පොලිසිය රණවිරුවන්ට හිරිහැර කරන හැටි රණවිරු බිරිඳක් මාධ්‍ය හමුවේ හඬමින් පවසයි..

August 23, 2018 at 3:24 am | lanka C news
පොලිසිය රණවිරුවන්ට හිරිහැර කරන හැටි රණවිරු බිරිඳක් මාධ්‍ය හමුවේ හඬමින් පවසයි..

පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ පැවති මාධ්‍ය හමුව සදහා පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල, පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර යන මහත්වරුන් සහ එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා නගා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ නිලධාරී කෝප‍්‍රල් වසන්ත උළුගෙදර මහතාගේ බිරිද වන මහේෂිකා උළුගෙදර මහත්මිය සහභාගි විය.

මාධ්‍ය හමුව සදහා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස්.

මේ ඉන්නේ මහේෂි උළුගෙදර.  එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට සම්බන්ධ බවට චෝදනා නගා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ නිලධාරියෙකු වන කෝප්රල් උළුගෙදරගේ බිරිඳ.  සැමියා යුද බිමේ කොටින්ට විරුද්ධව කටයුතු කරද්දී ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයේ පූර්ණකාලිනියක් වශයෙන් කොටින්ට එරෙහිව මතවාදි තලයේ සටන් කළ වීර සෙබලියක් විධියටයි අපි මහේෂිව දන්නේ.

1998 මාර්තු මාසයේ දී මරදානේ පුපුරුවා හළ කොටි බෝම්බයෙන් ගෝතමි බාලිකා විදුහලේ ඉරේෂා සහ සුලෝචනා යන දියණියන් දෙදෙනා මිය යනවා.  ඒ දියණියන්ගේ මරණය නිමිති කර ගෙන තමයි කොටින්ට එරෙහිව ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය බිහි වන්නේ.  තමන්ගේ මිතුරියන්ගේ ඉරණම අන් අයට අත් නොවිය යුතුයි කියන පදනමින් තමයි ඇය ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයට එක් වෙන්නේ.  ඉන් පසුව සිහළ උරුමය සහ ජාතික හෙළ උරුමය යන පක්ෂ වලට සම්බන්ධ වී මූලස්ථානයේ සේවය කරනවා.  2007 දී ගරු පා ච රණවක මැතිතුමා ඇමති ධූරයකට පත් වුණාම එතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයටත් මහේෂි පත්වීමක් ලබනවා.

රට වෙනුවෙන් සටන් කරපු අඹු සැමි යුවලකට අද අත් වෙලා තිබෙන ඉරණම රටට කියන්න අපි මහේෂි උළුගෙදර මහත්මියට ආරාධනා කරනවා අදහස් දක්වන්න.

මාධ්‍ය හමුව හා එක්වෙමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ නිලධාරී කෝප්රල් වසන්ත උළුගෙදර මහතාගේ බිරිද වන මහේෂිකා උළුගෙදර මහත්මිය දැක්වු අදහස්

මම මහේෂිකා උළුගෙදර.  මම පදිංචිවෙලා ඉන්නේ කඩුවෙල. අද මම මෙතෙන්ට ආවේ  තමන් සන්තකව තියෙන බලය අයුතු ලෙස භාවිතා කරගෙන මටත් මගේ මහත්තයාටත් දරුවටත් තර්ජනය  කරලා කටයුතු කරපු නිළධාරීන් කණ්ඩායමක් සිදු කරපු අසාධාරණයක් ගැන කියන්න.

එක්නැලිගොඩ පැමිණි බස් රථයේ ගමන් කිරීම වරදක්ද ?

මගේ මහත්තයා යුද හමුදා බුද්ධි අංශයේ සක්‍රීය සේවයේ යෙදී සිටින වසන්ත සුදේශ් කුමාර උළුගෙදර. එයාව බන්ධනාගාර ගත කරේ 2018 අගෝස්තු දහවෙනිදා හෝමාගම අධිකරණයේදී. හේතුව තමයි මාධ්‍යවේදී එක්නැලිගොඩ මහත්තයව අතුරුදහන් කිරීමට සම්බන්ධ යැයි කියලා. මේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ එම දරුවන් අගතියට පත්වීම සම්බන්ධයෙන් මම කාන්තාවක් විදිහට අවංකවම කණගාටු වෙනවා.  නමුත්  සීයිඩි එක අධිකරණයට ඉදිරිපත්කරන බී වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ. මගේ මහත්තයා 2009 අගෝස්තු මාසයේ එක්නැලිගොඩ දඹුල්ලේ සිට එද්දි ඔහු පැමිණි බස් රථයේ කොළඹ දක්වා පැමිණි බවයි. සීඅයිඩිය ප්‍රශ්න කරද්දී එය තහවුරු වුණාලු . දුරකතන දත්ත පරික්ෂා කරලා ඒ මත තමයි මගේ මහත්තයා අත්අඩංගුවට ගන්නේ. මගේ මහත්තයාගේ නීතිඥයින් නම් කිව්වේ මහත්තයා ඒ බස් එකේ ආවත් 2010 ජනවාරි මාසයේ එක්නැලිගොඩ මහත්තයා අතුරුදහන්වීම සම්බන්ධයෙන් මගේ මහත්තයාගේ ඇති සම්බන්ධය බී වාර්තාවේ සඳහන් කර නැති බවයි. ඒ එක්කම මගේ මහත්තයා එක්නැලිගොඩ මැරූ බවට තියා එක්නැලිගොඩ මහත්තයා මැරුණද නැතිනම් අතුරුදහන් වුනේ කොහොමද කියන එක ගැනවත් ඇසින් දුටු සාක්ෂියක් වත් විද්‍යාත්මක සාක්ෂියක් වත් තවම ඉදිරිපත් වෙලා නැහැ.

