මං පටාචාරාවක් වගේ..- විමල්ගේ උපවාසය ගැන බිරිද ශෂී කියන කතාව මෙන්න..

April 3, 2017 at 9:20 am | lanka C news
මං පටාචාරාවක් වගේ..- විමල්ගේ උපවාසය ගැන බිරිද ශෂී කියන කතාව මෙන්න..

රාජ්‍ය වාහන අවභාවිතාවට අනුබල දුන්නේ යයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා බිරිද ශශී වීරවංශ ලක්බිම පුවපත්පත සමග කරන ලද සංවාදයක් පහත පලවෙයි.

විමල් වීරවංශ දින නවයක් තිස්සේ ක්‍රියාත්මක කළ උපවාසය අවසන් කළේ ඇයි?
මහා සංඝරත්නය කළ ඉල්ලීම නිසා තමයි ඔහු තමන්ගේ උපවාසය නතර කළේ. ඒ ඉල්ලීමට ඔහු ඇහුම්කන් දුන්නා. ඒ වගේම තමයි අපේ පවුල පැත්තෙනුත් උපවාසය නතර කරන ලෙස ඉල්ලීමක් තිබුණා. තාත්ති උපවාසය අවසන් කර එනතුරු අපි කන්නේ නෑ කියලා තමයි දුව කිව්වේ.

මේ උපවාසය කළේ ඇප ගන්නද?
ඇප ගන්න නමෛයි මේ උපවාසය කළේ. ඇප ගැනීමට අවශ්‍ය නම් උපවාස කරලා වැඩක් නැහැ. දැන් සිදුවන අසාධාරණය ගැන කියන්න තමයි උපවාසයක් ක්‍රියාත්මක කළේ.

මහ නායක හිමිවහන්සේ නමක් හා අනුනායක හිමිනමක් ද උපවාසය නතර කරන ලෙසට ඔහුගෙන් ඉල්ලීම් කර තිබුණා. උන්වහන්සේලා මේ ඉල්ලීම්කිරීමට මැදිහත්වුණේ කෙසේද?
හාමුදුරුවෝ කීප නමක් තමයි මට කතා කළේ. මහ නායක හාමුදුරුවෝ නම් සම්බන්ධවෙන්න ඇත්තේ පක්ෂයේ සහෝදරවරු හරහා වෙන්න ඇති. උන්වහන්සේලා මේකට මැදිහත්වෙනවා කියලා මම දැනගත්තේ අන්තිම මොහොතේදීයි.

මහ නායක හිමිවරුන්ට මේ සඳහා මැදිහත්වෙන්න කියලා පක්ෂය පැත්තෙන් ඉල්ලීමක් තිබුණාද?
නෑ.නෑ. එහෙම ඉල්ලීමක් කළේ නෑ. පක්ෂයේ අය, පවු‍ලේ අය, හිටපු ජනාධිපතිතුමා කියපුදේට ඇහුම්කන් දෙන්නේ නැතිනම් අපි ඇවිත් මේකට මැදිහත්වෙනවා කියලා තමයි නායක හාමුදුරුවෝ ඇවිත් මැදිහත්වුණේ. එහෙම නැතිව අපි කවුරුවත් නායක හාමුදුරුවන්ට මේකට මැදිහත් වෙන්න කියලා කිව්වේ නෑ.

උපවාසය ආරම්භ කිරීමට පෙර එවැනි උපවාසයක් ආරම්භ කරන බව විමල් ඔබට කිව්වාද?
දේශපාලන තීන්දු ගන්නේ අපෙන් අහලා නොවෙයි. උපවාසය ආරම්භ කිරීමට පෙර දිනයේදී අපිට පාර්ලිමේන්තුවේදී ඔහු හමුවුණා. මේ අවස්ථාවේදී දුව ඇඬුවා. දුව අඬනකොට මටත් ඇඬෙනවා. තාත්ති උපවාස කරන්න එපා කියලා තමයි දුවයි පුතයි ආවේ.

ඒ වෙලාවේ ඔබේ අදහස වුණේ මොකක්ද?
මමත් ඒ වෙලාවේ මේකට කැමැත්තක් දැක්වූයේ නෑ. ඔහු ඇතුළේ ඉඳලා මේ කරන එක අපි දකින්නේ නෑ. ඒ නිසා අපිට බයක් තිබුණා. මේ වෙලාවේ උපවාසයක් ආරම්භ කරන්න එපා කියලා මම බිරිඳක් විදියට ඉල්ලීමක් කළා.

