පුරප්පාඩු ඉක්මවා සෞඛ්‍ය අමාත්‍යංශයට සේවකයන් බදවාගන්න යයි..

August 23, 2018 at 8:02 am | lanka C news
පුරප්පාඩු ඉක්මවා සෞඛ්‍ය අමාත්‍යංශයට සේවකයන් බදවාගන්න යයි..

ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යා සංගමය විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත යොමු කර ඇති ලිපියක් මෙහි දැක්වෙයි.

වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා,
ගරු. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය තුමා,
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
“සුවසිරිපාය”
කොළඹ 10

වෛද්‍ය රසායනාගාර උසස් ජාතික ඩිප්ලෝමාව සඳහා සිසුන් බඳවාගැනීම අත්හිටුවීම

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළ සංඛ්‍යා ලේඛණ දත්ත අනූව වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ අනුමත සේවක සංඛ්‍යාව 2023 ක් වන අතර දැනට සේවයේ යෙදී සිටින සංඛ්‍යාව 1797 කි. ඒ අනූව මුළු පුරප්පාඩු සංඛ්‍යාව 226 ක් වන අතර 375 ක ශිෂ්‍ය කණ්ඩායමක් දැනට පුහුණුවේ යෙදී සිටී. ඒ අනූව වර්තමාන සේවක සංඛ්‍යාවට අදාලව 149 ක අතිරික්තයක් මේ වසර තුලදී ඇතිවීමට නියමිතය.

තවද පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කරාපිටිය හා යාපනය යන විශ්වවිද්‍යාල මඟින් වාර්ෂිකව 100 කට අධික වෛද්‍ය රසායනාගාර විද්‍යාවේදීන් සංඛ්‍යාවක් සේවයට මුදාහරිනු ලැබේ. තවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදී ඇති රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වල සුදුසුකම් සපුරන වෛද්‍ය රසායනාගාර විද්‍යාවේදී උපාධිධාරීන්ද රජයේ වෛද්‍ය රසායනගාර සේවයට අනුයුක්ත කිරීමේ උත්සහයක්ද පවතින බැවින් විශ්වවිද්‍යාල මඟින් වාර්ෂිකව වෘත්තීය සුදුසුකම් ලබන වෛද්‍ය රසායනාගාර විද්‍යාවේදීන් සංඛ්‍යාව 200 කට ආසන්න සංඛ්‍යාවක් වනු ඇත.

කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශය මඟින් නිකුත් කරන නවතම චක්‍රලේඛයට අනූව කිසිඳු වෘත්තිකයෙකු අනුමත සේවක සංඛ්‍යාවට මෙපිටින් බඳවා ගැනීමේ හෝ නඩත්තු කිරීමේ හැකියාවක් නොමැති අතර කිසියම් ආයතනයක් විසින් අනුමත සේවක සංඛ්‍යාවට මෙපිටින් යම් නිළධාරියෙකු සේවයෙහි යොදවන්නේ නම් ඔහුගේ/ඇයගේ වැටුප් සහ අනෙකුත් දීමනා සියල්ල අදාල ආයතන ප්‍රධානියා විසින් ගෙවිය යුතුය

උක්ත කරුණු සැළකිල්ලට ගැනීමේදී අත්‍යාවශ්‍ය සේවක සංඛ්‍යාව අනුමත කර ගැනීමකින් තොරව, තවත් පුහුණු කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බඳවා ගැනීම තුලින් බරපතල ගැටළුකාරී තත්වයක් ඇති වන බැවින් ඉදිරියේදී බඳවා ගැනීමට නියමිත වෛද්‍ය රසායනාගාර විද්‍යා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ බඳවාගැනීම් අත්හිටුවන ලෙසත්, වෛද්‍ය රසායනාගාර සේවයේ කටයුතු විධිමත්ව පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය රසායනාගාර විද්‍යා සේවක සංඛ්‍යාව කඩිනමින් අනුමත කිරීමට කටයුතු කරන ලෙසත් ඉතා කරුණිකව ඉල්ලමි.

එසේම, වෛද්‍ය රසායනාගාර විද්‍යා උසස් ඩිප්ලෝමාධාරියෙකු නිර්මාණය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රු. ලක්ෂ 25ක පමණ පිරිවැයක් දරණු ලබන අතර, ඉන්පසුව එම ඩිප්ලෝමාදාරින්, උපාධිදාරීන් බවට පරිවර්තනය කිරීම උදෙසාද වෙනම පිරිවැයක් දරන්නට සිදුවේ. රාජ්‍ය විශ්ව විද්‍යාල මගින් සුදුසුකම් ලබන වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිදාරීන් සදහා එම අවස්ථාව ලබාදීම මගින් එම සම්පුර්ණ පිරිවැය වලක්වාගත හැකිවන අතර, වඩා වැඩි සුදුසු කම් සහිත වෘත්තිකයන් බදවාගැනීමේ ඉඩකඩක්ද නිර්මාණය වේ.

එනයින්, මී වනවිට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් ප්‍රමාණවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාවේදීන් පිරිසක් වාර්ෂිකව සිය වෘත්තිය සුදුසුකම් සපුරන බැවින්, ඉදිරියේදී ඇති වන සියළු වෛද්‍ය රසායානාගාර විද්‍යාවේදී පුරප්පාඩු සඳහා උපාධිදාරී වෘත්තිකයින්ට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි අනෙකුත් සියළු බඳවා ගැනීම් අත්හිටුවන ලෙස කරුණිකව ඉල්ලමි. තවද දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නඩත්තු කරමින් සිටින වෛද්‍ය රසයනාගාර විද්‍යා උසස් ඩිප්ලෝමා පාඨශාලා, දැනට සේවයෙන් නියුතු වෘත්තිකයන්ගේ ප්‍රශ්චාත් වෘත්තීය අධ්‍යයන කටයුතු හා සුවිශේෂී කාර්ෂක්ෂමතා පුහුණු කිරීමේ කටයුතු සදහා පරිවර්තනය කරන ලෙසද, ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. මේ පිළිබඳ කඩිනම් සාකච්ඡාවක්ද අපේක්ෂා කරමි.

ස්තුතියි
මෙයට විශ්වාසී

රවී කුමුදේශ්
සභාපති

4,339 Viewers

One Comment to “පුරප්පාඩු ඉක්මවා සෞඛ්‍ය අමාත්‍යංශයට සේවකයන් බදවාගන්න යයි..”

  1. මොන වර්ගයක හරි වෘත්තිකයින් වැඩිවීම රටට හොඳක්. ලංකාවෙ රැකියා නොමැති නම් පිටරට යන්න. ගෘහ සේවයට යනවාට වඩා වෘත්තිකයන්ට පිලිගැනීම සහ වැටුප් හොඳයි. රටටත් විදේශවිනිමය එනවා. ඒ වගේම රෝගීන් බිල්ලට අරන් කරන වර්ජන නවතිනවා.රජය උවමනා ප්‍රමාණයට වඩා බඳවා නොගැනීම ඉතාම හොඳයි. නැතිනම් සේවය කාර්යක්ෂම නොවී මහජන මුදලින් පඩිකන නිකමුන් බිහිවෙනවා. පසුගිය රජය සියලු රාජ්‍ය ආයතන වලට කලේ මේ අපරාධය. මේ රජය එය නැවැත්වීම ඉතාම යහපත්.

Main News