නමුත් සීඅයිඩී එක  මිනී මැරීමේ චෝදනාව  යොදලා අසත්‍ය බී වාර්තාවක්  ඉදිරිපත් කරලා තමයි මගේ මහත්තයව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ. තමන්ගේ නොහැකියාව සගවා ගන්න සීඅයිඩිය කරන මාධ්‍ය සංදර්ශනයක් මේක. මගේ මහත්තයා මේකට කොහෙත්ම සම්බන්ධ නැහැ.මගේ මහත්තයට මේ එක්නැලිගොඩ නඩුවට තියෙන සම්බන්ධය ඔය කියන කාලයේ ගිරිතලේ කෑම්ප් එකේ වැඩ කරපු එක. මගේ මහත්තයා කෑම්ප් එකේ වැඩ කළා සහ ඒ කාලේ නිතර කොළඹට ආවා බුද්ධි වාර්තා අරගෙන. ඒක විතරයි මේකට තියෙන එකම සම්බන්ධය. මං දන්න විදියට මගේ මහත්තයා 2009  වෙනකම් නැගෙනහිර යුද්ධය තියන කාලයේ ඒ මෙහෙයුම් වලට සක්‍රියව දායකත්වය දැක්වූවා. 2009න් පස්සේ  බුද්ධි වාර්තා රැගෙන යෑමේ රාජකාරිය තමයි මගේ මහත්තයා කළේ. සීඅයිඩී එක අහලා තියෙනවා මගේ මහත්තයා ලිපි රැගෙනයාමේ රාජකාරිය කළේ උඹ වැඩ කලේ තැපැල් දෙපාර්තමේන්තුවේ ද කියලා. ඒ වැදගත් මහත්තුරු දන්නේ නැතුව ඇති 2009 කියන්නේ යුද්ධයේ අන්තිම කාලේ , යුද්ධය දරුණුවට ම තිබුණු කාලයේ ගිරිතලේ වැනි ප්‍රදේශයක ඉඳලා සන්නිවේදන කටයුතුත් බොහොම අමාරුවෙන් කළේ. ඉතාම වැදගත් බුද්ධි වාර්තා කොළඹට එවන එකත් එවකට ලොකු අභියෝගයක් වුණාලු. ඒවා නිසි වේලාවට කොළඹට රැගෙන එන එක තමයි මගේ මහත්තයා කළේ. බුද්ධි වාර්තා නිසි වේලාවට ලබා නොදුන්නා නම් මේ යුද්ධය ඉවර කරගන්නත් අපහසු වේවි යැයි ඒ දවස්වල කිව්වා.

ගිරිතලේ ඉඳලා එන එක පැය 7ක 8ක ගමනක්. ඒ ආවහම සමහර දවස්වල පාන්දර ගෙදරට ඇවිල්ලා පැය දෙකක් විතර නිදාගෙන ඉදලා යනවා. ආයෙත් රෑ එනවා.

එක්නැලිගොඩ පසුපස ගිය බව පිළිගන්නැයි බුද්ධි අංශ නිලධාරියාට බලපෑම්

මගේ මහත්තයව මේකට පටලවන්න සීඅයිඩී එක කටයුතු කරන්නේ 2017 නොවැම්බර් ඉදලා. අවස්ථා තුනකදී එන්න කියලා කට උත්තර ගත්තා. ඒ හැම පාරකම මහත්තයට තර්ජනය කරලා තිබුණා 2009 අගෝස්තු මාසයේ එක්නැලිගොඩ කියන මනුස්සයා පිටිපස්සෙ ගියා කියලා පිළිගන්න කියලා. ඒක තමයි සීඅයිඩී එකට වෙන්න ඕන කරලා තිබුනේ. හැම තිස්සෙම කිව්වේ ඒක පිළිගන්න කියලයි. ඊට පස්සේ සීඅයිඩී එක එයාලට අවශ්‍ය පරිදි ලියලා මහත්තයාගේ අත්සන බලෙන් ලබා ගෙන තිබුණා. පලවෙනි අවස්ථා දෙකේදීම මගේ මහත්තයා සීඅයිඩී එකට ගියහම මහත්තයාව රැගෙන එනවා රෑ 2.30 ට 3ට විතර.