උපවාසය ආරම්භ කළාට පසුව ඔහු හමුවුණාද?
උපවාසය ආරම්භ කළාට පස්සේ ඇතුළේ තත්ත්වය මට හරියටම දැනගැනීමට විදියක් තිබුණේ නෑ. උපවාසය ආරම්භ කළාට පස්සේ ගෙදර ලොකු යුද්ධයක් තිබුණේ. දරුවෝ දෙන්නාම කෑම කන්නේ නැතිව ගියා. ඔවුන් දෙදෙනාම අසනීප වුණා. මගේ පුතා වැඩිය එළියට යන කෙනෙක් නමෛයි. මට ඉස්පිරිතා‍ලේ නම් යන්න බෑ කියලා තමයි පුතා කිව්වේ. පස්සේ මම උදේ දොස්තර ළඟට එක්කගෙන යනවා. හවස එක්කගෙන යනවා. ඒ අතරේ දුවත් ලෙඩ වුණා. මේ දෙන්නාට මම උයලා කන්න දෙන්න ඕන. මේ වගේ වෙලාවකට මම ඒ දෙන්නාටම කවන්න ඕන. මේ වෙලාවේ මම පටාචාරාවක් වගේ තැනින් තැනට දුවනවා. මට මහත්තයා බලන්න යන්න ඕන. ඒ හැම එකටම මැදිවුණ දවස් ගතවුණ හැටි මට හීනයක්

ඔබේ දුව රෝහල්ගත කළා. මෙය ඔබ දරාගත්තේ කොහොමද?
අපේ දරුවෝ යුද්ධය කාලයේත් මේ කැපකිරීම කළා. ඒ කරපු කැපකිරීම පුදුම කැපකිරීමක්. අපි ගෙවල්වලින් එළියට බහින්නේ නැතිව හිටියා. ඉස්කෝලෙට ගියේ වාහන දෙක තුනක. තාත්තා එක්ක ගමනක් බිමනක් යන්න තිබුණේ නෑ. එදා කැපකිරීම් කරපු දරුවෝ අදටත් දුක් විඳිනවා. අනික් හැමෝම සතුටින් ඉන්නවිට අපේ දරුවෝ ඇඬූූ කඳුළින් ඉන්නේ. මට මේක දරාගන්න විදිය හිතාගන්න බැහැ. මේ දුක තේරෙන්නේ මේ වගේ තත්ත්වයකට ආපු අයෙක්ට විතරයි. මගේ දුව ඇවිත් තාත්තා බලන්න යන්න ඕන කියලා අඬනවා. ඒත් පුතා තාත්තා බලන්න යන්න බෑ, මට දුකයි කියලා අඬනවා. දෙන්නා දෙපැත්තක ඉන්නේ. මට ඒ දෙපැත්තටම යන්න බෑ. දුව රෝහල් ගතකළ දවසේ රෑ ඉඳලා තාත්ති බලන්න යන්න ඕන කියලා අඬනවා. මේ ඇ¾ඩිල්ල නතර කරන්න බැරි තැන මම දොස්තරලාට කතාකරලා දරුවා එළියට එක්කගෙන යන්න අවසර ඉල්ලුවා. ඒත් දොස්තරවරු කිව්වේ ටිකට් කපාගෙන ගිහින් එන්න කියලයි. ඊටපස්සේ මම ටිකට් කපලා බන්ධනාගාරයට ගිහින් දුවට තාත්තා පෙන්නලා එක්කගෙන ආවා. එතැනින් එළියට ඇවිත් දුව මාව බදාගෙන ඇඬුවා. මට ගෙදර යන්න ඕන කිය කිය ඇඬුවා. මම නැවත රෝහලට අරගෙන යන්නේ නැතිව ගෙදර එක්කගෙන ගියා. අයිමත් එදා රෑ අසනීප වුණා. එදා රෑ මම දූත් අරගෙන පෞද්ගලික රෝහලකට ගියා. ඒත් එතැන ඉන්න බෑ බන්ධනාගාරයේ ගේට්ටුව ළඟට යමු. තාත්තිට මොනවා හරි වෙයි කියලා දිගටම දූ අඬන්න ගත්තා. මම එතැනට ගියේ රිජ්වේ ආර්යා ළමා රෝහලට පුතාත් අරගෙන යන්න බැරි නිසා. දොස්තර පැය දෙකක් විතර දූ රෝහ‍ලේ තියාගෙන ඉඳලා බෙහෙත් දීලා ගෙදර එව්වා.

ඔබගේ දුව රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ ආකාරය ගැනත් ප්‍රශ්න තිබුණා. වයස අවුරුදු දහසයක අයෙක් ළමා රෝහලකට ඇතුළත් කළේ කොහොමද?
මගේ දුවට වයස අවුරුදු 16 සම්පූර්ණ කරලා නැහැ. අපි මුලින්ම රාගම රෝහලට ඇතුළත් කළේ. එදා අපි බෝධිපූජාවකට ගියා. බෝධිපූජාව අවසන් කළාට පස්සේ මගේ යාළුවෙක් එයාගේ ගෙදර යමු කියලා කිව්වා. ඒ යාළුවාගේ ගෙදර ඉන්න වෙලාවේදී තමයි දුවට අසනීප වුණේ. දරුවෝ දෙන්නාම වමනේ දාන්න ගත්තා. මගේ දුව අරගෙන රාගම රෝහලට ගියාට පස්සේ වැඩිහිටි අයගේ වාට්ටුවකට තමයි දැම්මේ. මෙයා ඒ අය එක්ක තියාගන්න බැරි බව වෛද්‍යවරු තීරණය කළාට පස්සේ තමයි රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරන්න කියලා කිව්වේ. ඒ වෙලාවේ වයස එක්ක මේ දරුවා රිජ්වේ රෝහලට ඇතුළත් කරන්න බැහැ නේද කියලා මම ඇහුවා. අවුරුදු දහසය දක්වා විශේෂ අවස්ථාවලදී මේ වගේ ළමුන් ඇතුළත් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි දරුවා ඇතුළත් කරගත්තේ.

