මංගල සමරවීර හිඟන්නෙක් වගේ උදව් ඉල්ලූ බව ටැමිල් නෙට් කියයි..

November 1, 2017 at 10:44 pm | lanka C news
මංගල සමරවීර හිඟන්නෙක් වගේ උදව් ඉල්ලූ බව ටැමිල් නෙට් කියයි..

සිදු වෙමින් පවතින ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය නීතිවිරෝධී මෙන්ම මහා සංඝරත්නයේ අවවාදයට, අනුශාසනාවට පටහැනි ඒකාධිපති ක්‍රියාදාමයක් බැවින් දැන්වත් එය නතර කර දමන ලෙස ආණ්ඩුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද (01) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ වන විට දෙමළ ඩයස්පෝරාව විසින් පවත්වා ගෙන යනු ලබන ටැමිල්නෙට් වෙබ් අඩවිය විසින් පළ කළ ප්‍රවෘත්ති වාර්තාවක් මේ මොහොතේ ඔබේ අවදානයට ලක් කරවීමට අපි කැමතියි. ‘Singapore Principles of 2013: Tamil polity taken for ride from Oslo to Singapore’ යන ශීර්ෂය යටතේ තමයි එම ප්‍රවෘත්ති වාර්තාව පළ කර තිබුණේ. එහි සඳහන් වෙනවා ‘2013 දී සිංගප්පූරුවේ දී ගෝලීය දෙමළ සංසඳ නායකයන් (GTF‍) හා මංගල සමරවීර, සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න, තමිල් මාරන් (කොළඹ නීති පීඨයේ පීඨාධිපති) ඇතුළු පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එහි දී මංගල සමරවීර මහින්ද රාජපක්‍ෂ පාලනය එළවා දැමීමට ගෝලීය දෙමළ සංසඳ නායකයන්ගෙන් හිඟන්නෙක් වගේ උදව් ඉල්ලා සිටියා. එතැනදී පහත සඳහන් කරුණු 10ට අදාළ ව්‍යවස්ථා වෙනසකට දෙපාර්ශ්වය එකඟ වුණා’ කියා.

‘මංගල හිඟන්නෙකු සේ එකඟ වූ කරුණු 10’

මම ඒ කරුණුවල සිංහල පරිවර්තනය ඔබට ඉදිරිපත් කරන්නම්. ‘රජයේ ස්වභාවය විස්තර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ භාවිතා කරන ලේබලය නොව අන්තර්ගතයයි’ යන්න එහි සඳහන්. ඒ කියන්නේ ‘ඒකීය යන ලේබලය තිබුණාට කමක් නැහැ. අභ්‍යන්තරයෙන් රට බෙදී තිබිය යුතුයි’ යන්නයි. ඊළඟ කරුණ තමයි, ‘ජනතාවගේ ස්වාධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය හා ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය මූලික ව්‍යවස්ථාපිත මූලධර්ම හා සාරධර්මවලට ඇතුළත් විය යුතුය’ යන්න. ‘බලය බෙදීම සිදු විය යුත්තේ නොබෙදුනු රටක් තුළ ස්වයං තීරණ අයිතිය හා පොදු අයිතීන් පිළිගනිමිනි’ යන්න තවත් කරුණක්. ස්වයං තීරණ අයිතිය කියන්නේ වෙන් වී යාමේ අයිතියට. ඒ එකඟතාව අනුව බලය බෙදිය යුත්තේ වෙන් වී යාමේ අයිතිය පිළිගනිමිනුයි. මෙවැනි කරුණු 10ක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට එකඟ වෙමින් තමයි දකුණු අප්‍රිකාව සහ යුරෝපා රටවල අනුග්‍රහයෙන් පැවැති සිංගප්පූරු සාකච්ඡා අවසන් වුණේ කියලයි එම ටැමිල්නෙට් ප්‍රවෘත්ති වාර්තාව අනාවරණය කරන්නේ.

ව්‍යවස්ථා ක්‍රියාදාමයෙන් ගොඩනැගෙන්නේ සන්ධීය රාජ්‍යයක්!