පළවෙනි දවසේ ප්‍රකාශයක් සටහන් කර ගන්න කියලා මගේ මහත්තයා ගියහම අපි දන් නැහැ මොකද වෙන්නේ කියලා . මොකටද ගියේ කියලා දන්නෙත් නැහැ. පළවෙනි දවසේ රෑ 12 විතර වෙනකම් මම බලාගෙන සිටියා මගේ මහත්තයා නැවත එනකන්. මට මහන්සි නිසා නින්ද ගියා. පාන්දර 2.30 ට විතර මගේ මොබයිල් ෆෝන් එකට කෝල් එකක් ආවා. අපි ඇවිල්ලා ඉන්නේ දොර අරින්නයි කිව්වා. මහත්තයා බලන්න බලාපොරොත්තුවෙන් හිටපු හින්ද මම එතරම් හිතන්නැතුව අම්මටත් කතා කරගෙන ගිහින් දොර ඇරියා. අපේ ගේට්ටුවෙන් අනෙක් පස පේනවා. මම දැක්කා කළු කලිසමයි අත් දිග සුදු කමිසෙකුයි ඇඳගෙන ඉන්න සුදුම සුදු මනුස්සයෙක්. ඇත්තටම මම පළවෙනි පාර බයවුනා දැක්ක හැටියෙම. අඳුරන් නැති මනුස්සයෙක් රාත්‍රීයේ හිටගෙන ඉන්නවා දැක්කහම. පාන්දර නිසා වැඩි සද්ද නැහැ.  ඒ නිසා කීප දෙනෙක් ඇවිදගෙන එන සද්දය මට ඇසුනා. මම ඇඳගෙන හිටියේ   රාත්‍රියේ අඳින දුහුල් ඇඳුමක්. ඒ නිසා මම නැවත ඇතුලට යන්න හැදුවා.  එවිට යන්න එපා ඔහොම ඉන්න අපි සීඅයිඩී එකේ දොර අරින්න කියලා කිව්වා. මම ගිහින් ගේට්ටුව ඇරියා.  ගේට්ටුව ඇරියහම මේගොල්ලෝ මාවත් තල්ලු කරගෙන ගෙට ඇවිදින් එයාලා ඉස්සරහින් මට ඉඳගන්න කිව්වා. එවිට මම කිව්වා මට ඇඳුම් මාරු කරගන්න යන්නට ඕනේ මම ඇඳුමක් දාගෙන එන්නම් කියලා. නැහැ යන්න දෙන්න බැහැ කියලා මාව එතනම ඉන්දවා ගත්තා පිරිමි ගොඩක් මැද්දෙ කිසිම කාන්තාවක් ඇවිත් හිටියෙ නැහැ. ඒ පිරිමි ගොඩ මැද්දෙ මට අන්තිමට අර දුහුල් ඇඳුම පිටින් ඉඳගෙන ඉන්න වුණා.

කර්නල් කුමාරත්න සහ  කර්නල් සිරිවර්ධන හඳුනන බව පිළිගන්නැයි බිරිඳටත් බලපෑම්

මහත්තයගේ දුරකතනය ගැන තමයි ඇහුවේ. මහත්තයා දුරකතනය දීලා ගියාද වගේ දේවල් මගෙන් අහලා  මගෙන් ඇහුවා කර්නල් කුමාරත්නයි  කර්නල් සිරිවර්ධනයි අඳුරනවද කියලා. මම කිව්වා නැහැ මම එයාලව අඳුනන්නේ නැහැ කියලා.  එවිට ඔවුන් කිව්වා නැහැ ඔයා කතාකරලා තියෙනවා කියලා. ඇත්තටම මම ඒ සර් ලව අඳුරන්නේ නැහැ. මම ඒ වෙද්දී දැනගෙන හිටියෙත් නැහැ ඒ සර්ලා කවුද කියන්නවත්. නමුත් මට කිව්වා ඔයාට  කතා කළා කියලා පිළිගන්න කියලා. මම කිව්වා මට කතා කරපු නැති එකක් මම කොහොමද පිළිගන්නේ කියලා. එයාලා ඔයාට තර්ජනය කළ බව පිළිගන්න කිව්වා. එවිට මම කිව්වා මට තර්ජනය කළෙත් නැහැ මට කතා කළෙත් නැහැ කියලා. එතකොට එස් අයි ප්‍රේමතිලක කියන කෙනා මට කිව්වා “ඔයාගේ මහත්තයා අහිංසකයි. ඔයාගේ මහත්තයාට මේකට කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි මිනිහට කියන්න අපි කියන දේ පිළිගන්න කියලා”  කර්නල් කුමාරත්න සර් සහ  කර්නල් සිරිවර්ධන සර් තර්ජනය කළා කියන එක පිළිගන්න කියන්න කිව්වා. මම කිව්වා මගේ මහත්තයා දන්න දෙයක් තියෙයි නම් කියාවි. නොදන්න දෙයක් නම් කොහොමවත් ම පිළිගන්න එකක් නැහැ කියලා. අනිත් එක කර්නල් කුමාරත්නයි  කර්නල් සිරිවර්ධනයි කළුද සුදුද කියන්න තියා ඔයාලා මෙහෙම අපේ ගෙදරට ඇවිල්ලා තර්ජනය කරන්නේ ඇයි ද කියලවත් මම දන්නේ නැහැ කියලා මම ඔවුන්ට කිව්වා.

