මන්නාරම් සමූහ මිනිස් වලෙන් කුඩා ළමුන් 12 කගේ සිරුරු කොටස් හමුවෙයි.. දැනට 114 ක සිරුරු හමුවෙලා..

August 31, 2018 at 5:30 pm | lanka C news
මන්නාරම් සමූහ මිනිස් වලෙන් කුඩා ළමුන් 12 කගේ සිරුරු කොටස් හමුවෙයි.. දැනට 114 ක සිරුරු හමුවෙලා..

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවළ අදාළ සමූහ මිනිවලේ සිදු කරන ලද  කැනීම් තුළින් ඊයේ (30) දිනය අවසන් වන විට කුඩා ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 12 ක් හමු වී ඇති අතරම සම්පූරණ සිරුරු 114 ක් හමුවී ඇති කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ මහතා පැවසීය.

අද (31) මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු 62වන දිනට සිදු කෙරෙන අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් ප්‍රමාණය පසුව දෙවනුව සිදු කරන විශ්ලේෂණයෙන් වෙනස් විය හැකි බවටත් මේ වන විට සිදු කරන මූලික කැනීම් වලදී ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු අස්ථි කොටස් 12 ක් සොයාගෙන ඇති බවටත් එය සම්පූර්ණ විශ්ලේෂණයකින් පසුව අවසන් තීරණයකට එලඹෙන බවටද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රාජපක්ෂ මහතා කියා සිටියේය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසූවේ වල තුළින් ගොඩගත් සිරුරු 114 න් සිරුරු 108 කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර,ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් කැලිෆෝනියාවේ කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවටයි.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

පුරාවිද්‍යා නිලධාරීන්,රජයේ රස පරීක්ෂක නිලධාරීන්,අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේදී 62 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි මිනිස් සිරුරු 114 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රාජපක්ෂ මහතා කියා සිටියේය.

වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.ජි.ප්‍රභාකරන් මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,462 Viewers
Main News