම ටොම් පචයකින්.. මෙන්න විස්තරේ..

October 10, 2017 at 3:25 am | lanka C news
පුදන කොටම කාපි යකා.. නව ව්‍යවස්ථාව පිළිබඳ අතුරු වාර්තාව පටන් ගන්නේ ම ටොම් පචයකින්.. මෙන්න විස්තරේ..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

“පුදන කොටම කාපි යකා“ කියලා නව ව්‍යවස්ථාව පිළිබඳ අතුරු වාර්තාව පටන් ගන්නේ ම ටොම් පචයකින්. පළමු පිටුවේම කියනවා ඒකීය රාජ්‍යයේ ඉංග්‍රිසි යෙදුම වන “යුනිටරි ස්ටේට්“ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිතා කිරීම සුදුසු නොවේ කියලා. හේතුව මොකද්ද? “උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට එක්සත් රාජධානියෙන් වෙන් ව යා හැකි තත්වයක් වර්තමානය වන විට එක්සත් රාජධානියේ පවතියි“. මේක අමූලික බොරුවක් නෙ.

එක්සත් රාජධානියේ ඒකීය රාජ්‍යය ලංකාවටත් වඩා සවිමත්. ලංකාවේ පළාත් සභා වල බලතල ඉවත් කරන්න, ඒ වගේම පළාත් සභා අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ඕනෑ. නමුත් එක්සත් රාජධානියේ සරල බහුතරයෙන් ඒක කරන්න පුළුවන්. නමුත් එංගලන්ත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් ඔනෙනම් අයර්ලන්ත පාර්ලිමේන්තුව සම්මත කරන ඔනම දෙයක් සංශෝධනය කරන්න විතරක් නෙමෙයි ඕනනම් අයර්ලන්ත පාර්ලිමේන්තුව අහෝසිකරල දාන්නත් පුළුවන්. 1921තමයි අයර්ලන්තය සදහා මන්ත්‍රණ සභාවක් ලබාදුන්නේ.

“අයිආර්ඒ“ නමින් හඳුන්වන අයිරිෂ් ජනරජ හමුදාව අයර්ලන්තයට ස්වාධීනත්වය පතා සන්නද්ධ අරගලයක් පටන් ගත්තා. ඒ අරගලයට ප්‍රතිචාර වශයෙන් එක්සත් රාජධානිය කලේ 1974 දී සම්මත කළ උතුරු අයර්ලන්ත පනත මගින් එතෙක් උතුරු අයර්ලන්ත රාජ්‍ය සභාවට ලබා දී තිබුණු බලතල අහෝසි කර එකී බලතල මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය වූයේ එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ සරල බහුතරයේ කැමැත්ත පමණි. ඒ වගේම එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව විසින් 2003, 2006, 2007, 2009 සහ 2014 වසර වල දී පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් උතුරු අයර්ලන්තයට ලබා දී ඇති බලතල සංශෝධනය කළා. අපිට පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් පලාත් සභා අහෝසි කරන්න තබා බලතල සංශෝධනය කරන්න වත් බෑ. එහෙමනම් ශක්තිමත් ඒකීය රාජ්‍යය තියෙන්නේ එංගලන්තයේ. ලංකාවේ එහෙම එකක් නෑ.

එක්සත් රාජධානියේ සවිමත් ඒකීය රාජ්‍යයක් තිබෙන නිසා තමයි මේ ආණ්ඩුව යුනිටරි පදය ඉවත් කරන්න හදන්නේ. මොකද යුනිටරි කියන වචනය තිබුනොත් මේ අයගේ පෙඩරල් කුමන්තුණයට එය බාදාවක්. ඒ නිසා ඉතාම සුක්ෂම විදිහට පට්ටපල් බොරුවක් ටොම් පචයක් පලවෙනි පිටුවෙම ලියලා යුනිටරි පදය ඉවත්කරලා තියෙන්නේ. යුනිටරි කියන පදය නිර්වචනය කරලා එංගලන්තේ ඉන්දියාවේ ඔස්ට්‍රේලියාවේ විතරක් නොවේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් නඩු අහන්නේ ඉංග්‍රිසියෙන්. ඒ නිසා මේ හැම තැනම යුනිටරි පදය නිර්වචනය කරලා නඩු තීන්දු දී තිබෙනවා. නමුත් ඒකීය රාජ්‍යය කියන යෙදුමට ඉතිහාසයක් නෑ. සාහිත්‍යයක් නෑ. 1972 ව්‍යවස්ථාව සඳහා ඉංග්‍රිසි ව්‍යවස්ථාව සිංහලට පෙරලන විට දී තමයි ඒකීය රාජ්‍යය මුලින්ම භාවිතා කලේ. ඒකීය කියන එකේ තේරුම මොකක්ද? ඒකීය රාජ්‍යයක් යනු එක රටක්. පෙඩරල් රටක් කියන්නේ එකම රටේ ආණ්ඩු ගොඩක්. ඒ නිසා අපට “ඒකීය රාජ්‍යය“ කියන යෙදුමට වඩා වැදගත් යුනිටරි කියන ඉංග්‍රිසි යෙදුම. මොකද ඒකීය රාජ්‍යය කියන එකේ සිංහල අරුත ගත්තොත් එක රටක් මිස එක ආණ්ඩුවක් නොවේ. පෙඩරල් රාජ්‍යයක එක රටක් තුල ආණ්ඩු ගොඩක් තිබෙන්න පුළුවන්. නමුත් දෙමළින් යොදා ගෙන තිබුණේ නිවැරදි වචනය. ඔට්රියච්චි කියන්නේ එක ආණ්ඩුවක් කියන එක තමයි කියලා ජයම්පති වික්‍රමරත්ණ මැතිතුමන් මෑතකදී රූපවාහිණී සංවාදයක කිව්වා. ඔට්රියච්චි කියන්නේ එක ආණ්ඩුවක්. ජයම්පති මැතිතුමාගෙන් ඒ වචනය ඉවත් කලේ මොකද කියලා ඇහුව්වාම එතුමා කියන්නේ ඒක අදහස එක ආණ්ඩුවක් නිසා ඒක ඒකීය රාජ්‍යයට ගැලපෙන්නේ නෑ කියලා.