එවිට ඔයා බබා  මුකුත් දන් නැහැ නේද? කියලා ඇහුවා.  මම කිව්වා මගේ මහත්තයා කැමති නැහැ කෑම්ප් එකේ කිසි කෙනෙක් අඳුරගන්න වට. කවදාවත් මට හඳුන්වලා දීලත් නැහැ. මම කෑම්ප් එකේ කිසිම කෙනෙක් ගැන දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ මටත් බැනලා පැයක් විතර මගෙන් කර්නල් කුමාරත්න සර් සහ  කර්නල් සිරිවර්ධන සර් ගැනම අහ අහ ඉදලා පැයකට විතර පස්සෙ මහත්තයව ඇතුලට ගෙනාවා. ඒ එලියෙ තිබුනු වාහනයක තියාගෙන ඉඳලා.

බුද්ධි අංශ නොවෙයි මන්දබුද්ධික අංශ –  හමුදා  බුද්ධි  අංශයටත් අපහාස

ඉන් පස්සේ  මගේ ඉස්සරහා දිම කිව්වා මුන්  බුද්ධි අංශ නෙවෙයි වැඩ කරන්නේ. මන්ද බුද්ධිකයෝ.  මුන්ගෙන් මොනවහරි ඇහුවහම මුන් දන්නේ නැහැ.  මුන්ට මතක නැහැ. මුන්ගේ බුද්ධි අංශයට කියන්න ඕනේ බුද්ධි අංශය නෙවෙයි මන්දබුද්ධික අංශය කියලා. එහෙම කියමින් මහත්තයට බැනලා සාජන් උඩවත්ත කියන කෙනා පැයක් විතර ලියලා ලියලා මගේ මහත්තයව බාර ගත්තා කියලා මට එහි අත්සන් කරන්න කිව්වා. එවිට මම කිව්වා එකේ අස්සන් කරන්න බැහැ.  මට කියවන්න දෙන්න කියලා. කියවන්න දැන් අපිට වෙලා නැහැ.  දැන් පාන්දර 4 විතර වෙලා. අත්සන් කරලා දෙනවා ඕක කියලා බලෙන් අත්සන් අරගෙන ගියා. මම අද තව වෙනකං දන්නේ නැහැ මම ඒ අත්සන් කළේ මොකටද කියලා.

රණශූර පදක්කම දරණ රණවිරුවා පාරේ ඇද ගෙන ආ හැටි

ආයේ දවස් තුනකට විතර පස්සේ නවගමුව පොලිසියෙන් බයික් එකක් ආවා.  ඇවිදින් කිව්වා මහත්තයට එන්න කියලා. මං එතකොට එයාගෙන් ඇහුවා ඇයි දන් නැහැ නේද එන්න කිව්වේ කියලා. මාධ්‍යවේදියෙක් මැරුවා කියලා තමයි එන්න කියලා තියෙන්නෙ කියලා කිව්වහම මං ඒක මහත්තයට දැනුම් දුන්නා. මහත්තයා ඊට පහුවෙනිදා කඳවුරට ගිහිල්ලා කඳවුරෙන් තමයි මහත්තයාව බාරදීලා තියෙන්නේ සීඅයිඩී එකට. එදා දහවල් දොළහට විතර මම පුතත් එක්ක මිදුලේ ඉන්නකොට මට ඇහෙනවා මිනිස්සු කිහිප දෙනෙක් කෑගහනවා වගේ සද්දයක්. කට්ටියත් එලියට බැහැල බලන නිසා මමත් ගේට්ටුවෙන් බලාගෙන හිටියා. අනේ මගේ මහත්තයා යුනිෆෝම් ඇඳලා. මගේ මහත්තයව ඔවුන් ඇදගෙන එනවා. ගෙදරට එහායින් වාහනය නතර කරලා මහත්තයව ඇදගෙන එනවා. මට ඒ වෙලාවෙ හරිම දුකයි.  හමුදා නිලධාරියෙක් නේද මේ කියලා හිතුනා. ඔවුන් මේ ඇද ගෙන එන්නේ සියලුදෙනාටම පේන්න. මගේ මහත්තයා යුනිෆෝම් ඇඳලා ඉන්නවා මගේ දරුවා කවදාවත් දැකලා නැහැ. මම දැකලත් නැහැ. රණශූර වැනි පදක්කම් නිල ඇඳුමේ දරාගෙන සිටින මගේ මහත්තයා ඇදගෙන එනකොට මගේ දරුවා ගිහින් මහත්තයා ගේ ඇඟේ එල්ලුනා.

දරුවා ඇඟේ එල්ලුනා ම  අර උඩවත්ත කියන කෙනා මගෙන් ඇහුවා ඇයි මෙයා මේ ඇගේ එල්ලෙන්නේ.  දැකල නැද්ද මීට ඉස්සර කියලා. එවිට මම කිව්වා දරුවා තියා මම වත් දැකලා නැහැ මගේ මහත්තයා නිල ඇඳුමෙන් ඉන්නවා.  අද තමයි ඇඳලා එනවා දකින්නේ කියලා. බුද්ධි අංශ නිලධාරියෙක් විදිහට මගේ මහත්තයා රැවුල එහෙම වවලා යි හිටියේ.  ඒ නිසා  නිල ඇඳුම අඳින්නේ නැහැ බොහෝ වෙලාවට. එහෙනම් ෆොටෝ එකක් ගහලා තියා ගන්නවා. ආයෙ දකින්න වෙයිද දන් නැහැ නේ කියලා කිව්වා. මට ඒ වෙලාවේ ඒක ලොකු කම්පනයක්.  ඇයි එයා එහෙම කිව්වේ.  නිකං මරනවා වගේ කතාවක්නේ ඒක.

