මනොහරගේ පොත ගැන ලියමි ..

January 8, 2017 at 10:01 pm | lanka C news
මනොහරගේ පොත ගැන ලියමි ..

අප හිතවත් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මැතිතුමා විසින් රචිත “බෙදුම්වාදීන්ගේ උපාය මාර්ග හා ව්‍යවස්ථා සංශෝධන” නම් කෘති තොමෝ කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී එලි දුටහ.

මනෝහර දකුණු ලක ගාලු පුරයේ උපත ලබා කොළඹ ආනන්ද විදුහලෙන් සිප් සතර හදාරා නීති ක්ෂේත්‍රයට පිවිස එහි ජය කෙහිලි නංවන සත් පුරුෂයෙකි. පසුගිය කාල සීමාව පුරාම හෙතම දෑ සමයට හිතවත්ව එහි අභිවෘද්ධිය උදෙසා නොපැකිලව, අනලස්ව කටයුතු කළේ ය; ඍජු ලෙස නොබියව සිය මතය පල කළේය. විජාතික මනසින් යුතු උඩඟු කළු කෝට්කාරයන් අතර මනෝහරයෝ මඩ වගුරේ සුපිෂ්පිත ශ්වේත කුසුමක් බඳු වෙති.

බෙදුම්වාදීන්ගේ උපාය මාර්ග හා ව්‍යවස්ථා සංශෝධන කෘතිය පිටු 214 කි. පරිච්ජේද 14 කි. විසිදුනු ප්‍රකාශනයකි. මිල රුපියල් 450 කි. දශක 3ක් පුරා ව්‍යවස්ථා සංශෝධන නම් මර උගුල් අටවා රට දෙකඩ කිරීමට පවිටු බෙදුම්වාදීන් කටයුතු කළ අයුරු මෙහි මනා කොට සංග්‍රහ කර ඇත. සිංහල රාජ්‍යය අස්ථාවර කොට දෙමළ ඊළමක් නීතිගත කිරීමට 13,17, 19 ව්‍යවස්ථා සංශෝධන මගින් කුඨ ලෙස කටයුතු කල අයුරු සරලව එහි විග්‍රහ කොට ඇත. නීති කාරණා ගැන එතරම් අවබෝධයක් නැති අප වැන්නවුන්ට මේ අගනා අත් පොතකි; ඥණ කෝෂ්ඨයකි; අතිශයින් කාලෝචිත නිබන්ධනයකි. රට ගැන අබ පියල්ලක හෝ කැක්කුමක් ඇති වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, සරසවි ඇදුරන් සහ සිසුන් මෙන්ම සෙසු ජනී ජනයා ද මේ පොත නොවරදවාම කියැවිය යුතුයැයි මම අදහමි.

පොත එලි දැක්වීමේ උත්සවයට පදනම් ආයතන ශ්‍රවණාගාරය ප්‍රමාණවත් නොවීය. බොහෝ දෙනෙක් ශාලාවේ දොර පියන් හැර දමා දික් වූ ග්‍රීවයෙන් යුතුව ඇතුලත වෙන දේ නැරඹුහ; ඇහුන්කම් දුන්හ. තවත් බොහෝ දෙනෙක් ශාලාවෙන් පිටතට වී දැන් දැන් මටත් ඇතුලට යෑමට අවස්ථාවක් වේ දැයි බලමින් ඇඟිලි ගනිමින් උන්හ. සභාවේ මුලසුන දැරුවේ දෑ හිතකාමී තිරිකුණාමලයේ ආනන්ද අනු නායක හිමියෝ ය. කාගේ හෝ කියුම් බහට අවනතව උන් වහන්සේ ව්‍යවස්ථා සංශෝධන මර උගුලේ පටලැවී ඇතැයි ආරංචි පසුගිය සමයේ එතරම් දුලබ නොවීය. මේ උත්සවයයේ මුලසුන දැරීම මගින් එය ආරංචි මාත්‍රයක් පමණක් ම වෙතැයි කියමින් සැනසුම් සුසුම් හෙලූ කිහිප දෙනෙක්ම මට හමු විය. එය එසේම වේවා යැයි මම ද පතමි.

තම හැකියාව කළමනාකරණය කොට දෑ සමයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන මනෝහරයෝ දැයට සම්පතකි.; තව තවත් මෙවන් පොත පත පළ කිරීමටත් මර උගුල්වලින් දෑ ගලවා ගැනීමටත් ඔහුට ධෛර්යය ලැබේවා; ශක්තිය ලැබේවා. තව ද මෙවන් සුධීමතකු මෙලොවට ජනිත කළ දෙමපියෝ ද පින් පෙත් ලබත්වා.

මනෝහරයෝ නිරෝගීව බොහෝ කල් වැජඹෙත් !!

– චන්න ජයසුමන FB

5,527 Viewers

2 Comments to “මනොහරගේ පොත ගැන ලියමි ..”

  1. Niyagala says:

    ඉංග්‍රීසියෙන් නඩු කරල ආහාර සොයා ගත්තට සිංහලෙන් පොත් ලියන්නත් පුළුවන් වගේ…

  2. Ranawara says:

    බුරන හැම එකාටම ගල් ගහන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි! මනෝහර මහත්තයෝ ඔහොම යමු.

Main News