මන්නාරම් සමූහ මිනිස් වලෙන් සිරුරු 216 දක්වා හමුවේ..

November 1, 2018 at 2:02 am | lanka C news
මන්නාරම් සමූහ මිනිස් වලෙන් සිරුරු 216 දක්වා හමුවේ..

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද  කැනීම් තුළින් 31 උදෑසන වන විට සිරුරු ඇටසැකිලි 216 ක් හමුවී ඇති බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු 31 වන විට 98 වන දිනට සිදු කෙරෙන අතර ගොඩගත් සිරුරු 216න් සම්පූර්ණ සිරුරු කොටස් 209 කට අදාළ සිරුරු අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එමෙන්ම මන්නාරම් සමූහ මිනිස්වලේ සිදු කෙරෙන කැනීම් කටයුතු  පිළිබඳ සොයා බැලීමට මන්නාරම් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා සමූහ මිනිවලට පැමිණ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කරනු ලැබීය.

කෙසේ වෙතත් මන්නාරම් සමූහ මිණීවලේ සිදු කරන ලද කැනීම් වලදී හමුවන සිරුරු ඇටසැකිලි ප්‍රමාණය අඩුවක් දක්නට නොමැති අතර දිනෙන් දින හමුවන ඇටසැකිලි ප්‍රමාණය වැඩි වී ඇත.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතාගේ නියෝග යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,701 Viewers
Main News