ගෙදර ඇතුලෙදි මහත්තයා එක්නැලිගොඩ පස්සේ ගියා කියලා පිළිගන්නේ ඇයි ඔවුන් කිව්වා.  මහත්තයා කිව්වා මම එහෙම කෙනෙක් පසුපස්සේ ගියේ නැහැ කියලා. මම දන්නෙත් නැහැ ඉතින් ඇයි මම ඒක පිළිගන්නේ කියලා.  එතකොට උඩවත්ත මම හිතන විදිහට ඔහු සාජන් කෙනෙක් වෙන්න ඇති .එයයි එස් අයි ප්‍රේමතිලක තමයි  මම නමින් දන්නේ. නැගිටලා මගේ මහත්තයට ගහන්න ගියා. එතකොට ලෙඩින් හිටපු මගේ අම්මා කිව්වා හරි ෂෝක් මහත්තයෝ අම්ම වෙච්ච මම මෙතැන  ඉද්දි ඔයා කොහොමද මේ නිල ඇඳුමෙන් ඉන්න සොල්දාදුවෙකුට ගහන්නේ කියලා. ඉන්පසු පහර දුන්නේ නැහැ.  මට කිව්වා තමුන්ට කර්නල් කුමාරත්නයි  කර්නල් සිරිවර්ධනයි තර්ජනය කරලා තියෙනවා  මේ දේවල් නොකියා ඉන්න කියලා.  මම කිව්වා මට එහෙම තර්ජනයක් කරලා නැහැ කියලා.

මහත්තයගේ දුරකතනය ගෙදරයි තිබ්බේ.  අපිට බැනලා ඒ දුරකතනයත් අරගෙන මම කැමැත්තෙන් දුරකතනය භාර දුන් බවට මගෙන් අත්සනුත් අරගෙන මහත්තයාව යළි එළියට ඇදගෙන ගියා. ඊට පස්සේ අවට අයට ඇහෙන්න කෑගහලා කියනවා  මුං ආමි එකේ ලු. මාර රහස්පරීක්ෂකයෝ මුං. රැවුල් කොන්ඩ වවලා.  උඹලව දැක්කහම ආමි එකේ කියලා කියන්න පුලුවන්ද කියලා.  අපි ඒ පැත්තට අළුතින් පදිංචියට ගියේ. ඒ පැත්තේ මිනිස්සු හිතන්නට ඇති අපි ඒ ගෙදර මොනවා හරි නරක වැඩක් කරනවා කියලා. මොකද මහ රෑ මිනිස්සු එනවා ගෙදරට. ඒ වගේම මෙයාලා කෑගහනවා අපි නිකම් මිනීමරුවො ගානට දාලා. කියන්නේ කාටද කියලා හිතාගන්න බැරුවයි අපි හිටියේ. මහත්තයගේ ෆෝන් එකත් අරන් මහත්තයව ඇදගෙන ගියා වාහනේට.

බිරිඳ සහ දරුවා මරන බවට බුද්ධි අංශ නිලධාරියාට තර්ජන.

මහත්තයා ගෙනිහින් එයාට තර්ජනය කරලා තිබ්බා මගේ පුතාවයි මාවයි මරනවා.  උඹේ ගෑනි දන්නවා කර්නල් කුමාරත්න ලව. ඒකි බොරු කියන්නේ කියලා. උඹලා වගේ නෙවෙයි උඹලට සාක්ෂි ඉතුරු වෙන්නැතුව මිනී මරන්න බැරි උනාට අපි හොඳට දන්නවා මිනී මරන්න එක සාක්ෂියක් වත් ඉතුරු නොවන්න. ඒ නිසා උඹ මේ මනුස්සයා පස්සෙ ගිය බව පිළිගනින් කියලත් කියලා තිබ්බා. නමුත් මහත්තයා පිළිඅරගෙන තිබුණේම නැහැ.

එදා රෑ දෙක හමාරට විතර මහත්තයා ගෙදරට අරගෙන ආවා. එදත් බැනලා බැනලා මහත්තයා බාර ගත්තා කියලා අත්සන් කරන්න කිව්වා. එතනදි මම කිව්වා ඔයාලා හරියටම නීතියට වැඩ කරනවා නම් මගේ මහත්තයව කෑම්ප් එකේදි අරගත්තනම් කෑම්ප් එකටම භාරදෙන්න.  ඇයි ගෙදර එක්ක ආවේ කියලා. කොහෙට බාර දුන්නත් එකයි.  බාර ගත්තා කියලා අත්සන් කරනවා කියලා මට කිව්වා.  නමුත් එදාත් මා අත්සන් කල එක මට කියවා බලන්න දුන්නේ නෑ.