විමල් උපවාස කරනවිට ගෙදර කලබල රැසක් තිබූ බව තමයි ඔබ කියන්නේ. මේවාට ඔහු ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?
මුලදී මට යන්න අවසරයක් ලැබුණේ නෑ. දුවට ඇතුළට යන්න ඕන කිව්වාම විශේෂ අවසරයක් ඇතිව තමයි දුවත් ඇතුළට ගියේ. අපි ඔහු උපවාසයෙන් පසු මුලින්ම දැක්කේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. ගෙදර තිබුණ කලබල ගැන මම මුකුත් කිව්වේ නෑ. අපි මේ කතාකරන වෙලාව වනතුරු ගෙදර වුණ දේවල් කිසිවක් ඔහු දන්නේ නෑ.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කළාට පස්සේ මොන වගේ තත්ත්වයක්ද තිබුණේ?
රෝහලට ඇතුළත් කරනවිටත් අමාරු තත්ත්වයක් තිබුණේ. එයා අමාරුවෙන් සිටිනවා දකිනවිට දරුවන්ටත් දුකයි. එයාට කතා කරන්නත් අමාරු තත්ත්වයක් තිබුණේ. අපි එතැන විනාඩි පහළොවකට විස්සකට වඩා හිටියේ නෑ.

ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොකද වුණේ?
ජාතික රෝහලට ඇතුළත් කරපු ගමන් අපිට ගොඩක් දුක හිතුණා. පුතා ලෙඩවෙලා නිසා පුතා පළමු දවසේ ජාතික රෝහලට ගියේ නැහැ. දුව විතරයි ගියේ. දුව රෝහ‍ලේ ඇඳ උඩ ඉඳපු විමල්ගේ ඔළුව අතගාලා අනේ තාත්ති මේක නවත්තන්න කියලා කිව්වා. අපිට තාත්ති ඕන කියලා කිව්වාම එයා හිනාවුණා මිස වෙන කිසිවක් කිව්වේ නෑ.

උපවාසය අවසන් කළාට පසුව දුවගේ ප්‍රතිචාරය කොහොමද?
අපි උපවාසය අවසන් කළ දවසේ ඉස්පිරිතාලෙට ගියේ මේ ආරංචිය ලැබුණාට පසුවයි. උපවාසය නවත්වනවා කියන ආරංචිය ලැබුණාම දුවත් සතුටින් තමයි ගියේ. තාත්ති ගෙදර එනවාද කියලා තමයි දූ හැමතිස්සේම අහන්නේ. අවුරුද්දටවත් තාත්තට ගෙදර එන්න පුළුවන් වෙයිද කියලා අහන්නේ. බැඳුම්කර සිද්ධිය වගේ දේවල් අපේ දරුවන්ට තේරෙනවා. මේ වගේ වංචාවන්ට සම්බන්ධ අය එළියේ ඉන්නකොට තාත්තා ඇතුළේ ඉන්නේ ඇයි කියලා අහනවා. අපේ තාත්ති ඇමැති වෙලා ඉන්න කාලයේදී ඉංජිනේරු සංස්ථාව මිලියන දාහක් විතර ආදායම් ලබපු හැටි ගැන අහන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. තාත්ති දන්න අයගෙන් වැටුප් ගන්නේ නැතිව වැඩ කරනකොට වාහනයක් දුන්නාම තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා අහනවා.

ඉදිරියට ඔබලා මොනවාද කරන්නේ?
ඉස්සරවෙලා මෙයා ගෙදර එන්න ඕන. තාත්තා වරදක් නෑ කියලා දරුවෝ දන්නවා. මේ ප්‍රශ්නය නිසා අපි හැමෝගෙම ජීවන රටාව වෙනස් වෙලා. දුව මේ වාරයටම මාස එකහමාරක්වත් ඉස්කෝ‍ලේ ගිහින් නැහැ. වාර විභාගයට හරියට පෙනී ඉන්න අවස්ථාවක් ලැබිලා නැහැ.

මීට කලින් විමල් වීරවංශ මෙවැනිම උපවාසයක් කළා. ඒකත් මේ විදියට නතර කළා. මේ උපවාස රංගනයක්ද?
විමල්ව කනත්තට යවන්නනේ මේ රටේ සමහර අය බලාගෙන ඉන්නේ. දේශපාලනය කරන අයට ඕනම දෙයක් කරන්න එතකොට අවස්ථාව ලැබෙනවානේ. මේ වගේ තීන්දු තීරණ කාටවත් ‍ලේසියෙන් ගන්න පුළුවන් තීන්දු තීරණද කියලා බලන්න.

සංජය නල්ලපෙරුම
ලක්බිම

37,352 Viewers
Main News