මන්නාරම් සමූහ මිනිස් වලෙන් සිරුරු කොටස් 185 ක් හමුවේ.. ඇටසැකිලි ඇමරිකාවට යවන්න අධිකරණ නියෝග…

October 21, 2018 at 8:02 am | lanka C news
මන්නාරම් සමූහ මිනිස් වලෙන් සිරුරු කොටස් 185 ක් හමුවේ.. ඇටසැකිලි ඇමරිකාවට යවන්න අධිකරණ නියෝග…

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද  කැනීම් තුළින් සිරුරු කොටස් 185 ක් හමුවී ඇති බවටත් හමුවූ සිරුරුවල කාල නිරණය වෙනුවෙන් විශේෂ පරික්ෂණයකට ඇමරිකාවට යැවීමට අධිකරණ නියෝගය ලැබී ඇති බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු අද වන විට 89 වන දිනට සිදු කෙරෙන අතර ගොඩගත් සිරුරු 185 න් සම්පූර්ණ සිරුරු 179 කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී  විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,මේ වන විට සිදු කරන්නේ කැනීම් කටයුතු දෙවනුව තමයි අපි විශ්ලේෂණ කටයුතු කරන්නේ ඒ වගේම අපි අධිකරණයෙන් මීට පෙර ඉල්ලලා තිබුණා කාබන් කාල නිරනය සඳහා ඇමරිකාවට යැවීමට අවසර දෙන්න කියලා ඒ අනුව අධිකරණයෙන් ඒ අවසරය මේවන විට ලැබිලා තියනවා මෙහිදී අපි දැන් තීරණය කරන්න ඕන කොයි වගේ අස්ථි කොටස්ද යවන්නේ කියාල ඉන් පසුව එම අස්ථි කොටස් අපි යවන්න තීරණය කරල තියෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරීඩාවල බීටැන්සික් කියන ආයතනය වෙතටයි ඒ අනුව අපි ඒ ආයතනය සමග සාකච්ඡා කරල කොයි වගේ අස්ථි කොටස්ද ඕනැ කොච්චර ප්‍රමාණයක් ඕනද යවන්නකියන එක අපි තීරණය කරගන්න ඕනෑ යනුවෙනි.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතාගේ නියෝග යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,636 Viewers
Main News