අපට වෙච්ච දේ සම්බන්ධයෙන් අප මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. ඉන් අනතුරුව අගෝස්තු නමවෙනිදා ප්‍රකාශයක් සටහන් කර ගන්න කියලා මගේ මහත්තයට එන්න කියලා දහවෙනිදා උසාවියෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළා දින දාහතරකට.

අධිකරණ භූමිය තුළ දී බුද්ධි අංශ නිළධාරියා ගේ බිරිඳට තර්ජනය කළ හැටි

මහත්තයා බන්ධනාගාර ගත කළාට පස්සේ මහත්තයා ඇඳගෙන ගිය  නිල ඇඳුම් තියන බෑග් එක තිබුණේ සීඅයිඩී එකේ වාහනයක. මට කිව්වා ඒ බෑග් එක ගන්න කියලා. මගේ අම්මා පිළිකා රෝගියෙක් එදා අම්මට සැත්කමක්.  ඒ නිසා මට යන්න කෙනෙක් හිටියේ නැහැ.  මම ගියේ මගේ හොදම යහළුවෙක් එක්ක. මම මගේ යාළුවට කිව්වා ඔයා නීතිඥ තුමන්ට මුදල් ලබා දීලා එන්න. එතකම් මම බෑග් එක අරගෙන එන්නම් කියලා. මම යනකොට අධිකරණ භූමිය ඇතුළෙයි වාහනය නවතා තිබුනේ. එස් අයි ප්‍රේමතිලක සහ උඩවත්ත හා තවත් මහත නිළධාරියෙක් හිටියා. ඊට අමතරව ඒ වාහනේ තව නිළධාරීන් දෙදෙනෙක් හිටියා. මම එතනට යද්දී එස් අයි ප්‍රේමතිලක කිව්වා උළුගෙදර ගේ බෑග් එක දෙන්න කියලා.ඇතුලෙ හිටපු කෙනා බැහැලා බෑග් එක දෙනකොට එස් අයි ප්‍රේමතිලක මගේ පැත්තට හැරිලා ඇහුවා දැන් උඹ ගෙදරදී අපි කරපු කියපුවා උසාවියට කිව්වේ මොනවා හිතාගෙනද?  උඹට ඒකෙන් නඩුවට තියෙන වාසිය මොකද්ද? කියලා මගෙන් ඇහුවා.  මම මොනවත් කිව්වෙ නැහැ. මම බය වෙලයි හිටියේ.  අධිකරණ භූමිය ඇතුලේ එයාලා මට එහෙම කතා කරයි කියලා මම හිතුවේ නැහැ. අපි උඹ ගැන පස්සෙ බලාගන්නම් යැයි මට ඔවුන් තර්ජනය කළා.

මම බෑග් එක අරන් එන්න හදද්දී උඩවත්ත කියන කෙනා මට කිව්වා බෑග් එක පරීක්ෂා කරන්න කියලා. අවශ්‍ය නැතැයි මම කිව්වත් බෑග් එක පරීක්ෂා කරන්න යැයි ඔවුන් කිව්වා. මම එතැනදීම බෑග් එක තියන් එය පරීක්ෂා කරලා බැලුවා. ඒ අතර උඩවත්ත කියන කෙනා යළිත් මට කිව්වා උඹගේ මිනිහා ඉල්ලගෙන කෑවේ. ඌට ඇප ගන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඌට බේරෙන්න දෙන්නෙත් නැහැ. උඹ දැන් මානව හිමිකම් ගියානේ.  උඹ දැන් අපිට මානව හිමිකම් ගිහින් මොනවද කළේ. උඹ මානව හිමිකම් ගිහිල්ලා අපි ගැන ලියලා නේ තියෙන්නේ අපි දැන් හරි බයෙන් ඉන්නේ.  ඔවුන් ඒ විදිහට මට කිව්වා. මම කිසිත් නොකියා මගේ මහත්තයගෙ ගමන් මල්ලත් අරගෙන ආවා.

මගේ මහත්තයා අපරාධකරුවෙක් නෙවෙයි.  ඔහු විනය ගරුක හමුදා නිලධාරියෙක්. යුද සමයේ අපි හරියට දුක් වින්දා. මගේ මහත්තයා බන්ධනාගාර ගත කරපු එක ගැන මට ලැජ්ජාවක් නැහැ.  මට ඒ ගැන ආඩම්බරයි. මොකද ඔහු වරදක් නොකරයි බන්ධනාගාර ගත කළේ. මට සීඅයිඩී එකේ මහත්වරුන්ට කියන්න තියෙන්නෙ බොරු කරලා අපිව මරනවා කියලා තර්ජනය කරලා බොරුව ඇත්ත කරන්න උත්සාහ කරන්නේ නැතුව සාධාරණ පරීක්ෂණයක් කරන්න. ඇප ලබාගන්න අවස්ථාව දෙන්න.   ඕනෑම පරීක්ෂණයකට ඉස්සෙල්ලා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ කියන මහත්තයව ජීවත් වෙනවාද මැරුණද කියන එක ඉස්සෙල්ලා හොයා ගන්න.

