මන්නාරම් සමූහ මිනී වලෙන් සිරුරු 62ක අස්ථි කොටස්….

August 6, 2018 at 8:02 am | lanka C news
මන්නාරම් සමූහ මිනී වලෙන් සිරුරු 62ක අස්ථි කොටස්….

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 62කට අයත් අස්ථි (01) සවස වන විට සිදු කල කැනීම් වලදී හමුවූ බවට කැනීම් සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ මහතා පැවසූවේය.

මෙසේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 40 කට අදාළ කොටස් කැනීම් මඟින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති අතර, ඉන් සිරුරු 34 ක කොටස් මේ වන විට මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කොට ඇත.

මෙසේ  කැනීම් මඟින් ඉවත් කරගත් අස්ථි කොටස්  ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාර වෙත යොමු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා ඉල්ලීම් කොට ඇති බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් වැසියෙකුට හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

පුරාවිද්‍යා නිලධාරීන්,රජයේ රස පරීක්ෂක නිළධාරීන්,අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 46 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි මිනිස් සිරුරු 62 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන ඇති බවද මන්නාරම පොලිස් නිලධාරීන් පැවසීය.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.ජි.ප්‍රභාකරන් මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්ර් රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්,මන්නාරම අධිකරණ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.‍

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,595 Viewers
Main News