මන්නාරම් සමූහ මිනිස් වලෙන් හමු වූ සිරුරු ගණන 150 පනියි….

October 3, 2018 at 5:30 pm | lanka C news
මන්නාරම් සමූහ මිනිස් වලෙන් හමු වූ සිරුරු ගණන 150 පනියි….

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද  කැනීම් තුළින් අද (03) උදෑසන වන විට සිරුරු කොටස් 151 ක් හමුවී ඇති බවටත් ඒ අතර කුඩා ළමුන් 14 දෙනෙකුගේ පමණක් සිරුරු කොටස් හමු වී ඇති බවට  කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු අද වන විට 79 වන දිනට සිදු කෙරෙන අතර ගොඩගත් සිරුරු 151 න් සම්පූර්ණ සිරුරු 144 කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවටද විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය වරයා මාධ්‍ය වෙතට පවසා සිටියේ මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු පිළිබඳව මාධ්‍යට තොරතුරු ලබා දීමට නීත්‍යානුකූලව අවසර ඇත්තේ තමන්ට පමණක් බවටත් එයද සතියේ බදාදා දින පමණක් ලබා දෙන බැවින් වෙනත් කිසිවෙකුත් සිදු කරන ලද ප්‍රකාශයන් හෝ තොරතුරු නීත්‍යානුකූල නොවන බවටත්ය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,135 Viewers

2 Comments to “මන්නාරම් සමූහ මිනිස් වලෙන් හමු වූ සිරුරු ගණන 150 පනියි….”

  1. Dp says:

    අපේ රටේ කීදෙනෙක් මේ ත්‍රස්තවාදය නිසා නැති වුනාද .LTTE එකේ ත්‍රස්තවාදයට අවනත නොවීම නිසාම අමු අමුවේ තමුන්ගේම ජාතියේ අහිංසක මිනිසුන් මරා වැලලීම මහා පාපයකි

  2. Kings says:

    ඇයි ඔය අස්ථි කොටස් අර පහුගිය කාලෙ නැගෙනහිර පලාතෙ පොලිසි වල යටත් වෙන්න කියල එල්.ටී.ටී.එකෙන් මරල දාපු පොලිස් නිලධාරීන් වෙන්න බැරිද? එහෙම නැත්නම් 88/89 කාලෙ මරල දාපු ජේ.වී.පී. කියල අත් අඩංගුවට අරන් මරල දාපු අය වෙන්න බැරිද?

Main News