ඒ වගේම මම හමුදාපතිතුමන් ගෙන් හමුදා බුද්ධි අධ්‍යක්ෂක තුමන්ගෙන් සහ හමුදාවේ නීති අධ්‍යක්ෂ තුමන්ගේ වගේම බුද්ධි අංශයේ ඉහළ නිළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේකට මැදිහත්  වෙන්න කියලා. මොකද මගේ මහත්තයව සීඅයිඩී එකට භාර දුන්නේ යුද හමුදාව භාරයේ ඉන්න නීති නිළධාරීන්. නමුත් ඒ නීති නිළධාරියාට වත් බැරි උනා මගේ මහත්තයව අත්අඩංගුවට අරගෙන පැය තිහක් ගත වෙන තුරා මේ පිළිබඳ නිශ්චිත තොරතුරක් දෙන්න. මගේ මහත්තයා නමවෙනිදා උදේ දහයට ගිහිල්ලා ඒ නීති නිළධාරියාත් එක්ක බාරදුන්නා දහවෙනිදා දහවල් දෙක වෙනකම්ම මම සීඅයිඩී එකට කතා කරලා මහත්තයා අත්අඩංගුවේ කියලා තහවුරු කරගන්න කම්ම හමුදාවේ නීති අංශයේ කිසි කෙනෙක් දැන ගෙන හිටියේ නැහැ.

මම ඉල්ලනවා හමුදාවේ ඉහළ නිළධාරීන්ගෙන් මගේ මහත්තයා පහල නිලධාරියෙක්. ඔබතුමන්ලාට එයා එක සොල්දාදුවෙක් වෙන්න පුළුවන්. ඒ මගේ දරුවගේ පියා.  ඒ වගේම රණවිරුවෙක්. ඒ නිසා මගේ මහත්තයා ගැනත් බලන්න කියලා.  මේ වෙන විට මගේ මහත්තයාගේ වැටුපත් නතර කරලා.  අපි ඉතා අසීරුවෙන් කටයුතු කරගෙන යන්නේ. නමුත් මගේ මහත්තයට සාධාරණයක් වෙනකම් මම මේ සටන අතහරින්නේ නැහැ.  ගරු අධිකරණයෙන් මගේ මහත්තයාට සාධාරණයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නීතිඥ උදය ගම්මන්පිල මහතා

එක්නැලිගොඩ ගිරිතලේ සිට කොළඹ ආ දවසක කෝප්‍රල් වසන්ත කොලඹ පැමිණි බව ඔහුගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් ඇමතුම් සම්බන්ධ වුණු සංඥා කුළුණු හරහා පොලිසිය තහවුරු කර ගෙන තිබෙනවා.  එකම දවසේ කොළඹ පැමිණීම පමණක් පදනම් කරගෙන ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන සිර ගත කිරීම සාධාරණ ද?  අද මම බස් එකේ යන විට මමත් එක්ක එකට ගිය කෙනෙකු මාස පහකින් අතුරුදහන් උනොත් ඔහුව මරා දැමුවේ මමයි කියා බස් එකේ එකට යාම පමණක් පදනම් කරගෙන චෝදනා නැගිය හැකිද? කෝප්‍රල් වසන්ත කියන විධියට ඔහු එක්නැලිගොඩ කෙනෙක් දන්නේම නෑ.  හරි අපි වසන්ත විසින් එක්නැලිගොඩගේ පිටිපස්සෙන් ගියාම කියමු.  බුද්ධි අංශ නිලධාරියෙකුට ඕනෑම සැක සහිත පුද්ගලයෙකුගේ පස්සෙන් යන්න බැරි ද? එය ඔහුට පැවරෙන රාජකාරිය. තමුන්ට පැවරෙන රාජකාරිය ඉටු කිරීම මිනීමැරුම් චෝදනා ලබන්න තරම් අපරාධයක්ද? නමුත් වසන්ත ඉතා පැහැදිලිවම කියනවා ඔහු එවැනි කටයුත්තක නිරත නොවු බව.

පරසතුරන් පරාජය කර මව්බිම එක්සේසත් කළ සිව්වැන්නා වන පළමු වන විජයබාහු රජතුමා පනාකඩුව තඹ සන්නසේ  තමන්ට පරසතුරන් පරාජය කරන්න උදව් කළ මුදන්නා සම්බන්ධයෙන් මෙහෙම කියා තිබෙනවා.  මුදන්නා හරි ඔහුගේ මතු පරම්පරාවේ කෙනෙකු යම් වරදක් කර ඇද්ද රට බේරා ගන්න කළ සේවය සලකා ඔහුට පළමු වරට සමාව දෙන්න.  දෙවන වරටත් සමාව දෙන්න.  තෙවන වරටත් සමාව දෙන්න.  ඊට පස්සේත් රාජද්‍රෝහි වුණොත් රන් දම්වැලින් බැඳ සිරබත් වෙනුවට රාජ බොජුන් දෙන්න.  අපේ රජවරු මේ ආකාරයට රණවිරුවන්ට සැලකූ නිසා තමයි ඉන්දියාවට කිලෝ මීටර් 32ක් තරම් සමීපයේ පිහිටා තිබිලත් අපට ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතින්න පුළුවන් වුණේ.  නමුත් අද රණවිරුවන්ට නොකළ වරදවල් පටලවලා දඬුවම් කරන බවයි මේ කතාවෙන් පේන්නේ.

