මන්නාරම් සමූහ මිනී වලෙන් සිරුරු 60ක අස්ථි කොටස් හමුවෙයි..

July 31, 2018 at 5:30 pm | lanka C news
මන්නාරම් සමූහ මිනී වලෙන් සිරුරු 60ක අස්ථි කොටස් හමුවෙයි..

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 60 කට අයත් අස්ථි හමුවී ඇති අතර එහිදී දරුවෙකුගේ හා වැඩිහිටි පුද්ගලයෙකුගේ මිනිස් අස්ථි කොටස් එක ළඟ තිබි ඊයේ (30) සවස් වන තුරු සිදුකල කැනීම් වලදී හමු වී ඇත.

කැනීම් කටයුතු සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ මහතා පැවසූවේ ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂණ මතින් කුඩා දරුවෙකුගේ හා අදාළ දරුවා ආසන්නයේම තවත් වැඩිහිටි පුද්ගලයෙකුගේ මිනිස් අස්ථි කොටස් හමු වූ බවයි.

අදාළ අස්ථි කොටස් දරුවෙකුගේ හා මවකගේ යන්න සම්බන්ධයෙන් ‍නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නමුත් දරුවෙකුගේ හා වැඩිහිටි පුද්ගලයෙකුගේ අස්ථි කොටස් එලෙස එක ළඟ තිබි සොයා ගැනීමට හැකිවු බවද ‍හෙතෙම පැවසුවේය.

මෙසේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 40 කට අදාළ කොටස් කැනීම් මඟින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති අතර, කැනීම් මඟින් ඉවත් කරගත් අස්ථි කොටස්  ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාර වෙත යොමු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා ඉල්ලීම් කොට ඇති බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මුලින් පස් ඉවත්කළ කොටසේ අස්ථි සෙවීමේ කටයුතු මේ වන විට මතුකරගෙන පවතින අතර, අදාළ ස්ථායට එපිටින් වන අනෙකුත් ස්ථාන හාරා පරීක්ෂා කිරීම දෙවන අදියර යටතේ සිදුකරමින් පවති.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

පුරාවිද්‍යා නිලධාරීන්,රජයේ රස පරීක්ෂක නිළධාරීන්,අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 43 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි මිනිස් සිරුරු 60 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන ඇති බවද මන්නාරම පොලිස් නිලධාරීන් පැවසීය.

 

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.ජි.ප්‍රභාකරන් මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්ර් රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්,මන්නාරම අධිකරණ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.‍

වර්තමාන සමූහ මිනී වලේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්යාපව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී සෝමදේව මහතා පැවසූවේ මන්නාරම සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,396 Viewers
Main News