යුනිටරි ස්ටේට් කියන යෙදුම පිළිබඳ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ලෝකයම පිලිගත් නිර්වචනය ලබා දී තිබෙන්නේ කීර්තිමත් නීති විශාරදයෙකු වන ශ්‍රීමත් කෙනත් වෙයරේ. එතුමාට අනුව රටේ සෑම ප්‍රදේශයකටම සෑම විෂයක් සම්බන්ධයෙන්ම නීති පැනවීමේ බලය මධ්‍යම ආණ්ඩුවට තිබේ නම් එය ඒකීය රාජ්‍යයක්. එහෙම නම් ඒකීය රාජ්‍යය හැඳින්වීමට හොඳම දෙමළ වචනය වන ඔට්රියච්චි තිබිය දී ඉතාම කුමන්ත්‍රණකාරි ලෙස පෙඩරල් අර්ථය දෙන ඔරුමිත්ත නාඩු භාවිතා කර තිබෙනවා. සාමාන්‍යයෙන් ෆෙඩරල් රාජ්‍ය කියන්නේ රටවල් බෙදන්න පාවිචිචිකරන මෙවලමක් නෙමෙයි. වෙනම තියෙන රාජ්‍යයන් බෙදීමේ මෙවලමක්. ලෝකයේ පළමු පෙඩරල් රාජ්‍ය වන ස්විස්සර්ලන්තය වගේම ඔස්ට්‍රේලියාව ඇමරිකා එක්සත් ජනපදය මහා බ්‍රිතාන්‍යය කැණඩාව ස්පාඥය ජර්මනිය වැනි රාජ්‍ය පෙඩරල් රාජ්‍ය බවට පත්වුනේ විසිරී තිබෙන රාජ්‍ය ස්වාධීන රාජ්‍යයන් ගනනාවක් සිය ආරක්ෂාව පතා එකට එකතුවීමෙන්. බටහිර බලවතුන් බලහත්කාරයෙන් කඩා බෙදා වෙන්කර ෆෙඩරල් රාජ්‍ය හදන වා මිසක් ඉතිහාසය පුරා ෆෙඩරල් රාජ්‍ය බිහිවෙන්නේ විවධ රටවල් එකතුවීමෙන් මිස තිබෙන රටක් කැලි කැඩීමෙන් නෙවෙයි. ඉතාම කුමණ්ත්‍රණකාරී විදිහට යුනිටරි වචනය ඉවත් කරල දෙමලෙන් එක ආණ්ඩුවක් කියන ඔට්රියච්චි වචනයත් ඉවත් කරල තියෙනව. ඒකීය කියන්නේ එක රටක් මිස එක ආණ්ඩුවක් නෙමේ . ඊට ප්සසේ ඒකීය රාජ්‍යය යනුවෙන් අදහස් කරන්නේ එක රටක් තුල ආණ්ඩු ගොඩක් තිබෙන පෙඩරල් ව්‍යුහයමයි කියල නිර්වචනයක් ඉදිරිපත්කරගන්න ආණ්ඩුවට අනාගතයේ අවස්ථාව ලැබෙනවා.

ජයම්පති වික්‍රමරත්න මැතිතුමා කියනවා එහෙම කරන්න අපිට අදහසක් නෑ කියල. නමුත් එතුමන්ට අමතක වෙලා ව්‍යවස්ථාව හදන අයටත් ව්‍යවස්ථාව නිර්වචනය කරන්න බෑ කියලා. එය නිර්වචනය කිරීමේ වගකීම ව්‍යවස්ථාවෙන්ම දීල තියෙන්නේ ශ්‍රේෂ්ඨාධීකරණයටයි. දැන් ජයම්පති වික්‍රමරත්න මැතිතුමා කතා කරන විට ජනතාවට හිතෙන්න පුළුවන් එතුමා කියන දේ හරි කියලා. මම කතා කරන විට හිතෙන්නේ මම කියන දේ හරියි කියලා. දෙදෙනා එකම තැන සිට විවාද කළොත් තමයි කවුද ඇත්ත කියන්නේ කියන එක ජනතාවට සොයා ගන්න පුළුවන් වෙන්නේ. මේ රටේ ජනතාවට සත්‍ය දැන ගැනීමට ඇති අයිතියේ නාමයෙන් තොරතුරු දැනගැනීමේ පනත ගෙනා ආණ්ඩුවේ වගකීමක් විදිහට පාලු ගෙයි වළං බිඳින්නේ නැතුව විවාදයකට එන්න කියා ජයම්පති මන්ත්‍රිතුමාට මම නැවත වතාවක් ආරාධනා කරනවා.

– අරවින්ද අතුකෝරල

9,016 Viewers
Main News