මුදන්නා ඇතුළු පරම්පරාවටම රට බේරා ගැනීම වෙනුවෙන් එසේ වරප්‍රසාද හිමි වෙන විට මව්බිම එක්සේසත් කළ අටවැන්නා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රණවිරුවන්ට අද නොකළ වරදට දඬුවම් විඳින්න සිදු වෙලා තිබෙනවා. එදා රණවිරු බිරියන් බියෙන් සිටියේ කොයි මොහොතේ මගේ සැමියා කොටි අතින් මිය යයිද කියලා. අද රණවිරු බිරියන් බියෙන් සිටින්නේ කොයි මොහොතේ ආණ්ඩුවෙන් ඇවිත් මගේ සැමියා කුදලාගෙන යයිද කියලා. යුද්ධය අවසන් වුනාට පස්සෙනම් අපේ බිය ඉවර වුනා. නමුත් රණවිරු බිරියන් අපේ බිය නැති කිරීමේ පාපයට අදත් බියෙන් වන්දි ගෙවනවා.    බුද්ධි අංශ කියන්නේ ඕනෑම ජාතියක ඇස් සහ කන්.  බුද්ධි අංශය විනාශ කරනවා කියන්නේ ජාතියක් අඳ බිහිරි බවට පත් කරනවා කියන එකයි.  විග්නේශ්වරන්ලා ශිවාජිලිංගම්ලා විජයකලාලා අද උතුරේ බෙදුම්වාදි විෂබීජ පතුරන බවටත් කොටියා උතුරේ යළි නැගිටින බවටත් ඕනෑ තරම් නිදසුන් තිබෙනවා.  හමුදාවට මේ කරන හිරිහැර සමග උතුරේ යළි යුද්ධයක් ඇති වුණොත් කිසිම අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් යළි හමුදාවට නම් යවන එකක් නෑ

– අරවින්ද අතුකෝරල

21,673 Viewers

6 Comments to “පොලිසිය රණවිරුවන්ට හිරිහැර කරන හැටි රණවිරු බිරිඳක් මාධ්‍ය හමුවේ හඬමින් පවසයි..”

  1. රවි.. says:

    මම සිංහල බෞද්ධයෙක්. එ් වාගේම මම නීිති ක්ෂේත්‍රෙය් සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ ස්වාධින නීතිඥයෙක්. මම දැන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය දෙස දුකෙන් බලා සිටිනවා. මෙම ලිපිය කියවූ පසු, මගේ අධිෂ්ඨානයන් මම වෙනස් කලා. මගේ භවගාමී ජීවිතයේ ඉදිරියේ කිසිම වරෙකවත්, මේ රටේ ඉපදීමට සිදුනොවේවා යයි පතමින් අවසන් හුස්ම හෙලීම මගේ පරම පැතුමයි.

    • Amda says:

      වැහි නැති හෙන ගහනව මේ කරන අපරාධ වලට..
      මේ බිරින්දෑවරුන්ගෙ, දරුවන්ගෙ, දෙමව්පියන්ගෙ ඇස් වලින් වැටෙන කඳුලක් ගානෙ මේ අපරාධ කරන, කරවන සහ නවත්වන්න බලය තියාගෙනත් මුකුත් නොකරන් නිකන් බලාගෙන ඉන්න උන්ටත් මේ විපාක මේ භවයේම ලැබෙනව සහ ඉදිරියට ආත්ම ගනන් විඳවනව.
      එකම ප්‍රාර්ථනය උන්ගේ දිට්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා දකින්න අපට වාසනාව ලැබේවා!

      @රවි…
      ඔබතුමා නීතිඥයෙක් නම්, ඔබ වැනි නීතිඥයන් කිහිප දෙනෙකු එකතු කරගෙන, මේ රණවිරුවන්ගේ නඩු වලදි, රණවිරුවන් වෙනුවෙන් කල හැකි යමක් වෙත් නම් කරන්න බලමුද?
      ආර්ථික ආධාර සඳහා දානපතියන් සොයගත හැකි වෙයි.
      අප මේ සඳහා එකතුවී යමක් කල යුතුයි. එය අපේ යුතුකම සහ වගකීමද වෙනවා.
      c නිව්ස්…කරුණාකර සන්විධානය වෙනුවෙන් ආධාර කරන්න.

  2. Gotaimbara says:

    Very sorry to hear what this family is going through. When any party gets the backing from the west people should know, they come with ulterior motives. UNP was never for the Sri Lankans from the day JR became the president. Nephew is an idiot who has come to irradiate our nation.

  3. Nim says:

    ” ME WA JATHIKA APARADA. “

  4. Saradiyel says:

    අහෝ ලක් මවුනි ඔබ බේරාගත් මෙම රණවිරුවන් ට හා ඔවුන්ගේ පවුල්වල අයට කරන මෙවැනි අපරාධ වලට මෙ හැතිකරයට සමාව දීය හෑකිද?

  5. Soldger says:

    Mewa karana unta wagema unge pawl walata hena hatha wadiwa……

Main News