මන්නාරම, මුලතිව්, කිලිනොච්චි, අම්පාර රක්ෂිත වනාන්තර අවභාවිතාව සෙවීමට ජනාධිපති කොමිසමක්…

December 29, 2017 at 6:28 am | lanka C news
මන්නාරම, මුලතිව්, කිලිනොච්චි, අම්පාර රක්ෂිත වනාන්තර අවභාවිතාව සෙවීමට ජනාධිපති කොමිසමක්…

මන්නාරම මුලතිව්ල කිලිනොච්චිල අම්පාර රක්ෂිත වනාන්තර අවභාවිතාව සෙවීමට
ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා පවසයි.

මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මන්නාරම මුලතිව්, කිලිනොච්චි, අම්පාර රක්ෂිත වනාන්තර අවභාවිතාව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන්න.

පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් විලත්තිකුලම් රක්ෂිත වනාන්තරයේ සිදු වූ වන සංහාරය පිළිබඳව විශේෂ විගණන වාර්තාවක් විගණනකාඩ්පත් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇත. එම වාර්තාව මගින් නැවත පදිංචි කිරීම සඳහා විල්පත්තුව විලන්තිකුලම් රක්ෂිතයේ ඉඩම් නිදහස් කරන්නැයි වනසංරක්ෂණ ජනරාල්වරයාට නියෝග කිරීමට වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යතුමාට කිසිදු අධිකාරි බලයක් නොමැති බවත් එම විගණන වාර්තාව පෙන්වා දේ. ඉඩම් නිදහස් කර ගැනීමට පමණක් නොව ඉඩම් බෙදීමට ද ඇමතිවරයාට අයිතියක් නැතිබව පෙන්වාදෙන මෙම වාර්තාව මෙම ඉඩම්වල පදිංචි කළ අය යුද්ධයෙන් අවතැන් වූ පවුල් නොවන බවද සඳහන් කර ඇත. රක්ෂිත වනාන්තරයක් ලෙස විලන්තිකුලම් වනාන්තරය ප්‍රකාශයට පත්කර තිබිය දී එකී රක්ෂිතයෙන් අක්කර 650ක් හෙළිකර නිදහස් කර ගැනීමට, ඇමතිවරයාට බලයක් නැතුවා සේම මෙම රක්ෂිත ඉඩම් වෙන්කර දීමට වන සංරක්ෂණ ජනරාල්වරයාට ද, අධිකාරි බලයක් නැත. 1980 අංක 47 දරණ පාරිසරික පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් මෙම විනාශය සිදුකරවා ඇතිවා පමණක් නොව අඩුම වශයෙන් මෙම රක්ෂිත කැලෑ ප්‍රදේශය එළිකිරීමට පෙර පාරිසරික ඇගයීම් වාර්තාවක්වත් ලබාගෙන නැත. තවද, මෙම විශේෂ විගණන වාර්තාව සඳහන් කරන පරිදි හෙළිකළ රක්ෂිතයේ ඉඩම් බෙදාදී ඇත්තේ යුද්ධයෙන් අවතැන් වූ පවුල් වලට නොව වෙනත් ස්ථාන වල ඉඩම් හිමිව තිබු පවුල් වලටය.

මෙහි අක්කර භාගය බැගින් ඉඩම් ලබා දී ඇත. පවුල් 1371න්,1030කටම වෙනත් ස්ථාන වල ඉඩම් හිමිව තිබුණු බව එම විගණනයේ දී හෙළි වූ බවද එම වාර්තාවේ සඳහන් වේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන් පරිදි ජනතාවගේ පොදු යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු බව සඳහන් වුවද එහි සඳහන් සියලු ජාතික ප්‍රතිපත්තීන්ට හා නීතින්ට අනුකූල නොවන ලෙස කටයුතු කළ කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරයි.