මේ දිනවල සාකච්ඡාවට ගැනෙන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත හොඳින් අධ්‍යයනය කළාම ඉතාම පැහැදිලිව පෙනෙනවා, ඉහත ප්‍රවෘත්තිය අනාවරණය කළ සිංගප්පූරු මූලධර්ම 10 අනුව මෙම අතුරු වාර්තා කෙටුම්පත සැකසී ඇති බව. මේ අතුරු වාර්තා කෙටුම්පතෙහි නිර්දේශ අනුව ගොඩනැගෙන රාජ්‍යය හරයෙන් සන්ධීය රාජ්‍යයක්. නමින් පමණක් ‘ඒකීය‘ කියන වචනය පටලවා තිබෙනවා.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය නීතිවිරෝධී ක්‍රියාවලියක්. ඒ බව කියන්නේ අපි නොවෙයි, දැනට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හිටපු බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍යවරයා වූ, නීතිය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මැතිතුමා. විජයදාස රාජපක්ෂ මැතිතුමා පෙන්වා දී තිබෙනවා, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ව්‍යවස්ථා විරෝධියි. මුල පටන්ම බල ශූන්‍යයි’ කියා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මේ රටේ දැනට බලපවත්වන මූලික නීතිය. ඒක වෙනස් කරනවා නම් කළ හැක්කේ පවතින ව්‍යවස්ථාවෙන් දී ඇති ප්‍රතිපාදන අනුවයි. විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉතා පැහැදිලිව පෙන්වා දෙනවා, ‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට මෙහෙයුම් කමිටු හදන්නවත් පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරන්නවත් ප්‍රතිපාදන සලසා නැහැ. එසේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලස්වා නොමැති ක්‍රමවේදයකට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යෑම නීත්‍යනුකූල නැහැ. ඒ නිසා දැන් සිදුවෙමින් පවතින්නේ නීතිවිරෝධී ක්‍රියාවලියක්’ කියා.

2015 ජනවාරි 08 වැනිදා බලපෙරළියට උපරිමයෙන් කර ගහපු ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා දැන් කියනවා, ‘රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන ක්‍රියාවලිය නීති විරෝධියි’ කියා. එසේ නම් අපි ඉල්ලනවා මේ ව්‍යවස්ථා ක්‍රියාදාමයට අත් උදව් දෙන පිරිස්වලින් ‘වහාම මේ නීතිවිරෝධී ක්‍රියාදාමයට උදව් දීමෙන් වළකින්න’ කියා. මේ නව ව්‍යවස්ථා කෙටුම්පතට පක්ෂ ද විපක්ෂ ද යන්න කෙසේ වුවත් මේ නීතිවිරෝධී ක්‍රියාදාමයට කිසිවෙකුත් අනුබල නොදිය යුතුයි. එම නීතිවිරෝධී ක්‍රියාදාමයට අනුබල දුන්නොත් ඒ හරහා උපත ලබන බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට දායක වුණා වෙනවා. ඒක සහගහන අපරාධයක්.

ඒකාධිපති ක්‍රියාදාමයක්

අද වන විට විජයදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥතුමා පෙන්වා දී තිබෙනවා, ‘මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය නීතිවිරෝධියි’ කියා. ඒ වගේම මහ නාහිමිවරු ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා, ‘මේ ගැටළුකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය නතර කරන්න’ කියා. ඒ නිසා මෙවැනි ක්‍රියාදාමයන් ඉදිරියට රැගෙන යන්නේ කෙසේ ද? නීතියටත් පටහැනි, මහා සංඝරත්නයේ උපදේශයට, අවවාදයට, අනුශාසනයට පටහැනි, ඒකාධිපති ස්වරූපයේ ක්‍රියාදාමයක් තමයි මේ අරගෙන යන්නේ. මේ ක්‍රියාදාමයට උඩගෙඩි දෙන, අත්වැල් ගායනා සපයන කිසිවෙකුටත් මේ පාපකර්මයෙන් ගැලවෙන්න බැහැ. ඒ නිසා අපි ඉතාමත් ඕනෑකමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාදාමය දැන්වත් නතර කරන්න කියලා.

‘ආණ්ඩු පක්ෂයේ තවත් පිරිසක්…’

මේ ව්‍යවස්ථා කෙටුම්පත කරේ තබා ගෙන යන අය දෙස බලන්න. මේ අය බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය ජය ගන්නා තෙක් බලා සිටි අය. ප්‍රභාකරන්ට යුද්ධයෙන් කරන්න බැරි වුණු දෙයයි මේ ව්‍යවස්ථා කෙටුම්පතින් කරන්න යන්නේ. මේ ආණ්ඩුවේ ඉන්නවා නම් මේ රටට, ජාතියට අබමල් රොනක හෝ ආදරයක් ඇති කෙනෙක් ඊට එරෙහිව පුරෝගාමීව නැගී සිටින්න කියා, අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි විජයදාස රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලනවා, ‘තමුන්නාන්සෙ නීතිවිරෝධියි කියන ක්‍රියාදාමයට එරෙහිව නැගී සිටීම සඳහා ආණ්ඩු පක්ෂයේ තවත් පිරිසක් එකතු කර ගැනීමට ක්‍රියාමාර්ග තෝරන්න‘ කියා.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර, ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු ද එක් ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

වීඩියෝව මෙතනින්

20,749 Viewers
Main News