නැවත පදිංචි කිරීම් වලදී රජයේ පූර්ණ මැදිහත්වීම හා නියාමනය කිරීම සිදුකළ යුතු බවත් දේශිය හා විදේශය රාජ්‍ය නොවන සංවිධාන මඟින් සිදුකරනු ලබන මූල්‍ය දායකත්වය හා සංවර්ධන කටයුතු ජාතික ප්‍රතිපත්ති වලට අනුකූලව සිදුකිරීමට කටයුතු යෙදිය යුතුබව වාර්තාවේ වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

එසේනම් මෙම වාර්තාව අනුව පැහැදිලි වනසංහාරයක්, අපරාධයක් හා නීති විරෝධී ක්‍රියාවක් දිගින් දිගටම සිදු වී ඇත.මේ පිටුපස සිටින දේශපාලන හස්තය ඉතා පැහැදිලිය. රටේ නීතිය කඩමින් මීට අනුබල දුන් එවක පාලනයේ දේශපාලන අධිකාරියේ සිටි බලවත් පුද්ගලයින් හා නිලධාරින්, මේ අවභාවිතාවට හා නීති විරෝධී ක්‍රියාවට අනුබල දී ඇතිබව පැහැදිලිය. අවභාවිතාවට ලක්ව ඇත්තේ විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය පමණක් නොව මන්නාරම දිස්ත්‍රික්කයේ රක්ෂිත කැළෑතව කොතෙකුත් ඉහත සඳහන් දේශපාලන හස්තය මත එළිපෙහෙළි කළ නීතිවිරෝධී පදිංචි කිරීම් හා ජනපදකරණයන් කර ඇත. කිලිනොච්චි, මුලතිව් දිස්ත්‍රික්ක වලට ද, මේ ආකාරයටම රක්ෂිත කැලෑ විනාශ කොට එළිකර එක් ජනවර්ගයක් පමණක් සුවිශේෂි කොට විදේශිය රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් සිදුකරන මූල්‍ය දායකත්වයෙන් පදිංචි කර ඇත.

මේ වන විනාශයට සම්බන්ධව අදහස් හා විරෝධතා දැක්වූ සෑම අවස්ථාවකම මේ පිටුපස ඇත්තේ මුස්ලිම් විරෝධයක් යැයි පෙන්වමින් ඔවුන් ජාතිවාදී අන්තවාදී හා යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාවට සාධාරණය ඉටු කිරීමට එරෙහි වූවන් ලෙස හංවඩු ගසන ලදි. දැන් කිසිවෙකුටත් ඒ චෝදනාව නැගිය නොහැකිය. විගණාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ විගණන වාර්තාව මෙම රක්ෂිත වනාන්තරයේ අවභාවිතාවක් සිදුවී ඇතිබව පැහැදිලිව සඳහන් කර ඇත. මෙම අවභාවිතාව නිවැරදි කිරීම සඳහා ගතයුතු නිර්දේශ  ද ඉදිරිපත් කර ඇත.

මෙම වන සංහාරයට සම්බන්ධ දේශපාලන හස්තය රටත්, ජනතාවත්, නොමඟ යැවීම සඳහා පැවැත්වූ මාධ්‍ය සංදර්ශන, ප්‍රකාශන, වැඩමුළු, වැඩසටහන් අතිවිශාලය. එහෙත් සත්‍ය හෙළි වී ඇත. එය තහවුරු කිරීම සඳහා කැප වූ සියලු පරිසර සංවිධාන හා බහුජන සංවිධාන වලටත්, පරිසර ප්‍රේමීන්ටත් ස්තුතිවන්ත වන අතර දැන් වහාම කළ යුතු වන්නේ මෙම නීතිවිරෝධී ක්‍රියාවට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය. එමෙන්ම තරාතිරම නොබලා නිලධාරින්ට ද මෙයට සම්බන්ධ දේශපාලඥයින්ට ද නීතිය ක්‍රියාත්මක කර දඩුවම් කළ යුතු අතර හෙළිපෙහෙළි කර ඇති රක්ෂිතයේ නිවාස ඉවත් කර නැවත රක්ෂිතයටම නිදහස් කළ යුතුය.

තවද ජනාධිපතිතුමාගෙන් අප ඉල්ලා සිටින්නේ විලන්තිකුලම් රක්ෂිත වනය පමණක් වෙ මන්නාරම මුලතිව්, කිලිනොච්චි, අම්පාර දිස්ත්‍රික්ක වල සිදු වී ඇති රක්ෂිත වනාන්තර අවභාවිතාව පිළිබ‍ඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
බ.පළාත් සභා මන්ත්‍රී

4,179 Viewers
Main News